ලෝකය හොල්ලන ඩොලර් ගස

ජූලි 11, 2022

 

කොච්චර නැති වුණත් ඔබේ කුස්සිය පිටුපස්සේ පොඩ්ඩක් හරි ඉඩ පහසුකමක් තියෙනවනේ. එතැන මොනවද තියෙන්නේ? කරපිංචා ගහක්, රම්පෙ පැළයක් ඇති. ඒත් සමහර විටෙක කුරුඳු ගහක් ඉන්දන්න ඔබට අමතක වෙන්න ඇති. ඒත් කුරුඳුවල ගණන් ඇහුවම ඔබට කුරුඳු පැළයක් හිටවන්න හිතේවි. කුරුඳු ග්‍රෑම් 100ක් රුපියල් 350ක් විතර වෙනවා. අනික කුරුඳුවල තියෙන ඖෂධිය ගුණය ගැන ඇහුවොත් ගෙවත්තේ කුරුඳු පැළයක් හිටවන්න ඔබ දෙපාරක් හිතන එකක් නෑ.

 

අනික් වැදගත්ම දේ සමහරවිට ඔබ නොදන්නවා වෙන්නත් පුළුවනි. කුරුඳුවල නිජබිම ලංකාව. ඒ කියන්නේ එයා අපේ රටේ ඉපදුණු අපේම කෙනෙක්. අපිට අවේනිකයි. ඒ හින්දා ලෝකයේ සැබෑ කුරුඳු වෙළෙඳාමෙන් 80%ක්ම කරන්නේ අපි. රුපියල් මිලියන තිස් හතළිස් දාහක ආදායමක් අපි උපයනවා. කුරුඳු පොතු විතරක් නොවෙයි කොළ හා කඳ තෙල්වලිනුත් ආදායමක් ගන්න පුළුවනි. කොටින්ම එයා ඩොලර් ගහක්.

 

හැම කොටසක්ම වටිනවා

ආයුර්වේදයේ වගේම නුතන වෛද්‍ය විද්‍යාවේත් කියැවෙන දෙයක් තමයි ලේවල තියෙන සීනි අඩු කරන්න කුරුඳු හේතු වෙනවා කියන එක. මේ කාලේ හැටියට ඒක හරිම වටිනා දෙයක්. මොකද ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට දියවැඩියාව වැලඳිලා තියෙන නිසා. ඒ වගේම ලේවල තියෙන නරක කොලෙස්ටරෝල් අඩු කරලා හොඳ කොලෙස්ටරෝල් වැඩි කරන්නත් කුරුඳු හේතු වෙනවා. ඇගේ මහත මට්ටු කරන්නත් එයාට පුළුවන්. ගෙදර දොරේ තියෙන හොඳම විසබීජ නාශකයක්. කල්පනා කරලා බලන්න, කුරුඳු ගහේ ඔබට අහක දාන්න තියෙන්නේ මොනවද කියලා. පොත්ත ව්‍යංජනයට, ඖෂධවලට ගන්නවා. කුරුඳු කොළවලින් තමයි තෙල් හිඳින්නේ. කුරුඳු ලීය මේ දවස්වල නම් මසුරන් වටිනා සම්පතක් මොකද ගෑස් නැති කලේ ළිපේ දාන්න තියෙන හොඳ දර ටිකක් තමයි කුරුඳු දර. කුරුඳු දර හරිම රස්නෙයි. කුරුඳු කෝටුවලින් ටූත්පික් වගේ විවිධ දේවල් හදාගන්න පුළුවන්. කතාවට දකුණේ කප් රුක කියලත් කියනවා. ඉතින් මේ වගේ වටිනාකමක් තියෙන කුරුඳු පැළයක් ඔබේ ගෙවත්තේ වගා කරගන්න ගෘහණියක් විදියට අමතක කරන්න එපා. පැළ දෙකක් වගා කර ගත්තොත් මුළු අවුරුද්දටම ඔබේ නිවෙසේ අවශ්‍යතාව ඒකෙන්ම පිරිමහගන්න පුළුවනි.

 

වගා කරන්නේ කොහෙද?

