තරුණියන්ට කාර්මික දැනුම හොඳින්ම පිහිටනවා

දහස් ගණනක තරුණියන්ගේ රැකියා සිහින සැබෑකළ යකඩ ගැහැනිය
අප්‍රේල් 1, 2024

 

‘A strong women knows how to keep her life in order. Even with tears in her eyes, she still manage to say I’m okey’

ගැහැනියක් දෑස්වල කඳුළු පුරවාගෙන සිටියත් ඇය ශක්තිමත්ය. ඈ ඒ කඳුළු පිසදා ශක්තිමත්ව නැඟී සිටින්නේ නොසිතන තරම් වේගයෙනි. එම ශක්තිය පිරිමියකුට වඩා බොහෝ දුරක් ඈ රැගෙන යයි. සියුමැලි දෑතකට උරුම වූ සීමාවෙන් එහා පියඹා යන්නට ඇයට ප්‍රබල ශක්තියක් පවතී. මේ සියලු ශක්තිය හා හැකියාව සංස්කෘතිය හා ආගමික පසුබිම මත නිර්මාණය වූ රාමුව තුළ සිරකර තබා ඇත්තේ සමාජය විසින්මය. මේ සමාජ සීමාවන් බිඳගෙන ඉදිරියට එන තරුණියන් බොහේ සිටිති. ඔවුන් තරුණයන්ටත් වඩා හොඳින් එම අභියෝගාත්මක ඉලක්ක සාර්ථකව නිම කරන බව සපථ කළ අවස්ථා බොහෝය.

වින්ධ්‍යා ඉඹුල්පිටිය... ඇය මෙලෙසින් අභියෝග ජයගත් කාන්තාවකි. පිරිමින්ට පමණක් කළ හැකි යැයි සම්මත රැකියා ක්ෂේත්‍ර ඔස්සේ තම ජීවිතය ආරම්භ කළ ඇය මේ වන විට දිගු ගමනක් පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ සිය දහසක් තරුණ තරුණියන්ගේ අනාගතයේ නෙත් පාදන ඇය මේ වන විට අධ්‍යාපන හා කාර්මික පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩ ආවරණ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙසින් කටයුතු කරනු ලබන්නේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කිරීමේ අපේක්ෂාවෙනි. ඇයගේ එම දැක්ම පිළිබඳ සනිටුහන් කළේ අනාගතයේදී තරුණියන් සඳහා පුළුල් මානයක් කරා රැගෙන යමිනි.

අපේ වෘත්තීය පුහුණු සඳහා ගැහැනු පිරිමි කියලා කිසිම භේදයක් නැහැ. දෙගොල්ලන්ටම ඕනෑම පාඨමාලාවක් තෝරා ගැනීමේ ස්වාධීන අයිතිය අපි ලබාදීලා තියෙනවා. අපේ වෘත්තීය පුහුණු ආයතනයකට එන ඕනෑම ගැහැනු දරුවෙකුට කියන්නේ ඔයා කැමැති පුහුණු පාඨමාලාවක් තෝරා ගන්න. ඔයාට ගැළපෙන්නේ පරිගණක පුහුණුවක්, කළමනාකරණ පුහුණුවක් කියලා නෙවෙයි. මම දැකලා තියෙනවා සමහර වෙලාවට තරුණ ගැහැනු දරුවෝ එනවා මට ඔටෝ මොබයිල් පාඨමාලාවක් කරන්න ඕනෑමයි කියලා. ඒ දරුවෝ හරිම ආසාවෙන් ඒ පාඨමාලාව කරල අවසන් කරනවා පිරිමි දරුවන්ටත් වඩා හොඳට. නමුත් අපේ සංස්කෘතියත් සමඟ තිබෙන බැඳීම් සමඟ මවුපියෝ කියනවා දුවට ඒ රැකියාව ගැළපෙන්නේ නැහැ කියලා. තරුණ ගැහැනු දරුවෝ කැමැතියි අභියෝගාත්මක පුහුණු පාඨමාලා කරන්න. නමුත් අම්මලා කැමැති නැහැ දරුවාට එන්න දෙන්න. අපේ මේ පුහුණු ආයතනයේ ක්ෂේත්‍ර නවයක පුහුණු පාඨමාලා තියෙනවා. ගොඩනැගිලි තාක්ෂණය, විද්‍යුත්, විදුලි සංදේශ, ලෝහ කර්මාන්තය, මේසන් වැඩ, ජලනල කාර්මික වැනි රැකියා ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුහුණු පාඨමාලා තිබෙනවා. නමුත් නවීන ලෝකය තුළ ඉදිරියෙන්ම ඉන්නේ තරුණියෝ. තරුණයන්ට වඩා සාර්ථකව තරුණියන් අභියෝගාත්මක රැකියාවල නියැලෙනවා. නමුත් සාපේක්ෂව තරුණියන් මේ පාඨමාලාවලට යොමුවන ප්‍රමාණය අඩුයි. සාමාන්‍යයෙන් විස්සකට එකක් විතර තමයි මෙවැනි පාඨමාලා තෝරා ගන්නේ. එවැනි පසුබිමකින් තමයි මමත් මේ තරම් දුරක් පැමිණියේ.

