ජීවිතයට අලුත් මඟක් හදාගන්න

මේ අපූරු කඩදාසි වීදියට එන්න
දෙසැම්බර් 19, 2022

 

කඩදාසි මේ දිනවල නිතර කතා වෙන මාතෘකාවක්. කාඩ්බෝඩ් වුණත් එහෙමයි. දූ පුතුන්ගේ පොතපතේ ඉඳන් අපනයන තත්ත්වයේ භාණ්ඩ ඇසුරුම්කරණය දක්වාම එය දිවෙනවා. ඒ වගේම විවිධ අත්කම් නිර්මාණ සහ අලංකරණය සඳහාත් කඩදාසි සහ බෝර්ඩ් වර්ග අත්‍යාවශ්‍යයි.විවිධ වර්ගයේ වර්ණයේ මෙන්ම එකිනෙකට වෙනස් ඝනකමින් යුතු විවිධ වර්ගයේ කඩදාසි, කාඩ්බෝඩ් තොග වශයෙන් අඩුම මිලට ගන්නට තැන් කිහිපයක රස්තියාදු වෙන සහ විශාල මුදලක් ගෙවන අයට සුවිශේෂී තැනක් ගැන ඉඟියක් ලබාදෙන්නයි අපේ මේ සූදානම.

මේ තැන තිබෙන්නේ කොළඹ මැද. හරියටම කිව්වොත් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මල්වත්ත පාර මැද. දැන් ඔබ හිතනව ඇති මේ කඩදාසියක් ගන්න කොළඹ යන්නෙ මොකටද කියල.අපි මේ මඟ පෙන්වන්න සූදානම් වෙන්නේ ස්වයං රැකියාවක් ලෙස නිර්මාණකරණයේ යෙදෙන උදවිය සඳහායි. ඒ උදවියට අවශ්‍ය විවිධ කොළ සහ කාර්ඩ්බෝර්ඩ් මේ වීදියේ ඉතා අඩු මුදලට මිලට ගන්න පුළුවන්. මහා පරිමාණයේ මුද්‍රණ කර්මාන්ත ශාලාවලින් ඉතිරිවන විවිධ ප්‍රමාණයේ සහ වර්ණයේ කොළ වර්ග කිලෝ ගණනට අනුව මේ මාර්ගයේ කඩවලින් සොයා ගැනීම ඉතා පහසුයි.

ඒ හැරෙන්නට අලංකාර ඇසුරුම් නිර්මාණය සඳහා යොදා ගන්නා ක්‍රාෆ්ට් ලයිනර් පේපර් දැන් වැඩි දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා. දැන් දැන් ඔන්ලයින් බිස්නස්වලට වැඩි දෙනකුගේ කැමැත්තක් තිබෙනවා. ඒ ඒ නිෂ්පාදන පිටරටවලට යවද්දී ආකර්ෂණීය අයුරින් ඇසුරුම් කළ යුතුයි. එහෙත් අඩු වියදමකින් ඒ ඇසුරුම්කරණ නිමාව දීමටත් අවධානය යොමු කිරීමත් වැදගත්. එවැනි විකල්ප සොයන කාටත් කුමාර වීදියේ ආයතන රැසකින් හොඳ අත්වැලක් ලැබෙනවා. මෙම ඇසුරුම් නිර්මාණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙම වීදියේ පිහිටුවා ඇති කඩවලින් මිලට ගන්නට පුළුවන්.

අපනයන තත්ත්වයේ ප්‍රතිමා, සපත්තු, විසිතුරු නිමැවුම් ආදියද ඇසුරුම්කරණයට අවශ්‍ය කරන විශාල ප්‍රමාණයේ කඩදාසි ද මෙම වීදියෙන් මිලට ගැනීමට හැකියි. විශේෂයෙන්ම කොරිගේටඩ් පෙට්ටි වලට කාන්තාවන්ගෙන් වැඩි ඉල්ලුමක් පවතිනවා. අලංකාර කොරිගේටඩ් බෝර්ඩ් මේ වීදියේ වෙළෙඳසල්වලින් මිලට ගන්නට පුළුවන් .

පුංචි හෝටලයක ඉඳන් ආහාරපාන ආදී ව්‍යාපාර සඳහා ආකර්ෂණීය ඇසුරුමක් වැදගත්. එවැනි දිරාපත් වන සකස් කළ ඇසුරුම් මෙන්ම ඒවා නිවෙසේදීම සකස් කර ගැනීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ද කොළඹ කුමාර වීදිය අවටින් සොයා ගත හැකියි.

ඒ සඳහා සතියේ වැඩකරන දිනවල උදෑසන නවයේ පමණ සිට සවස හය පමණ වන තෙක් මේ වෙළෙඳසැල් විවෘතයි.

