ගෙදර ඉඳන් ඩොලර් හොයන යාළු මාළු සාත්තරේ

විසිතුරු මසුන් වගාවෙන් සල්ලි සොයන රහස්
නොවැම්බර් 21, 2022

 

ඔබට මේ ව්‍යාපෘතියේ තවත් විවිධ පැති රාශියක් තිබෙනවා. මේ ව්‍යාපාරය තුළින් ඔබට විසිතුරු මසුන් අපනයන දක්වා යන්න අවස්ථාව තිබෙනවා. ඇත්තටම මේ ව්‍යාපාරය විශාල ජාලයක් පවතිනවා.

මේ ගෙවී යන කාලය නි‍ෙවසේ ආර්ථිකයට තදින්ම දැනෙයි. අතට ගන්න මුදල වාෂ්ප වෙලා යන්නේ අතටත් නොදැනීම. හැම බඩුවක්ම වැඩි වෙලා.... හැමෝම මැසිවිලි නඟන්නේ මේ දැවෙන ආර්ථිකය ගැන. හැබැයි මේ ආර්ථිකයෙන් ගොඩයන්න සිතන පිරිස අති විශාලයි. අතට අමතර මුදලක් සොයා ගන්න, පවුලේ දෛනික වියදම අඩු කර ගන්න, තම සැමියාගේ රැකියාවට අමතරව ස්වයං රැකියාවකින් පුංචි මුදලක් සොයාගන්න සිතන ගෘහණියෝ බොහෝ පිරිසක් සිටිනවා. 'Every dark cloud has a silver lining' කියලා විශ්වාස කරන අය ලෝකය දෙස බලන්නේ සුබවාදීව.

 

මුදල් සොයන්න විදේශ රැකියාවක් අවශ්‍යම නැහැ... අපට මේ රටේම විදේශ විනිමය සොයන්න ක්‍රම තිබෙනවා. එහෙම සිතන සමහරු විවිධ ස්වයං රැකියා ගැන හිතනවා. අපට මේ රටේම සිටිමින් ලෝකය ජයගන්න පුළුවන් කියලා විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙන අපේ යුවතියන්ට ඒ වෙනුවෙන් ආරම්භ කළ හැකි ස්වයං රැකියා රාශියක් තිබෙනවා. අප ඔබට මේ සටහන තබන්නේ එවැනි ස්වයං රැකියාවක් සඳහා ප්‍රවේශයක්. විසිතුරු මසුන් ඇති කිරීම අද ලෝකයේ දැවැන්ත ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය අපට හොඳ ආදායමක් උපයා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපේ රටට විදේශ මුදල් සොයා ගන්නත් අවස්ථාව ලැබෙනවා.

 

අප මුලින්ම මේ විසිතුරු මත්ස්‍ය වගාව සිදු කිරීම සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම ගැන පුංචි මඟපෙන්වීමක් ලබා දෙන්න සිතුවා. විසිතුරු මසුන් වගා කිරීම කියන්නේ විනෝදාංශයක්. ඒ වගේම තමුන්ට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක්. හැබැයි, මේ ව්‍යාපාරය හරියටම කරන්න මූලික දැනුම හා පුහුණුව තිබීම ඉතාම වැදගත්. අපට ඒ සඳහා පුහුණුව හා මඟපෙන්වීම ලබාදෙන රජයේ ආයතනය තමයි ශ්‍රී ලංකා ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය. මේ ආයතනය මඟින් තමයි විසිතුරු මත්ස්‍ය වගාව නිසි ආකාරයෙන් සිදු කිරීම ගැන පුහුණුව හා මඟ පෙන්වීම ලබා දෙන්නේ. එම ආයතනයට අනුබද්ධිත ජලජ ව්‍යාපෘති අංශයේ ශාඛා දිවයින පුරාම ස්ථාපිත කර තිබෙන අතර ඕනෑම අයෙකුට ඒ සඳහා සම්බන්ධ විය හැකි දිස්ත්‍රික් ජල ජීවී කාර්යාල 24ක් තිබේ. තමුන්ගේ පදිංචි දිස්ත්‍රික්කයේ ජල ජීවි කර්යාල හා සම්බන්ධ වන ඕනෑම අයෙකුට විසිතුරු මසුන් වගාව පිළිබඳ නිසි මඟ පෙන්වීම හා මසුන් අපනයනය කරන ක්‍රමවේදය පිළිබඳ ඔවුන් ඔබට තොරතුරු සපයයි.

