රෙදි වර්ග හඳුනා ගැනීම හැමෝටම වැදගත්

ජූලි 18, 2022

 

 මෙවරත් අප අවධානය යොමු කරන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ දී ප්‍රමුඛ වැදගත්කම දරන්නා වූ රෙදි සම්බන්ධයෙනි. මිනිසාගේ පැවැත්මට අවශ්‍ය මුලික අවශ්‍යතාවලට අනුව ද රෙදි පිළි සඳහා හිමිවන්නේ වැදගත්කමින් හතරවැනි තැනය. ඒ වාතය, ජලය සහ ආහාරවලට පිටුපසිනි.

එහෙත් ශිෂ්ට සමාජයේ ආහාර පානවලට වඩා වැඩි වැදගත්කමක් ඇඳුම් පැලඳුම්වලට හිමි වේ. ඒ නිරුවතින් සමාජයේ ගැවසීමට නොහැකි බැවිනි.

ඇඳුම් මිල දී ගනු ලබන පුද්ගලයා එය කළ යුතු වන්නේ, අවශ්‍යතාව පිළිබඳ මනා වැටහීමක් ඇතිවය. ඒ සඳහා කාලය, දීපය, දේශය ද වැදගත් වේ. මේ සියලු කරුණු කාරණා කෙරෙහි ව්‍යවසායකයා මෙන්ම පාරිභෝගිකයා ද අවබෝධයෙන් සිටීම අත්‍යවශ්‍ය ය. එවිට දෙපාර්ශ්වයම තෘප්තිමත් ය.

පසුගිය සතියේ “ මල් පීස්, සියර් සකර්, පීකේ වොයිල්, කපු සහ ලිනන් යන රෙදි වර්ග හය සහ ඒවායේ ස්වභාවය පිළිබඳ අවබෝධය ඔබට ලබා දුන්නා. අද තවත් රෙදි වර්ග කිහිපයක් පිළිබඳ විමසා බලමු.

 

කුටින්

 

මේ රෙදි වර්ගයෙහි තිබෙන විශේෂත්වය වන්නේ දීප්තිමත් දිලිසෙන සුලු ස්වභාවයකින් යුක්ත වීම ය. සිරුර උණුසුම් කරවන සුලු රෙදි වර්ගයකි. නූල් කෙළින්ම් වැටි ඇත. නිතර සේදීම සුදුසු නොවේ. අඟල් 36 පළල රෙද්දකි. කාන්තාවන්ගේ සහ ගැහැනු ළමයින්ගේ යට ඇඳුම් සඳහා වඩාත් භාවිතයට ගැනේ.

ආලෝකයට හොඳින් ප්‍රතිචාර දක්වන බබළන සුලු ස්වභාවය නිසා උත්සව ශාලා අලංකරණයේ දී ද බහුලව යොදා ගනී.

 

පැලස් සිල්ක්

 

අඟල් හතළිස්පහ පළල රෙදි විශේෂයකි. ඉතා සිනිඳු වන අතර බරින් අඩු ය. ප්‍රාණවත් ස්වභාවයක් නැත. සිසිල් බවක් සිරුරට ලබා දෙන අතර ළදරු ඇඳුම් සහ සාරි ආදිය සඳහා භාවිත වේ.

 

ප්ලැනල්

 

ඝන මෙන්ම බරැති රෙදි වර්ගයකි. ශරීරයට උණුසුම ලබා දීමට සමත් ය. පිපුණු ස්වභාවයක් ගන්නා අතර නිතර සේදීම අපහසුය. ප්ලැනල් ඇඳුම් උෂ්ණාධික රටවලට ගැළපෙන්නේ නැත. සීතල පරිසරයට ඉතා සුදුසුය.

 

මැෆටා

 

අඟල් තිස් හය සහ හතළිස් පහ පළලින් ලබා ගත හැකිය. සිනිඳු මතුපිටක් සහිත නූල්වලින් ළංව වියන ලද රෙද්දකි. ශරීරය උණුසුම් කරවන රෙදි විශේෂයකි. උත්සව ඇඳුම් සඳහා විශේෂයෙන් භාවිත කරයි.

 

ඕගන්දි

 

විනිවිද පෙනෙන ස්වභාවයක් සහිත පිපුණු ගතියෙන් යුතු රෙදි විශේෂයකි. නූල් තද ගතියෙන් යුක්ත වන අතර කැපුම් කෙළවර තියුණු ස්වභාවයක් ගනී. ළමා ඇඳුම් නිර්මාණයේ දී බෙහෙවින් යොදා ගන්නා ජනප්‍රිය රෙදි වර්ගයක් ලෙස පෙන්වාදිය හැකියි.

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්