 

කඩදාසි නිවෙසේදීම සකසා ගැනීම

 

මේ වන විට නිවෙසේදීම කඩදාසි සකස් කර ගැනීම හොඳ ආදායම් මාර්ගයක්. ඇත්තෙන්ම මෙරටට අවශ්‍ය කරන කඩදාසි මහා පරිමාණයෙන් සකස් කර ගන්නේත් පැරණි කඩදාසි අඹරා අලුතින් කඩදාසි නිෂ්පාදනයෙන්. ඒ මිසෙක පිදුරු ආදී අමුද්‍රව්‍ය යොදා ගෙන මේ වන විට මෙරට කඩදාසි නිපදවීමක් කෙරෙන්නේ නැහැ.

ඒ අනුව මේ වන විට කලින්ට වඩා තුන් හතර ගුණයකින් කඩදාසි මිල වැඩිවී ඇති බව ඇත්තක්.

ඒ පිළිබඳ අපිට අදහස් දැක්වූයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ලක්ෂ්මන් මෙන්ඩිස් මහතා. ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයේ දිගු කාලීන අත්දැකීම් ද සතු අයෙක්

 

' මේ වන විට කඩදාසි සම්බන්ධයෙන් ගැටලු රැසක් මෙරට තියෙනවා. ඒ වගේම හිඟයකුත් දක්නට පුළුවන්. තැන තැනින් එක්රැස් කරගත් තොග හරි අපහසුවෙන් තමයි අපි එකතු කර ගන්නේ. ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙන සුළු ප්‍රමාණයක් කඩදාසි වලින් තමයි වෙළෙඳපොළට අලුතින් කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන කරන්නේ.

අනෙක, මේ වනවිට නිවෙස්වල ගෘහණියන් ඇතුළු පිරිස් අතින් කඩදාසි සහ කාඩ්බෝඩ් නිපදවීමේ කර්මාන්තයේ නියැළී සිටිනවා. සුළු වශයෙන් කඩදාසි නිපදවූවත් එය හොඳ ආදායම් මාර්ගයක්. එවැනි එක් කඩදාසියක වෙළෙඳපොළ මිල රුපියල් තුන්සියයක් පමණ වෙනවා.

අනෙක වැඩි අපහසුවකින් තොරව නිවෙසේදීම කඩදාසි සකසා ගත හැකියි. මුලින් පැරණි කඩදාසි එක්රැස් කර ගන්නවා. ඉන් පස්සේ ඒවා ප්‍රතිචක්‍රීකරණයේ මූලික පියවර වන ඒවා දිය කරනවා. ඉන් පස්සේ පෙරහන් කරනවා. ඒ ඉතිරි වන දේ රසායනික ද්‍රව්‍ය කලවම් කරනවා. ඉන් පස්සේ වැළක දමා වියළා ගන්නවා.

මේ විදියට වැඩි නිෂ්පාදනයක් නිවෙසේදී කර ගැනීම අපහසුයි. දවසටම කඩදාසි දහයක් විතර තමයි හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් ඒ කුඩා නිෂ්පාදනයට ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඉන් සැලකිය යුතු ආදායමක් ලැබිය හැකියි.

දැන් බ්‍රිස්ටල් බෝඩ් එහෙම පිටරටින් එන්නේ නැහැ. ඒ නිසා ඉදිරි වර්ෂයේදී පාසල් පොත් ලැයිස්තුවට පොත්පත්, කඩදාසි, කාඩ්බෝඩ් නිෂ්පාදන එකතු කරන අම්මලා තාත්තලාට ලොකු පීඩාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ නිෂ්පාදන සුලභ කළ යුතු බවයි මං බලධාරින්ගෙන් ඉල්ලන්නේ.

ඒ, කුමාර වීදියේ කඩදාසි, කාඩ්බෝඩ් වෙළෙඳුන්ගේ ඉල්ලීමකි.

මෙසේ අපට නැතුවම බැරි කඩදාසි වර්ග රැසක් මේ කුඩා වීදිය අතර අපට හමුවේ.පේපර් ක්විලින් සහ විවිධ අත්කම් සඳහා අප නිතර සොයන විරල ඝණයේ කඩදාසිද සහ හෑන්ඩ් මේඩ් කඩදාසි සොයන අයට මෙහිදී ඒ අවශ්‍යතාව සපුරා ගැනීමට අවස්ථාව උදාවේ. කඩදාසි ආශ්‍රිත නව ස්වයං රැකියාවක් අරඹන්නකුටද අලුත් අදහස් ලබාගැනීමට මේ වීදිය කදිම තක්සලාවකි.

ඔබත් දිනෙක මේ වීදිය දිගේ ඇවිද යන්න.ඔබටත් බොහෝ දෙනා සහ බොහෝ දේ හමුවේවි

 

 

ඡායාරූප -සුදත් මලවීර