සෝෂල් මීඩියා වැඩ කෑලිවලින් බිස්නස් එක ගොඩදාගමු ද?

අප්‍රේල් 29, 2024

මාධ්‍ය කියන්නේ කෙනකුට තව දෙයක් හුවමාරු කරගන්න තියෙන ප්‍රධානම දේ. ඒ කාලේ සැටලයිට්, චන්ද්‍රිකා, ගුවන් විදුලිය, රූපවාහිනිය, දුරකථනය දක්වා යාවත්කාලීන වූ මෙම විවිධ මාධ්‍ය අද වනවිට තත්්පරයක ඇසිල්ලකින් මුළු ලෝකයම අතට ගත හැකිවන ආකාරයට දියුණු වෙලා. ඒ නිසා වේගයෙන් දියුණුවන තාක්ෂණික ලෝකය තුළ ව්‍යාපාර ලෝකයත් ඒ තාක්ෂණයත් එක්කම ඉදිරියට යනවා. ඒ නිසා තාක්ෂණයත් එක්ක යන්න බැරි වුණොත් ඒ ව්‍යාපාරවලට මුළු ලෝකයම විතරක් නෙවෙයි ව්‍යාපාරයත් අවසන් වෙලාම යාවි. ඒ නිසයි අද ව්‍යාපාර ලෝකයට වෙනමම ඩිජිටල් මාර්කට් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සියලුම ව්‍යාපාරවලට වෙළෙඳපොළ නිර්මාණය වෙන්නේ සමාජ මාධ්‍ය ජාලා හරහායි. අන්න ඒ නිසා පුංචිම හෝ ව්‍යාපාරයක් කරගෙන යන කෙනකුට වගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්න අයටත් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි.

 

මොනවද මේ සමාජ මාධ්‍ය කියන්නේ?

 

සමාජ ජාල කියන්නේ සමාජය විසින් හසුරුවන ජාලයක්. උදාහරණයක් විදිහට මෙහෙම කියමුකෝ. ඔබට වෙබ් අඩවියක් තියෙනවා. ඒකෙ තොරතුරු යාවත්කාලීන කරන්නේ ඔබමයි. හැබැයි සමාජ ජාලයකදී ඒ වෙබ් අඩවිය හසුරුවන්නේ ඒ වෙබ් අඩවි සමාජයට එක් වී සිටින සාමාජිකයින් විසින්. මේ සමාජ ජාල ක්‍රමය යටතේ සියලු දෙනාම මාධ්‍යවේදීන් බවට පත් වෙනවා. ඕනම කෙනෙක්ගෙ නරක හෝ හොඳ අදහසක් මේ මාධ්‍ය හරහා ප්‍රචලිත කරන්නට ගත වෙන්නේ ඉතා අඩු කාලයක්. ඉතින් ව්‍යාපාරයක් පැත්තෙනුත් සිද්ධ වෙන්නේ අන්න ඒ දේමයි. තමන්ගේ ව්‍යාපාරය ගැන ගුණ වරුණාවක් දාලා ලෝකයාට පෙන්නන්න තියෙන හොඳ අවස්ථාවක් ඒක. ෆේස්බුක් කියන්නේ ඒ සඳහා හොඳම සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම් එකක්.

 

ෆේස්බුක් පේජ් එකක් අත්‍යවශ්‍යයි

 