වින්ධ්‍යා මහත්මිය මේ තරම් දුරක් ඉදිරියට පැමිණ ඇත්තේ අභියෝග රැසකට මුහුණ දෙමිනි. ඒ ගමන් මඟේ අතීත මතක සටහන් රැසක්ම සටහන්ව තිබේ. ඒ ගැන ද අපට ඇය හෙළි කළේ මෙලෙසිනි.

“මම අසූ නවයේ උසස් පෙළ කරන කාලයේ භීෂණ කාලයක් තිබුණා. ඒ නිසා මට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. මට කටුනායක කාර්මික පුහුණු ආයතනයේ වසර හතරක පුහුණුවකට යන්න අවස්ථාව ලැබුණා. ඉලෙක්ට්‍රික් ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව තමයි මම තෝරා ගත්තේ. ඊට පස්සේ පළමුවෙන්ම පුහුණුවීමට අවස්ථාව ලැබුණේ නර්ඩ් ආයතනයේ. ඒ කාලයේ අපේ පාඨමාලාවට ගැහැනු ළමයකුට සිටියේ මම විතරයි. ඒ කාලයේදී මට පෑස්සුම් වැඩ, ලේත් මැෂින් වැඩ සෑම දෙයක්ම කරන්න සිද්ධ වුණා. ඒ තැන්වල සිටිය කාර්මික ශිල්පීන් මට ගොඩක් උදවු කළා. ඒ නිසා මම සාර්ථකව ඒ පාඨමාලාව අවසන් කළා. ගැහැනු ළමයෙක් කියලා වෙනසක් හෝ කිසිම බලපෑමක් මට තිබුණේ නැහැ.

ඊට පස්සෙ රූපවාහිනී සංස්ථාවේ පුහුණු වුණා. රූපවාහිනියේ පිරිමි විතරයි වැඩිපුර රාත්‍රි සේවය කළේ. සමහර වෙලාවට සේවා මුරයට ඉන්නෙ මම විතරයි. නමුත් කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඒ පුහුණුවෙන් පස්සෙ මම ආවේ ටෙලිකොම් ආයතනයට. ඒ ආයතනයේ ගැහැනු ශිල්පීන් කවුරුවත් හිටියේ නැහැ. බඳවා ගන්නෙත් නැහැ. එතැනත් මට ගැහැනුකම ගැටලුවක් වුණේ නැහැ. ඊට පස්සේ මම 2006 ටෙලිකොම් ආයතනයෙන් ඉවත් වෙලා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට එකතු වුණා. පුහුණු උපදේශකවරියක් ලෙස තමයි මම එකතු වුණේ.

ඇත්තටම මම ලොකු මුදල් තියෙන පවුලක නෙමෙයි. නමුත් පුංචි කාලේ පටන්ම මට ආසාව තිබුණේ ඉලෙක්ට්‍රික් වැනි රැකියාවක් කරන්න. ඒකට මට මවුපියෝ අවසර දුන්නා. මම මේ තරම් දුරක් පැමිණියේ අභියෝග බාධක රාශියක් මැද. නමුත් කාන්තාවක් ලෙස ඒ අභියෝග ජය ගන්න අපහසු නැහැ. අපට කරන්න බැහැ කියලා කිසිම රැකියාවක් නැහැ. අවශ්‍ය වෙන්නෙ අපගේ කැප කිරීම උනන්දුව. ඒ කැපකිරීමට මට අද ප්‍රතිඵල ලැබී තිබෙනවා. මගේ සැමියාත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක්. ඒ නිසා අපි හොඳ අවබෝධයකින් ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගත කරනවා.”

ඇය සැබෑ ලෙසින් ඉතාම සැහැල්ලුවෙන් තම රැකියාවේ නිරත වෙන්නෙ මහත් උනන්දුවෙනි. ඇයගේ එකම ඉලක්කය වී ඇත්තේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය තුළ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හිමි කර ගැනීමට පදනම නිර්මාණය කරදීමයි. ඒ වෙනුවෙන් පාඨමාලා රැසක්ම අලුතින් හඳුන්වා දී තිබෙන අතර ඒ පිළිබඳ තොරතුරු හා විස්තර ඕනෑම අවස්ථාවක ලබා දීමට ද ඇය කැමැත්තෙන් සිටියි.

 

විශේෂ ස්තුතිය

කුමුදු සිල්වා

අධ්‍යක්ෂ - පුහුණු හා ප්‍රචාරක

අධ්‍යාපන හා කාර්මික පුහුණු

කිරීමේ දෙපාර්තමේන්තුව