‘කාටවත් අත නොපා ජීවත් වෙන්නේ හිතේ ශක්තිය ඇතුව කටයුතු කළ නිසයි'

"ගම ගෙදර" නිෂ්පාදන ගෙනෙන නදීකා
අගෝස්තු 22, 2022

 

සොබා දහම් මාතාව විසින් ලබාදෙන අභියෝග ජීවිතයට ආශීර්වාදයක් කරමින් නැගී සිටින දිරිය කතුන් වේ. කළුතර, කිනියාවල උපන් නදීකා ප්‍රියදර්ශනී එවැනි දිරිය දියණියකි. ඇගේ දිරිය කතාව හෙට දවසේ ඔබේ ජීවිතය දිනන්නට කදිම මඟ පෙන්වීමක් කරාවි.

 

“හැම කෙනෙක්ම හොයන්නෙ රජයේ රැකියාවක්. රාජ්‍ය සේවයට බැඳෙන්න සිහින දකින අය ඒ වෙනුවෙන් ඩිප්ලෝමා, උපාධි පිරි සුදුසුකම් සපුරා ගැනීමට උත්සාහ ගන්නවා. එහෙත් පැය ගණනකට ‍‍කොටුවුණු රැකියාවකට වඩා තමන්ගේ නිදහසේ කුමන හෝ ස්වයං රැකියාවක නිරත වෙනවා නම් ඉන් ලැබෙන ආත්ම තෘප්තිය මෙතෙකැයි කිව නො හැකියි. ආර්ථික වාසියත් එලෙසමයි. මාසික වැටුප ලැබෙන කල් ඇඟිලි ගණින වෘත්තිකයන් අතර දිනපතා අතේ මුදල් ගැව‍ෙසන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ජීවිත සැහැල්ලුයි. මට එවැනි සිතුවිල්ලක් ආවේ මගේ මවුපියන්ගෙන්. ඔවුන් ගෙන්දගම් පොළොවේ පය ගසා ජීවත් වුවන්. දහදිය මහන්සියෙන් හරි හම්බ කළ දෙපොළක්. ඒ අඩිතාලම නිසා තමයි අද මගේ දිරිය කතාව ඔබට කියන්නට හැකි වූයේ.

ඉතිං මටත් උසස් පෙළ ප්‍රතිඵලවලින් පස්සෙ විද්‍යාපීඨ ගුරුවරියක් වීමේ අවස්ථාව විවර වුණා. එහෙත් මම ඒ මාර්ගය තෝරා ගත්තේ නැහැ. සමාජ සේවිකාවක ලෙසින් දේශපාලන ක්ෂේත්‍රයට පිවිස ගමේ පොදු කටයුතුවලට යොමු වුණා. ඒක මට අපූරු අත්දැකීමක් වුණා. ඒ කාලයේ ලැබුණු අභියෝග හමුවේ තරුණියක් ලෙසින් මා කෙලෙසින් කටයුතු කළා දැයි අද හිතනකොටත් ඇඟ කිළි පොලා යනවා. සමාජ සුබසාධන කටයුතු කරන්නට ගිය මට නොයෙක් කරදර කම්කටොළුවලට මුහුණ පාන්නට සිදු වුණා. මේ කාලයේ දීමයි මට මගේ සැමියා මුණ ගැසුණේ. ඔහුත් මගේ සමාජ සේවා කටයුතු සඳහා හොඳ සහයක් ලබා දුන්නා.

අපි 2012 වසරේ දී විවාහ වුණා. එහෙත් දෙදෙනාටම ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. පෙර පිනකට වගේ මට ප්‍රණීත රසට ඕනෑම කෑමක් ඉතා ඉක්මනින් පිසීමේ වාසනා ගුණ මහිමය පිහිටියා. ඒ හැකියාව තමයි මගේ වත්කම. මා කැලේ කොළේ, වටේ පිටේ, ගමේ ගොඩේ තිබෙන දෙයින් රස ගුණ පිරි ආහාර පිසින්න උනන්දු වුණා. එලෙසින් විවිධ ආහාර අත්හදා බැලීම් කළා. නාගරීකරණය වූ ගමෙන් නගරයට පා තැබූ අපේ මිනිසුන්ට හොඳම ආහාරයක් තිළිණ කිරීම මගේ අරමුණ වුණා.