අද කාලේ ෆේස්බුක් ගිණුමක් නැති වයසක උන්දෑකෙනෙක්වත් නැතුව ඇති. ඒ තරමට තමන්ගේ පෞද්ගලික ජීවිතයයි, ෆේස්බුක් ගිණුමයි දෙකක් නෙවෙයි එකක් තරමටම සමීපයි. උදේ නැඟිට්ට වෙලාවේ ඉඳන් රෑ නින්දට යනකම්ම ෆේස්බුක් එකේ උඩට පහළට යන අපිට ෆේස්බුක් පේජ් කීයක් නම් හම්බෙනවාද? ඒ හැම එකක්ම වගේ මොකක් හරි බිස්නස් එකක් වෙනුවෙන් එහෙමත් නැත්නම් මූල්‍ය අරමුණක් වෙනුවෙන් කරගෙන යන ඒවා. ඒ විදිහේ පේජ් එකක් ඔයාගේ ව්‍යාපාරයටත් හදාගන්න පුළුවන් නම් ඒක ව්‍යාපාරය ගැන ප්‍රසිද්ධියක් ලබා ගන්න වගේම අලුත් කස්ටමර් බේස් එකක් හදාගන්නත් හොඳ අවස්ථාවක්.

 

අප්ඩේට් එක වැදගත්

 

ෆේස්බුක් පේජ් එකක් හදනවා කියන්නේ තත්ත්පර ගාණක වැඩක්. ඒ නිසා ඒක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ. හැබැයි පේජ් එකක් තිබ්බ පලියට බිස්නස් එක ගොඩ යයි කියලා නම් හිතන්න එපා. බිස්නස් එකට ලස්සන නමක් දාලා, ලෝගෝ එකක් දාලා, ව්‍යාපාරයේ විස්තරත් එක්ක ටැග් එකක් දාලා, එක එක වැඩ කෑලි දාලා පේජ් එක දැක්කම ඇස් කඩන් යන විදිහට පවත්වාගෙන යන්න ඕනේ. අද පෝස්ට් එකක් ශෙයා කරලා තව සුමානයකින් පෝස්ට් එකක් ශෙයා කරලා හරි යන්නේ නැහැ. දවස ගානෙම ටයිම් ෂෙඩුල් කරලා පෝස්ට් කීපයක්ම දාන්න. තමන්ගේ ව්‍යාපාරයට අදාළ ෆේස්බුක් ගෘප් වලටත් ඒවා ශෙයා කරලා වැඩි අවධානයක් අරගන්න.

 

වැඩකෑලි දාන්නේ කොහොම ද?

 

මේකට ඉතින් මහ ලොකුවට අර කෝස් මේ කෝස් කරලා ඉගෙන ගන්න දෙයක් නැහැ. පොඩ්ඩක් යූටියුබ් එක පැත්තේ ගිහින් ෆොටෝ එකක් එඩිට් කරගන්න හැටි.. වීඩියෝ එකක් එඩිට් කරන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්න. Photoshop, lightroom වගේ සොෆ්ට් වෙයාර් එක්ක ටිකක් වැඩ කරන්න.. ඊට වඩා ලේසි ක්‍රමත් තියෙනවා. Canva වගේ ඇප්ස් එක්ක වැඩ කරන්න. මුලින් අමාරුයි කියලා හිතුණත් ටච් එකේ වැඩේ කරගෙන ගියොත් වැඩ කෑලි ටික ඉගෙන ගන්න ලේසියි.

 

වෙන මුකුත් නැද්ද?

 

ෆේස්බුක් කියන්නේ එක ෆ්ලැට්ෆෝම් එකක් විතරයි. යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටික්ටොක්, ට්විටර්, වට්ස්ඇප් වගේ මහ ගොඩක් සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම් තියෙනවා. මේ හැම එකක්ම ඔයා කරන ව්‍යාපාරය දියුණුකර ගන්න යොදාගන්න පුළුවන්.

 

කොහෙන්ද පබ්ලිසිටි?

 

ගෙදර ඉඳන් ඔන්ලයින් කරන බිස්නස් එකකට ප්‍රධාන පබ්ලිසිටිය ලැබෙන්නේ ඔන්ලයින්මනේ. ආන්න ඒ නිසා ෆේස්බුක්

එකේ, ඉන්ස්ටර් ග්‍රෑම් එකේ විතරක් නෙවෙයි, ටික්ටොක් එකේ පවා බිස්නස් පේජ් නිර්මාණය කරලා, තමන්ගේ ප්‍රඩක්ට්ස් ඒවල ෆීචර් කරලා වැඩේ පටන් ගන්න පුළුවන්. මතක තියාගන්න, මේ කොහේ වුණත් තමන්ගේ ප්‍රඩක්ට්ස්වල මිල ගණන්වල ඉඳන් හැම විස්තරයක්ම ඇතුළත් කරන තරමට කස්ටමර්ලා එන්න ඉඩ වැඩියි. ඒ වගේම, නිකම්ම ෆේස්බුක්, ඉන්ස්ටර් ග්‍රෑම් පේජ් හදලා, බඩුවල විස්තරයක් දාලා කස්ටමර්ස්ලා එනකල් බලාගෙන හිටියට මදි. ඒ සෝෂල් මීඩීයාවල අපේ ප්‍රඩක්ට්ස් ගැන, අපේ බිස්නස් එක ගැන අහන දේවල්වලට උත්තර දෙන්න ඕනෙ. සෝෂල් මීඩියාවල එන්ගේජ් වෙන්න ඕනෙ. ඒ වගේම, පේජ් අප් ටු ඩේට් තියාගන්න ඕනෙ. උදාහරණයක් විදිහට, අපේ කජු බිස්නස් එක ගැන, අපි විකුණන කජු ප්‍රඩක්ට් ගැන ඒවා මේවා හදලා දානවා වගේම, කජුවල ගුණ ගැන එහෙමත් පොඩි පොඩි එව්වා ලියලා දාන්න පුළුවන්.

 

ඩිජිටල් මාකටින්

දැන් කාලේ හැම ආයතනයක්ම වගේ ගත්තොත් සෑහෙන්න ඩිජිටල් මාකටින් මත යැපෙනවා. ආන්න ඒ නිසා ඩිජිටල් මාකටින් නැතිනම් ඉන්ටර්නෙට් එක මත පදනම් වුණු මාකටින් ක්‍රම සහ විධි ගැන ඉගෙනගෙන ඉන්න එකත්, ඒ ඔස්සේ සන්නිවේදනය කරන්නේ කොහොමද කියන එක දැනගෙන සිටීමත්, විවිධ ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් ගැන හොඳ අදහසක් තිබීමත් වටිනවා. හැබැයි මතක තියාගන්න, ඩිජිටල් මාකටින් කිව්වහම දන්නේ ෆේස්බුක් විතරක් නම්, ආන්න ඒක ප්‍රශ්නයක්.

මෙතැනදී පොඩ්ඩක් ඩිජිටල් මාකටින්වලට ගැළපෙන්න ලියන්න කියන්න හැකියාව තියෙන්න ඕනෙ. ඒ වගේම මූලික ග්‍රැෆික් ඩිසයිනින්, වීඩියෝ ප්‍රඩක්ෂන්, SEO optimization, ඩේටා විශ්ලේෂණ හැකියාව, කොන්ටෙන්ට් මැනේජ්මන්ට් වගේ දේවල් ඉගෙන ගෙන තියෙන එක හොඳයි. මෙතැනදී මේ දේවල්වලට ඒ ඒ ක්ෂේත්‍රවල ටැලන්ට් එක තියෙන මිනිස්සු ගත්තත්, තමන්ට ඇත්තටම අවශ්‍ය දේ ඒ එක්ස්පර්ට්ලට කියලා කරවා ගන්න නම් තමන්ටත් ඒ හැකියාව තියෙන්නම ඕනෑ.

