හරියටම හරියන ස්වයං රැකියාවක් අරඹන්න නිවැරැදිම අත්වැලක්

ස්වයං රැකියාවකට අතේ සල්ලි නැති නම්,
නොවැම්බර් 14, 2022

 

ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන වත්මන් තත්ත්වය හේතුවෙන් බොහොමයක් පවුල් ආර්ථික අතින් මහත් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව රහසක් නොවේ.

 

ඇතැමුන්ට රැකියාවක් කළ ද පවුලේ වියදම් දරා ගැනීමට නොහැකි වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය, වැඩි වන බඩු මිල ඇතුළු අහස උසට නැඟ ඇති වියදම් නිසාය. මේ නිසාම ‘තරුණි’ පාඨක කාන්තා ඔබට නිවෙසේ සිටම ඔබේ පවුලට අත්වැලක් විය හැකි ස්වයං රැකියාවක නිරත වීමට හැකි නම් ඔබත් කැමැති ඇති. එමෙන්ම නව ව්‍යාපාරයක් ආරම්භයටත්, පවතින ව්‍යාපාරයක් දියුණු කර ගැනීමටත් ඔබේ අදහස් පවතිනවා විය හැකිය. මේ ඒ සම්බන්ධයෙන් රජයෙන් ඔබට ලැබෙන අත්වැල පිළිබඳවයි. මේ පිළිබඳ හරියාකාරව දැනුම්වත් වීම හරහා ඉතාමත් පහසුවෙන් ඔබටත් ස්වයං රැකියාවක් ආරම්භ කළ හැකි අතර, අභිමානවත් ව්‍යවසායකයකු වීමේ වරම ද ඔබට හිමිවනු ඇත. මේ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට සිතමින් ඒ පිළිබඳ සොයමින් සිටින ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳ වටිනා ඉඟි කිහිපයකි.

 

දැනුම්වත් වෙන්නේ මෙහෙමයි

 

ඔබගේ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇති විදාතා මධ්‍යස්ථාන, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළු අංශ කිහිපයක් යටතේ ස්වයං රැකියාවලට පුහුණු කිරීමත්, කුඩා ව්‍යාපාර සංවර්ධනයත් සම්බන්ධයෙන් සේවය සැලසීමට කැප වී සිටියි. ඒ අනුව එහි ඇති ව්‍යවසායකත්ව සංවර්ධන අංශය, තාක්ෂණික අංශය, අලෙවිකරණ අංශය හා මූල්‍ය අංශය වශයෙන් විවිධ අංශ යටතේ ඔබට අත්වැලක් සැපයීමට ඔවුන් සූදානමින් සිටියි. ඔවුන් විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් තුළින් මේ සම්බන්ධයෙන් තොරතුරු නොදන්නා, තම නිවෙස් වෙත ආර්ථික අතින් ශක්තියක් වීමට කැමැත්ත දක්වන බොහෝ දෙනාට දැනුම්වත් වීමට හැකියාව ලැබේ. එමෙන්ම වසම් මට්ටමින් සිටින සංවර්ධන නිලධාරීන් හමු වීමෙන් ද මේ සඳහා යොමු විය හැකිය. එමෙන්ම හැම දිස්ත්‍රික්කයකටම අදාළව පවතින SED (අදාළ දිස්ත්‍රික්කය) උදා- SED KALUTHARA, SED KANDY නමැති ෆේස්බුක් පේජ් මාර්ගයෙන්, ඒවායේ ඇති දුරකතන අංකවලින් ද, වට්ස්ඇප් ගෘෘප් මාර්ගයෙන් ද ඔබට පහසුවෙන් මේ පිළිබඳව දැනුම්වත් විය හැකිය. මීට අමතරව ව්‍යාපාර අදහස් ගණනය කිරීම් යනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශ වෙතින් කරනු ලබන වැඩසටහන්වලින් ද මේ සම්බන්ධ කිසිදු අදහසක් නැති බොහොමයක් දෙනාට අදහස් ලබා ගැනීමේ ඉඩකඩ

 

සැලසේ. ඔබත් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නම් කළ යුත්තේ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් මේ පිළිබඳව විමසා, අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මේවාට සම්බන්ධ වීම පමණයි.

 

ස්වයං රැකියාවකට අතේ සල්ලි නැති නම්,

 

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ සම්බන්ධ වන ඔබට ස්වයං රැකියාවකට හෝ තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට අතමිට මුදල් නැතිනම් ඊට ද මාර්ගය විවර කර ගැනීමට අවස්ථාව උදා වේ. මේවා හරහා ඔබගේ අවශ්‍යතාවය සොයා බලා රජයේ හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කරමින් එම අවශ්‍යතා ඉටු කර දීමට ද මෙම නිලධාරීන් ඉදිරිපත් වීම නිසා රැකියාවක හෝ ව්‍යාපාරයක මූලික අඩිතාලම දැමීමට අවශ්‍ය කරන මූල්‍යමය ශක්තිය සම්බන්ධයෙන් වද විය යුතු නැත. එහිදී බැංකු මඟින් ඉදිරිපත් කරන ලෙස කියන ව්‍යාපාර සැලසුම් ආදිය ද මෙම නිලධාරීන් විසින්ම සකසා දෙනු ලැබීම ද විශේෂත්වයකි.