කවුරු කොහොම කොයි දේශයක හිටියත් ගමේ කමට ආදරෙයි. ආසයි. ඒ සංකල්පය මැනවින් වටහා ගත් මා ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන ආහාර වට්ටෝරු නිෂ්පාදනයට යොමු වුණා. ආහාර අත්හදා බැලීම් සිදු කිරීමේ දී අමුද්‍රව්‍ය සොයා ගැනීම, කල්තබා ගැනීම, නිෂ්පාදනය, ප්‍රවාහනය, අලෙවිය මේ හැම පියවරක්ම ලොකු අභියෝගයක්. ඒ හැම තැනකදීම බිංදුවටම වැටුණු අවස්ථා එමටයි. මේ වැඩේ හරියන්න කියලා අත්හරින්න සිය දහස් වතාවක් හිතුවා. එහෙත් ගැහැනියක් සතු පුදුමාකාර බලයක් තියෙනවා. මේ ලෝකය රඳා පවතින්නේ, බිහිකරන්නේ ගැහැනියයි. ඉතිං ඇයි මට බැරි...... නිදිවර්ජිත රැය පහන් කළේ හෙට දිනයේ අභියෝග ජය ගන්නවායි යන අරමුණින්.

"ගම ගෙදර" සන්නාමය තබා ගනිමින් කුඩාවට මගේ නිෂ්පාදන වෙළෙඳපොළට දැම්මා. ඒක එක්වරම නො කර පුංචියට තුනපහ පැකට් කිහිපයක් සාදා අහළ පහළ උදවියට අලෙවි කළා. මම කවදාවත් තුනපහ කඩෙන් අරන් නැහැ. පිරිසුදුව, ගුණාත්මකව, රසවත්ව මගේ අතින් හදා ගන්නා තුනපහ ගමේ හැම දෙනාම සොයා ආවා. මගේ පළමු විවේචකයා මගෙ මහත්තයා. නිෂ්පාදිත ආහාරවල රස පරීක්ෂක ඔහුයි. ගුණ අගුණ හරියටම කියන්නේ ඔහු. ඒ නිර්දේශය, විශ්වාසය තමයි මගේ ව්‍යාපාරයේ දියුණුවේ ප්‍රබල හේතුව.

මෙලෙසින් මිරිස්, තුනපහ, කැබැලි මිරිස්, බැදපු තුනපහ, කිරි හොඳි කරි පවුඩර්, මාළු ඇඹුල් තියල් පේස්ට්, මස්කරි පවුඩර්, කිරි මාළු පවුඩර්, බැදුම් මිශ්‍රණය, රසම් පවුඩර් මේ නිෂ්පාදන අතර වෙනවා. 2017 වසරේදී මගේ නමින් ව්‍යාපාරය ලියාපදිංචි කළා. මුලින්ම මිරිස් කිලෝවකින් ආරම්භ කළේ. සමහරදාට රෑ එළිවෙනකල් මිරිස් කරල්වල නැටි කපනවා. ඉල්ලුමට සැපයුම දීමට අතේ මුදල් නැති වුණා.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ස්වශක්ති ණය මුදල අරගෙන එය ක්‍රමානුකූලව පියෙව්වා. අපේ ඇතැම් අය ස්වයං රැකියාවකට ණය අරන් ඒවා නිකරුණේ වැය කර හිටියටත් වඩා අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා. එහෙම කළොත් වැටුණ තැනින් ගොඩ ඒමක් නැහැ. මම ඒ ණය මුදල කළමනාකරණය කර ගනිමින් නිෂ්පාදනය කළා.

අද වනවිට සුපිරි වෙළෙඳසල්වලට වගේම විදෙස් රටවලට යන හිතවතුන්ටත් මගේ ආහාර නිෂ්පාදන ලබා දෙනවා. කිසිදු රසකාරකයක් අඩංගු නොවන බැවින් රෝගීන්ටත් මේ ආහාර නිෂ්පාදන යෝග්‍යයි.

ජීවිතයේ කඩා වැටුණු, කලකිරුණු වාර අනන්තයි. අප්‍රමාණයි. මගේ පවුලට දිරියක් දෙන්න ඒ සියලු බාධකවලදී ලොකු ඉවසීමක් ඇතිව කටයුතු කළා. අද කාටවත් අත නොපා ජීවත් වෙන්නේ හිතේ ශක්තිය ඇතුව කටයුතු කළ නිසයි.