ගෙදර හදන සුරතලාගෙන් දියුණුවේ කලාව මතු කරගන්න

මැයි 15, 2023

අපේ ජීවිතයට සමීපව බැඳුණු දේ බොහෝය. ජීවිතය හා බැඳුණු මේ සමීප දේවල් සමඟ සතුටින් ගත කරන්න පුළුවන් නම් අපේ ජීවිතය හුඟක් ලස්සන වෙනවා. තම දූ දරුවන් සමඟ ඉතාම සමීපව සතුටින් ගත කරන ආදරණීය මවක් ලෙස ඔබට ලොකු වගකීමකුත් පැවරෙනවා. මේ වගකීම් සමුදායත් සමඟ ජීවිතය සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්න ඔබ වෙත ළඟාකර ගත හැකි දේවල් රාශියක් තිබෙනවා. විසිතුරු මල් වගාව, මැහුම් ගෙතුම් අත්කම්, පොත් පත්තර සමඟ ගත කරන කාලය... මේ සෑම දෙයකින්ම ඔබගේ සිතට පුංචි සැනසීමක්, සැහැල්ලුවත්, සතුටත්, විනෝදයක් ලැබෙනවා.

 

සමහර අවස්ථාවකදී මෙලෙස සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්න සුරතල් සතුන් ඇති කිරීම බොහෝ දෙනකුගේ විනෝදාංශයක්. සුරතල් මසුන්, සුරතල් සතුන් ඇති කිරීමට අප බොහෝදෙනකු උනන්දු වෙන්නේ සිතේ සතුට හා දරුවන්ගේ සතුට විනෝදය වෙනුවෙන්. මේ විනෝදය ඔබට මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට පුළුවන් නම් එය කොයි තරම් වටිනවා ද? ආර්ථික වශයෙන් දැඩි අසීරු මේ කාලයේ බොහෝ දෙනෙක් අතට මුදලක් ලැබෙන ව්‍යාපාරයක් ගැන සිතනවා. ගෘහණියන් ලෙස බොහෝ දෙනෙක් සොයන්නේ නිවෙසේ කටයුතු අතර අතට මුදලක් සොයා ගැනීමයි.

ස්වයං රැකියා සඳහා නිබඳවම අත්වැලක් සපයන අප සුරතල් මසුන් ඇති කිරීම හා ස්වයං රැකියාවක් ලෙස මේ ව්‍යාපාරය දියුණුකර ගැනීමට ඔබව කිහිපවරක්ම දැනුවත් කර තිබේ. ඒ නිසා මෙවර අප ඔබව දැනුම්වත් කරන්නේ සුරතල් සතුන් ඇති කිරීම හා එය ව්‍යාපාරයක් ලෙස සිදු කරන ආකාරයයි. බොහෝ නිවෙස්වල ආරක්ෂාව වෙනුවෙන් බල්ලන් ඇති කිරීම දැන් ජනප්‍රිය විනෝදාංශයකි. එසේම පූසන්, තාරාවන්, ඉබ්බන් හා කුකුළන්, පරවියන් විසිතුරු කුරුල්ලන් (Love Birds) ඇති කිරීමද කුඩා දරුවන් සිටින නිවාසවල ජනප්‍රිය විනෝදාංශයකි.

 

මෙලෙසින් විනෝදයට ඇති කරන සතුන් බොහෝවිට ව්‍යාපාරයක් බවට පත් කරගැනීමට උනන්දුවක් බොහෝ දෙනකුට ඇති නොවේ. නමුත් ඔබ මේ විනෝදයට ආරම්භ කළ සුරතල් සතුන් ඇති කිරීමේ කලාව ක්‍රමානුකූලව සිදු කළහොත් එය පහසුවෙන් මුදල් උපයාගත හැකි ව්‍යාපාරයකි. මෙහිදී සුරතල් බල්ලන් ඇති කිරීම වඩාත් සාර්ථක ක්‍රමයකි. මේ සඳහා ඔබ හැම විටම හොඳ වර්ගයේ සුනඛයන් තෝරා ගැනීම පළමුව කළ යුතු කටයුත්තයි. වර්තමානයේ නිවාසවල ඇති කරන විවිධ වර්ගයේ විදේශීය සුනඛයන් වර්ග රාශියක් සිටියි. ඒ සුනඛ වර්ග පිළිබඳ දළ අවබෝධයක් ඔබ ලබා ගන්න. ඉන් පසුව එම වර්ගයේ පිරිමි හා ගැහැනු සතුන් දෙදෙනෙක් මුලින්ම මිලදී ගන්න. එසේ මිලදී ගත් සුනඛයන් දෙදෙනා අභිජනනය කිරීමෙන් ඔබට සුනඛ පැටවුන් බෝකර ගැනීමේ හැකියාව ඇත.