ගෙවත්තට නම් ලංකාවේ ඕනෙම තැනක් ඔට්ටුයි. හැබැයි ආර්ථිකව, ලාභදායී වගාවක් විදියට කරනවා නම් තෙත්, අතරමැදි කලාපය තමයි වඩා හොඳ. කුරුඳු ගහ ඉර එළියට කැමැතියි. ඒ හින්දා වත්තක හොඳට හිරු එළිය වැටෙන තැනක් හොයා ගන්න. අඩි 1ක් උස, පළල හා ගැඹුර සහිත වළක් කපා ගන්න. හැබැයි හොඳින් වතුර බැහැලා යන වතුර රඳන්නේ නැති තැනක් වෙන්න ඕනේ. ගල් බොරළු අඩු නම් වඩාත් හොඳයි. දැන් කුරුඳු පැළයක් කොහෙන්ද හොයා ගන්නේ. ළඟම තියෙන තවානකින් අහන්න. පැළයක ආණ්ඩුවේ මිල රුපියල් 18යි. එහෙම නැත්නම් මේ දවස්වල කුරුඳු ඇට අරගෙන 8x5 ප්‍රමාණයේ පොලිතින් බෑග්වලට පස් පුරවලා එයින් ඇට 8ක්, 10ක් රවුමට දාගත්තොත් බොහොම පහසුවෙන් කුරුඳු පැළ පොකුරක් හදාගන්න පුළුවන්. පොලිතින් බඳුනට දාන පස් මිශ්‍රණය මෙහෙමයි. මතුපිට පස් කොටස් 01ක්, ගොම කොටස් 01ක්, වැලි කොටස් 01ක්, කොහුබත් කොටස් 01ක්. මේ මිශ්‍ර කරලා බඳුන පුරවාගන්න. මාස හතරක් විතර ගියාට පස්සේ හොඳින් කොළ හැදුණු කුරුඳු පැළයක් බිමේ ඉන්දන්න සුදුසුයි. දැන් ඉටි කොළේ අයින් කරලා කපාගත්තු වළ තුළ පැළය හිටවන්න. මතුපිට පස්වලින් වළ වහන්න. තුන් මාසයක් විතර ගියාට පස්සේ නිරෝගී පැළ කිහිපයක් ඉතිරි කරලා දුර්වල පැළ අයින් කරන්න. තුනී පස් ටිකක් ළං කරන එක ගොඩක් හොඳයි.

 

පොහොර අවශ්‍ය ද?

මහා පරිමාණයෙන් වගා කරනවා නම් රසායනික පොහොර දාන්න ඕනෙ. ගෙවත්තේ කරනවා නම් අත්‍යවශ්‍ය නෑ. කොම්පොස්ට්, ගිනිසිරියා වාගේ කාබනික පොහොර යෙදීම ප්‍රණවත්. මහා පරිමාණයෙන් කරනවා නම් අක්කර කාලකට පැළ 900ක් වත් සිටුවන්න ඕනෙ. අඩි 4x3 පරතරයකට වළවල් කපාගන්න ඕනෙ. අවුරුද්දක් ගියාට පස්සේ ගස්වල අතු බිම් මට්ටමින් ඉහළට අඩි 1ක්, 1/2ක් විතර ළඟට යනකම් අයින් කරන්න ඕනෙ. මේකට හරි ලස්සන නමක් කියනවා නුහුරු පහිනවා කියලා.

මහා පරිමාණයෙන් කරනවා නම් කුරුඳු පොහොර ටිකක් දාන එක නම් අත්‍යවශ්‍යයි. යූරියා, පොස්පේට්, MOP 2ට 1ක් මිශ්‍ර කරලා දාන්න ඕනෙ. රෝග පළිබෝධ ටිකක් අඩුයි. ඒත් රෝස කඳ පණුවා, කොළ කන දළඹුවෝ ඉඳලා හිටලා හානි කරන්න පුළුවන්.

 

අස්වැන්න හා ආදායම

වගාවේ අස්වැන්න අවුරුදු 1 1/2කින් ගන්න පුළුවන්. කොළ පාට පොත්ත දුඹුරු පාට වෙනවා නම් ඔන්න අස්වැන්න ගන්න හොඳම කාලෙ. අස්වැන්න ගන්න ඕනේ වර්ෂා කාලයේ කුරුඳු පඳුරේ දලු කොළ මේරුවාට පසුවයි. කුරුඳු තළන එක නම් වෙනම කතාවක්. ඒත් ගෙදර දොරේ අවශ්‍යතාවට සාමාන්‍ය විදියට කුරුඳු පොතු ටිකක් සකසා ගැනීම ප්‍රමාණවත්. අක්කරයක වගාවකින් එක වරකට කිලෝ 200ක් 250ක් පහසුවෙන් ගන්න පුළුවන්. අක්කරයකින් රුපියල් ලක්ෂ හතරක විතර ආදායමක් ගන්න පුළුවනි. නරක නෑ නේද?

ඔළුවට ගන්න ඕනෙ වැදගත්ම කාරණේ තමයි පස සෝදලා යාම වළක්වන්න ඕනෙ කියන එක. පසේ ලවණ ගතිය වැඩිවෙන්න දෙන්න හොඳ නෑ. පස පරික්ෂා කරවාගෙන ඩොලමයිට් ටිකක් දාන්න ඕනෙ. ඒවාගේ වැඩකට නම් ළඟම ඉන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරියාගෙන් උදවු ලබාගන්න. ඔබත් අදම වැඩේ පටන් ගන්න. අපි උදව් කරන්නම්.

 

 

ඉදිරිපත් කිරීම

රන්සිලු වටවල

අධ්‍යක්ෂ සංවර්ධන,

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය