ජීවිතයම එළිය කරන අහක දාන පොල් හනස්ස

මාර්තු 18, 2024

ජීවිතයේ අමාරුම කඩඉම් පහු කරමින් ඉන්න ඔයාට, ඔයාගේ හිතට තව තවත් හයිය ලැබෙන්න ඕනේ... වැටෙන හැම තැනින්ම නැඟිටින්න “ඔව් මට පුළුවන්. මම මේක කරන්න ඕනේ.” කියන ගැම්ම හිතට දැනෙන්න ඕනේ.

ජීවිතයේ මහන්සියි කියලා දැනෙන හැම මොහොතෙම ඔයාගේ හීන මතක් කරගෙන හිනාවෙලා “මම ජීවිතේ දිනන්න ඕනේ ඒ අවශ්‍ය ශක්තිය මට ලැබෙනවා.” කියන විශ්වාසයෙන් ඔයාගේ ගමන යන්න. දැනටමත් පුංචි ව්‍යාපාරයකට පැහැදිලි මඟක් හැදී අවසන් ඇති.

අතහරින්න එපා. වියළි මල් කලාව කියන්නේ අද ලෝකයේම මල් ට්‍රෙන්ඩ් එකයි. මල් වියළන එක, අහුලන එක අමාරුයි කියලා දැනෙනවා ඇති. ඒත් සිනිඳු බුහුටි බිම මත ඇවිද යන මිනිසුන් බහුතරයක් ලිස්සා වැටෙන නමුත් රළු ගොරෝසු බිම මත මිනිසුන් වේගයෙන් බොහෝ දුර දිව යනවා. ජීවිතේ ඔබේ මාර්ගය දුෂ්කරතා හා බාධක මඟින් ගොරෝසු වී ඇත්නම් සතුටු වෙන්න. ඔබට එහි වේගයෙන් දිවිය හැකියි. මිනිසුන් ඔබට විරෝධය පාමින් ඔබව නොසලකා හරිමින් ඔබව රිදවීමට උත්සාහ ගනිමින් සිටී නම් ඔවුන් දෙස කෘතඥතා පූර්වකව බලන්න මන්ද ඔබව ලිස්සා යා නොදී ඔවුන් ඔබේ මග රළු කරමින් සිටින්නෝය. ලෝකයේ දිනූ සාර්ථක මිනිසුන් බහුතරයක්. රළු ජීවන මාර්ගවල ගමන් ගත් අයවලුන්ය.

එබැවින් ඔබත් ඔබේ ගමනේ ඇති රළු බිම් මායිම් නොකරන්න. හැම විවේකී මොහොතකම ඉවත දමන කෝටු කැබැලි, වියළි අතු, මල්, වැල් අපූරු මනසින් දකින්න. ඔබත් නොදැනීම ඔබේ දෝත මුදල්වලින් පිරෙනු ඇත.

අද මේ ඔබ දකින නිර්මාණය කරගන්නට හනස්සක් අවශ්‍යයි. හැකිනම් අමු හනස්සක් හොයාගන්න. පොල් ගහක් කපපු තැනකින් එය පහසුවෙන්ම ගත හැකියි. මේ හොයා ගත් හනස්ස ක්‍රමානුකූලව වියළා ගත යුතුයි. මෙය වේළීමේ යම් රහසිගත ක්‍රමයක් තිබේ. එසේ ක්‍රමානුකූලව වියළා නොගතහොත් රැලි වේ. දැන් කපා ගත් පොල් හනස්ස හිරු එළිය වැටෙන තැනක තබන්න. එහි ඇතුළට ගඩොල් හෝ සාමාන්‍ය ගල් දමන්න. එසේ නොවුණහොත් හනස්ස වේළීමේදී ඒ දෙපස එකට එකතු වේවි.

ලී කැබැල්ලක් ඒ මැදින් දමන්නත් අමතක කරන්න එපා. දැන් හනස්සේ මුල අඟල් 2 - 3ක් කපා ඉවත් කරන්න. ඉන්පසුව මෙයට ලී කොට කැබැලි හතරක් පහක් ස්ටෑන්ඩ් එක ලෙස එන පරිදි සවි කරගන්න.

මෙය වර්ණ ගැන්වීමේ දී ලැකර් භාවිත කරන්න පුළුවන්. ඉක්මනින් වියළා ගැනීමට අවශ්‍ය නම් ස්ප්‍රේකර ගැනීමත් සිදුකළ හැකියි.

දැන් හනස්සට ගැළපෙන පරිදි මල් මෙන්ම පලතුරු කීපයක් අතරින් පතර රඳවා ගන්න. මෙතෙක් පාඩම්වලදී නිර්මාණ සඳහා පලතුරු එකතුකර ගැනීමක් සිදු නොවුණි. එහෙත් අද වියළි මල්, කොළ අතරට පලතුරු ද එකතුකර ගන්නවා. එහිදී ද වර්ණ සංකලනය ගැන සැලකිලිමත් වන්න.

දැන් ඔබ වියළි ද්‍රව්‍ය නිර්මාණයට එකතුකර අවසන්. මේ සියල්ල රඳවා ගැනීමට මැදින් කම්බි කීපයක් යවන්න. කම්බි රැඳවීමට පෙර ඩ්‍රයි ෆෝම් කීපයක් අතරින් පතර දමා ගන්නත් අමතක කරන්න එපා. අද නිර්මාණයට පලතුරු එකතු කරගත්තා මෙන් ඉදිරි සතියකදී ඔබේ නිර්මාණයට සුගන්ධයක් එකතු කරගන්නේ කෙසේදැයි බලමු.

 

උපදෙස්:-
ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී
සමන් ජයලත්