 

අප මුලින්ම ඔබට හඳුන්වා දෙන්නේ මේ පිළිබඳ උනන්දුවක් ඇති ඕනෑම අයකුට මේ ව්‍යාපෘතිය පිළිබඳ පුහුණුව ලබාදෙන ආයතනයට සම්බන්ධ වෙන ආකාරයයි. රන්බොඩගල්ලේ පිහිටි ජල ජීවී පුහුණු ආයතනය විසින් ලබා දෙන එම පුහුණුව පිළිබඳ අපට වඩාත් හොඳින් පැහැදිලි කළේ එම පුහුණු ආයතනයේ ස්ථානභාර නිලධාරි ජලජීවී විද්‍යාඥ එස්.ආර්.ඩී.බණ්ඩාර මහතාය.

 

"මේ විසිතුරු මසුන් ව්‍යාපෘතියට වැඩිම උනන්දුවක් තිබෙන්නේ කාන්තාවන්. නිවෙසේ සිට අමතර ආදායමක් ලබාගන්න පුළුවන් සාර්ථක ව්‍යාපාරයක් ලෙස විසිතුරු මසුන් ඇති කිරීම දැන් වඩාත් ජනප්‍රියයි. ඒ වගේම රජය විසින් විශාල දායකත්වයක් මේ සඳහා ලබා දෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, පළාත් සභා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය හරහා අපගේ පුහුණු පාඨමාලාවන්ට යොමු වීමට අනුග්‍රාහක දායකත්වය සපයනවා.

 

ඔබට මේ ව්‍යාපෘතියේ තවත් විවිධ පැති රාශියක් තිබෙනවා. මේ ව්‍යාපාරය තුළින් ඔබට විසිතුරු මසුන් අපනයනය දක්වා යන්න අවස්ථාව තිබෙනවා. ඇත්තටම මේ ව්‍යාපාරය විශාල ජාලයක් පවතිනවා. ඔබ අප සමඟ සම්බන්ධවීමෙන් ඒ සඳහා මඟපෙන්වීමක් ලබා දෙන්න පුළුවන්. දැන් මේ විසිතුරු මත්ස්‍ය වගාව සඳහා හොඳ වෙළෙඳපොළක් පවතිනවා.

මේ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ප්‍රධානම සාධකය වෙන්නේ ජලය. මුලින්ම ඔබ මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙනවා නම් ඔබ ප්‍රදේශයේ ජලය පිළිබඳ පරීක්ෂාවක් කළ යුතුයි. ඒ සඳහා ජල සම්පත් මණ්ඩලයෙන් හෝ අපගේ ආයතනය මඟින් ඒ පරීක්ෂණය කරගන්න පුළුවන්. ඉන් පසුව ඔබ ප්‍රදේශයට ගැළපෙන මසුන් ප්‍රභේදය හඳුනාගෙන වගා කිරීම ආරම්භ කිරීම තමයි සාර්ථකම ක්‍රමය. ඊට පසුව අපට පුළුවන් නිෂ්පාදන සැලසුමක් සකස් කරගන්න. ඔබට මාසිකව ලැබෙන ආදායම ගැන දළ සැලසුමක් හදාගන්නත් පුළුවන්. ඔබ වගා කරන මාළු වර්ගය අනුව ලැබෙන ආදායමක් තීරණය කරන්න පුළුවන්.

අපගේ පුහුණු පාඨමාලාව දින 3ක් නේවාසිකව පවත්වනවා. එහිදී නිෂ්පාදන සැලසුමක් හදා ගැනීම, ජලජ පැළෑටි වගාව, කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් උපකරණ, මත්ස්‍ය ආහාර සෑදීම පිළිබඳ අප ආයතනය මඟින් පුහුණුව ලබා දෙනවා. පුහුණුව සඳහා අප අය කිරීමක් කරනවා. ඒ අය කරන මුදල සඳහා අනුග්‍රහය හා සහයෝගය ඔබට කුඩා ව්‍යාපාර ව්‍යාපෘති අංශය හෝ පළාත් සභාව මඟින් ලබාගන්න පුළුවන්. එසේම මේ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ණය පහසුකම් ලබාදීම සඳහා බැංකු ක්ෂේත්‍රය තුළ විශාල කැමැත්තක් තිබෙනවා. ඔබ අපගේ ආයතනයේ පුහුණුව ලබා ගත් පසු ණය මුදලක් ලබාගෙන මේ ව්‍යාපාරය ආරම්භ කළොත් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම විශාල විදේශ විනිමය උපයන කර්මාන්තයක් බවට පත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ සියල්ලම තීරණය වෙන්නේ ඔබ තුළ තියෙන උනන්දුව හා කැපවීම මතයි."