බිඳුණු බඳුනකින් ලස්සන මල් දමක්

පෙබරවාරි 19, 2024

අද වනවිට ඔබ වියළි මල් කලාවේ බොහෝ ඉසව් ග්‍රහණය කරගෙන අවසන්. ඇත්තෙන්ම දැන් ඔබ සුවිශේෂී කෙනෙක්. දවසට අයිති පැය විසි හතරේ ඵලදායී ලෙස යෙදවිය හැකි කාලය ඔබ තවදුරටත් හඳුනාගන්න.

තත්පර, මිනිත්තු, පැය දවස්වලින් කාලය මැන්නට මේ කාලය වැය කරනවාද?

ආයෝජනය කරනවාද? කියලා ඔබට අදහසක් තියෙනවාද? සාමාන්‍යයෙන් කාලය වැය කරන්නත් පුළුවන්. ආයෝජනය කරන්නත් පුළුවන්. මොකද කාලයත් එක්ක ගෙවෙන්නේ ඔයාගේ ජීවිතය. සාර්ථක ජීවිතයකට කාලය කළමනාකරණය කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්.

දවසට අයිති පැය විසි හතරේ ඔබට ඵලදායී ලෙස යෙදවිය හැකි කාලය පිළිබඳව මුලින්ම හඳුනාගන්න. එය රාත්‍රී කාලය, උදෑසන හෝ දහවල විය හැකියි. එමෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම කාලය වෙනස් වේ. මෙම ක්‍රමය තෝරා ගැනීමට නොකඩවා ඔබ පැය විසි හතර ගෙවී යන ආකාරය පිළිබඳව මුලින්ම අධ්‍යයනය කළ යුතුයි. එම පැය විසි හතර තුළ ඔබ උද්‍යෝගීමත්ව වැඩ කිරීමට සුදුසු යැයි හැඟෙන දවසේ එකම වේලාවක් හඳුනා ගත යුතුය.

එම වේලාව තමයි වියළි මල් නිර්මාණකරණය සඳහා ඔබේ සිත යොමු කරන්න සුදුසුම කාලය. ඵලදායීතාව, කාලය කළමනාකරණය කිරීමට අවශ්‍ය නම් ඔබ වැඩිපුරම කැමැති ඵලදායීම ක්‍රියාවලිය තෝරාගෙන එම කාර්යය පමණක් කිරීමට කටයුතු කරන්න.

අමුද්‍රව්‍ය සොයා ගැනීම, කොටස් තෝරා වෙන් කිරීම, වියළා ගැනීම, වර්ණ ගැන්වීම, අමුණා ගැනීම වැනි කාර්යයන් සඳහා එම කාලය කළමනාකරණය කරගන්න.

ඔබේ අරමුණ විය යුත්තේ වියළි මල් කලාවෙන් ජීවිතය ලස්සන කරගැනීමයි. අපේ වෑයම ඔබේ ඉලක්ක අරමුණු ඉටුවන තෙක් එම කාර්යයේ නිරත වීමට මං පෑදීමයි. මෙය තරමක් අපහසු වුවද කල්යාමේදී ඊට අනුගත වී ඔබම ඊට සූදානම් වේ. ඇත්තෙන්ම මෙය යහපත් මානසික සෞඛ්‍යයකට ද බලපානු ඇත.

අද අපි තමන්ගේ ගෙදර කැඩී බිඳී අපතේ යන වීදුරු බඳුනක්, මැටි බඳුනක් එසේත් නැතිනම් ප්ලාස්ටික් බඳුනක් යළි පිළිසකරකර ගන්නා අන්දම බලමු. මෙවැනි කඩතොලු වූ බඳුනක් නිවෙසේ තවදුරටත් තියාගන්න කවුරුත් කැමැති නැහැ. එහෙත් එයට තව තවත් කොටස් එකතුකර පිළිසකරකර විසිත්ත කාමරයට, කෑම කාමරයට, කාර්යාලයේ හැඩට තබා ගන්න පුළුවන්. අන්න ඒ ක්‍රමය තමයි මේ කියා දෙන්න සුදානම.

ඔයාටත් දැන් මතක් වෙනවා නේද නිවෙසේ දර මැස්සේ හෝ ගබඩා කාමරයට විසි කරපු පරණ කැඩී බිඳී ගිය මල් බඳුන් ගැන.

අන්න ඒ බඳුන හොඳින් පිරිසුදුකර අතට ගන්න. මේකට ගම් ටේප් හෝ පළල ඩබල් ටේප් එකක්, ග්ලූ ගන් එකක් හා වියළා ගත් මල්, කොළ, බජිරි යන අමුද්‍රව්‍ය අවශ්‍යයි. දැන් කැඩුණු බඳුන ගෙන එය මේසයක් උඩ තබා ගත හැකි පරිදි අඩිය සකසා ගන්න. මුලින්ම බඳුන වටේට ඩබල් ටේප් එක අලවා ගන්න. නිර්මාණය කිරීමේදී උසේ පිළිවෙළට වියළා ගත් සහ වර්ණ ගන්වා ගත් මල්, කොළ, කිනිති රඳවා ගන්න. මෙහි උඩින් දෙවැනි තට්ටුවක් ද යවා ගැනීමෙන් ඝනකම් බව රැකදේ. එබැවින් ඒ උඩින් නැවත ඩබල් ටේප් අලවා ගන්න.

මේ නිර්මාණයේදී කම්බි යොදා ගන්නේ නැත. උස, කොට පිළිවෙළින් සම්පූර්ණයෙන්ම දඬු කැබැලි, මල් සහ වැල් අලවා ගන්න. පුංචි කෘත්‍රිම මල් කිහිපයක් තැනින් තැන අලවා ගැනීමෙන් නිර්මාණශීලීත්වය වැඩිකර ගත හැකියි. මෙම නිර්මාණයේ වඩාත් වැදගත්ම පුහුණුව වන්නේ කාල කළමනාකරණය සහ ඉවසිලිවන්ත බවයි.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර

උපදෙස්:-

ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී

සමන් ජයලත්