 

ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුමත් නොමිලේ

 

මෙම ආයතන මඟින් පවත්වනු ලබන තාක්ෂණික අංශයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සම්බන්ධ වීමෙන් ඔබට වඩාත් හොඳින් ශක්තිමත් ලෙස තම කාර්යයට අවතීර්ණ වීමට හැකියාව ලැබේ. එහිදී තනි පුද්ගල හා කණ්ඩායම් වශයෙන් පවත්වන පුහුණු වැඩසටහන්වලින් තාක්ෂණික දැනුම ලබා ගත හැකිය. එහිදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයටත්, පැළ තවාන් අංශයටත් යොමුව තොරතුරු එක් කර ගත හැකිය. උදාහරණයක් වශයෙන් කේක් නිෂ්පාදනයට යොමු වන්නට කැම‍ැත්තෙන් සිටින අයකුට නම් ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම, උපකරණ ලබා ගැනීමට උදව් ආදිය මේ හරහා ලැබෙයි.

 

නීතිමය පැත්තටත් උපකාර

 

ඔබ යම් ස්වයං රැකියාවකින් හෝ යම් කර්මාන්තයකින් දියුණු වීම බලාපොරොත්තු වෙනවා නම් ඊට අවශ්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමේදී, බාකෝඩ් ආදිය ලබා ගැනීමේදී සියයට ගණනක ගෙවීම් ද මෙම ආයතන විසින් සපයනු ලැබීම මේ හරහා ඉදිරියට යන අයට අත් වන තවත් වාසියකි. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වසම් ආකාරයට එකතු කර සුළු ව්‍යාපාර ලියාපදිංචි කිරීම, ස්වයං රැකියා හා ව්‍යාපාර නිරීක්ෂණය කර අඩුපාඩු සලසා දීම ආදිය ද මේවා මඟින් සිදු කර දෙයි. ඔබ සතු සම්පත්, හැකියාවන් හා අදහස් ලබා ගනිමින් ඊට අත්වැලක් සැපයීම මේවා හරහා සිදු කරයි. උදාහරණයක් ලෙස බිම්මල් වැනි ව්‍යාපාරයක් කරන අයට ඇසුරුම්කරණ තාක්ෂණය ලබා දීම සිදු කරයි. එමෙන්ම ඒවා අගය එකතු කළ නිෂ්පාදන ලෙස සිදු කිරීමේදී ඊට අවශ්‍ය වෙළෙඳපොළ සපයා දීම ද මෙම අංශ මඟින්ම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේවා සිදු කරයි. එමෙන්ම ඔබ විසින් කරනු ලබන නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේදී ව්‍යාපාර සැලසුම් සකසා දීමත්, ගැනුම්කරුවන් හඳුන්වා දීමත් මේ හරහාම සිදු කර දීමෙන් ඔබට ඔබ යොමු වන ස්වයං රැකියාවේ අනාගතය පිළිබඳ පවතින බිය පහව යනු ඇත. මීට අමතරව නේවාසික පුහුණු පාඨමාලා ද ඔබ වෙනුවෙන්ම සූදානම් කර තිබේ.

 

යොමු විය හැකි ස්වයං රැකියා මොනවාද?

 

කේක් නිෂ්පාදනය, බිම්මල්, මැහුම් ගෙතුම් ඇතුළු ඇඟලුම්, විවිධ රසකැවිලි නිෂ්පාදන, විසිතුරු නිර්මාණ, විසිතුරු මසුන්, එළවළු පලතුරු වගාවන් ඇතුළු තමන් කැමැති ඕනෑම අංශයක් තෝරා ගත හැකිය. තමන්ගේ අදහසත් නිලධාරින්ගේ උපදෙසත් ලබා ගනිමින් ඔබට ඔබ තෝරා ගන්නා අංශයෙන් ඉදිරියට යෑම අපහසු වන්නේ නැත.

මෙසේ හරි ආකාරයට දැනුම්වත්භාවයකින් යුතුව ස්වයං රැකියාවකට, ව්‍යාපාරයකට යොමු වන්නේ නම්, කිසිම විටෙක ඔබේ උත්සාහය වතුරේ යන්නේ නැත. මක්නිසාදයත් දිවයින පුරා සිටින මෙම නිලධාරීන් ඔබ වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන් හේතුවෙන් ඔබට ආධාර, උපකාර, ත්‍යාග ලබා දෙමින් ඔබේ දියුණුවට සපයන අත්වැල අතිමහත්ය. තවදුරටත් ආර්ථික ප්‍රශ්න නිසා රටට ලෝකයට හූප්පමින් නොසිට ශක්තිමත් කාන්තාවක් ලෙස තනිව නැඟී සිටීමට මේ මඟින් ඔබට ශක්තිය ලබා ගැනීමට හැකියාව ලැබේ.

 

තොරතුරු සැපයීම

එම්. හංසනී මධුරංගි

කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි,

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,

මතුගම.