 

මේ ආකාරයටම පූසන් සඳහා ද දැන් ඉල්ලුමක් පවතී. විවිධ විදේශීය රටවලින් ගෙන්වන ලද ජනප්‍රිය වර්ගයේ පූසන් රාශියක් සිටින අතර, ඒ පිළිබඳ මුලින්ම අධීක්ෂණයක්කර අන්තර්ජාලයෙන් තොරතුරු ද සොයාගෙන එවැනි ජනප්‍රිය පූසන් වර්ගයක් මිලදී ගන්න. මුලින්ම ජෝඩුවක් මිලදී ගත් ඔබට ඒ ජෝඩුවෙන් අභිජනනයකර පැටවුන් ලබා ගැනීමේ හැකියාව පවතී. මේ ආකාරයෙන් ව්‍යාපාරයට පිවිසෙන ඔබට අත්දැකීමක් ලබා ගැනීම සඳහා මුලින්ම එක් සතෙකුගෙන් ව්‍යාපාරයක් සඳහා පිවිසීමට පහසු වේ. තවත් මෙලෙසින් ඇති කරන සුරතල් සතුන් වර්ගයක් වන්නේ විසිතුරු පක්ෂීන් (Love Birds) ඇති කිරීමයි. මේ සඳහා මුලින්ම මෙවැනි පක්ෂීන් ජෝඩු කිහිපයක් මිලදී ගෙන ඒ සතුන් ඇති කිරීමට ද ප්‍රවේශ විය හැකියි.

 

මෙලෙසින් ක්‍රමානුකූලව මේ කටයුත්ත නිවෙසේ සාර්ථකව කළ ඔබට සතුන් ඇති කිරීම පිළිබඳ මූලික දැනුමක් හා අත්දැකීමක් නිරායාසයෙන්ම ලැබෙයි. එසේ ලැබෙන දැනුම හා අවබෝධය අනුව ක්‍රමයෙන් මෙය ව්‍යාපාරයක් බවට පත්කර ගැනීම ද ඔබටම කළ හැකියි.

ඔබ නිවෙසේ ඇති කරන සතුන් විකුණා ගැනීම ඊළඟ අභියෝගයයි. ඒ සඳහා දැන් සරල ක්‍රම රාශියක් පවතී. සමාජ මාධ්‍ය හරහා ඉතා පහසුවෙන් සුරතල් මසුන් හා සතුන් අලෙවිය දැන් විශාල වශයෙන් සිදුවේ. එසේම විවිධ භාණ්ඩ, උපකරණ රථවාහන විකුණන විකුණුම් ජාල හරහා ද ඔබගේ සතුන් විකුණා ගැනීමේ හැකියාව ඇත. ඊට අමතරව පුවත්පතක දැන්වීමක් පළ කිරීම හෝ කුඩා අත්පත්‍රිකාවක් මුද්‍රණයකර බෙදා හැරීම හෝ පෝස්ටරයක් නිර්මාණය කර ඇලවීම ද කළ හැකි පහසු ක්‍රමයකි. මේ සියලු දෙයට අමතරව දැන් මෙවැනි සතුන් ඇති කරන අයගේ සංගම් හා කණ්ඩායම් රාශියක් තිබේ. මෙවැනි සංගමයට හෝ ජාලයකට සම්බන්ධ වූ විට පහසුවෙන් ඔබට මේ කටයුත්ත කරගත හැකි වනු ඇත.

තවද මේ ව්‍යාපාරය දියුණු කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික දැනුම ලබාගත හැකි ආයතන වන්නේ රජයේ පංශු වෛද්‍ය කාර්යාලයයි. එම වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරයාගෙන් ඔබගේ සුරතල් සතුන් ඇති කිරීමේදී මතුවන ගැටලු, රෝග හා ප්‍රායෝගික ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට හැකියාව ඇත. එසේම අන්තර්ජාලය පරිශීලනයන් ඔබට මේ සතුන් ගැන තොරතුරු සොයා ගැනීම හා ඔවුන්ට ඇති ඉල්ලුම පිළිබඳ නිරතුරුවම අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.