ව්‍යවසායිකාවන් බලගැන්වීමට ලංකා වාණිජ මණ්ඩලය හා එක්ව සෙලාන් බැංකුවේ ‘දිනන ඇය’ ඇරඹෙයි

මාර්තු 11, 2024

දිවයින පුරා සිටින ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ අරමුණින් සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව පරිවර්තනීය වැඩමුළු මාලාවක් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ඊයේ (මාර්තු 7 වැනි දින) නිට්ටඹුවේදී ආරම්භ කළ 'දිනන ඇය' වැඩසටහන් මාලාව කාන්තාවන් ආර්ථිකව සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පෝෂණය කිරීමට සෙලාන් බැංකුවේ ඇති කැපවීම පිළිබඳ සාක්ෂියකි.

මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස වෙළෙඳපොළ ප්‍රවේශය සහ අපනයන පහසුකම් සැලසීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමකින් යුත් කීර්තිමත්, ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ උපදේශකයෙකු වන උපුල් දසනායක මහතා සහභාගී විය. උපුල් දසනායක මහතා සතු තීක්ෂණ බුද්ධිය සහ මගපෙන්වීම මත වර්තමාන වාණිජ ලෝකය තුළ ව්‍යවසායකත්ව සංකීර්ණතා හඳුනාගනිමින් එ්වා අතික්‍රමණයට අවශ්‍ය දැනුමින් සහ මෙවලම්වලින් කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම මෙහි අපේක්ෂාව විය.

දසනායක මහතාගේ ප්‍රධාන දේශනයට අමතරව සෙලාන් බැංකුවේ නිලධාරීන් විසින් ව්‍යවසායකයන් සඳහාම සකස් කරන ලද ඩිජිටල් විසඳුම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම සිදුකළ අතර සෙලාන් බැංකුව විසින් ‘දිනන ඇය’ වැඩසටහනට සමගාමීව හඳුන්වාදෙන ණය යෝජනා ක්‍රම පිළිබඳවද සහභාගී වූ ව්‍යවසායිකාවන් දැනුවත් කරනු ලැබීය. නිෂ්පාදන, සංචාරක, ඇඟලුම් සහ කෘෂි ආශ්‍රිත රැකියා වැනි ප්‍රධාන කර්මාන්ත හරහා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසායකයන් (MSMEs) සඳහා මෙන්ම අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා මූල්‍ය උත්ප්‍රේරකයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් සපයන අරමුදල් යටතේ සෙලාන් බැංකුව මගින් ක්‍රියාත්මක කරන Energizer ණය යෝජනා ක්‍රමයද මෙහිදී හඳුන්වාදුන් යෝජනා ක්‍රම අතර වේ.

Energizer ණය යෝජනා ක්‍රමය මඟින් ව්‍යාපාරවලට රුපියල් මිලියන 15 ක උපරිම ණය මුදලකට ප්‍රවේශය ලබා දෙන අතර, එහිදී උපරිම වසර දහයක කාලසීමාවක් සහ 8% ක ආකර්ෂණීය පොළී අනුපාතයක් ණය ලබාගන්නා ව්‍යවසායකයන්ට හිමි වේ. නව වත්කම් අත්පත් කරගැනීම, තාක්ෂණය අනුගමනය කරමින් යාවත්කාලීන වීම, ව්‍යාපාර පුළුල් කරගැනීම සහ ඵලදායීතාව ඉහළ නැංවීම වැනි අරමුණු සඳහා මෙම මූල්‍ය පහසුකම වෙන්කර ඇත. මෙම Energizer ණය යෝජනා ක්‍රමය හරහා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන සුවිශේෂී අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සහ වර්තමාන තරගකාරී වෙළෙඳපොළ තුළ දියුණු වීමට අවශ්‍ය මූල්‍ය නම්‍යශීලීභාවය ලබාදීම මෙහිදී සෙලාන් බැංකුවේ අරමුණයි.

ඉදිරියේදී දිවයින පුරා පැවැත්වෙන මෙම දැනුවත් කිරීමේ වැඩමුළු සඳහා සහභාගී වී වඩාත් ශක්තිමත් ලෙස තම ව්‍යාපාරික සිහින සැබෑ කරගැනීම සඳහා පළමු පියවර තබන ලෙස සෙලාන් බැංකුව සියලුම කාන්තා ව්‍යවසායිකාවන්ට ආරාධනා කරයි.