 

උදවු වෙන ටූල්ස්

 

ඔය හැමදේම එක්ක ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න එක අමාරු වැඩක් නෙවෙයි. හැබැයි බිස්නස් එක යම් ලෙවල් එකකට ගෙනාවට පස්සේ ඒකට අපිට යම් යම් සපෝට් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, බිස්නස් එක පොඩ්ඩක් ජනප්‍රිය වෙනකොට, බිස්නස් එකට හොඳ ලෝගෝ එකක් එහෙම තියෙන එක වටිනවා. ඉතින් ඒ නිසා අපිට ගෙදර ඉඳන් පටන් ගන්න ඔන්ලයින් බිස්නස් එකකට උදවු වෙන වෙබ් සේවාවන් සහ වෙබ් ටූල්ස් ටිකක් තමයි මේ හඳුන්වා දෙන්න යන්නේ. මේවා බොහෝමයක් නොමිලේ ලබාගන්න පුළුවන් වීමත් වැදගත්.

පොඩි බිස්නස් එකක් ඔන්ලයින් පටන් ගන්න හිතුවහම මුලින්ම බිස්නස් එක මොකද්ද කියන එක තේරුම් ගත්තට පස්සේ, නමක් දාගන්න එකනේ කරන්නේ. හැබැයි නමක් දානවා වගේම, ලෝගෝ එකකුත් හදාගත්තොත් කොහොමද? ඇත්තටම මිනිස්සුන්ගේ ඔළුවේ අපේ බිස්නස් එක බ්‍රෑන්ඩ් එකක් විදියට ස්ථාපනය කරන්න හොඳ ලෝගෝ එකක් වැදගත්. හැබැයි ඉතින් ප්‍රොෆෙෂනල් මනුස්සයෙක් ලව්වා ලෝගෝ එකක් ඩිසයින් කරන්න නම් සල්ලි යනවා. ඒත් බිස්නස් එක පටන් ගත්තු ගමන් එහෙම සල්ලි යොදවන්න බැරි නම්? එහෙනම් ඒ වැඩේට හොඳ ලෝගෝ ඩිසයින් වෙබ්සයිට් එකක් තියෙනවා නම් මරු. Designhill කියන්නේ අන්න ඒ විදිහේ තැනක්. ලෝගෝ එකත් එක්කම බිස්නස් කාඩ් එකක්, එන්විලොප් ඩිසයින් එකක්, ෆේස්බුක් කවර් ඩිසයින්, ලෙටර්හෙඩ් ඩිසයින් කියන ඔක්කොම නොමිලේකර ගන්න පුළුවන්.

Canva කියන්නේ ඔන්ලයින් කන්ටෙන්ට් ක්‍රියේටින් ෆ්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ පෝස්ට්ස්, පෝස්ටර්ස්, ලීෆ්ලට්, ඉන්වොයිස්, වීඩියෝ, ඩිසයින් වගේ ඕනම දෙයක් Canva එකෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම, Canvaවල තියෙන හොඳම දේ තමයි, Canva වලින් ෆ්‍රී වැඩකර ගන්න පුළුවන් සෑහෙන්න දුරකට. එතකොට Canva Pro සංස්කරණය පාවිච්චි කළොත්, Canvaවල තියෙන Premium අන්තර්ගතයන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට, අමුතුවෙන් පන්ති ගිහින් Canva පාවිච්චි කරන විදිහ ඉගෙන ගන්න දේකුත් නෑ, වෙබ් එකට ගිහින් Canva වෙබ්සයිට් එක හරි, ෆෝන් එකේ Canva ඇප් එකෙන් හරි පොඩ්ඩක් සැරිසැරුවා නම්, Canvaවලින් වැඩ කරන්න ඉගෙන ගන්න පහසුවෙන්ම පුළුවන්. ෆොටෝ එඩිටින්, ප්‍රස්තාර සහ රූප සටහන්, බ්‍රෑන්ඩ් ලෝගෝ, කිව් ආර් කෝඩ් ජෙනරේටර්, වීඩියෝ හදන්න මේ හැමදේම canva එකෙන් කරගන්න පුළුවන්.

 

මේ හැමදේම එක්ක ටච් එකේ හිටියොත් ඔයාගේ පුංචිම පුංචි ව්‍යාපාරය දියුණුකර ගන්න එක මහ දෙයක් නෙවෙයි.