කතුන් දතයුතු රෝගයක් සුදු මාලය

පෙබරවාරි 10, 2025

 

ස්වභාවයෙන්ම කාන්තා ශරීරය සියුමැලිය. සුකොමළ බවක් යුක්තය. පිරිපුන්ය. එවැනි කාන්තාවන්ටම ආවේණික වූ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ඇසුරු කරමින් හටගන්නා වූ රෝගයකි ශ්වේත ප්‍රදරය. සාමාන්‍ය ජන ව්‍යවහාරයේ සුදයාම, සුදු මාලය ලෙසින් හඳුන්වනු ලබන්නේද මෙම රෝගයයි.

 

ප්‍රදරය යන්නෙන් අදහස් කෙරෙනුයේ වැගිරීම යන්නයි. ශ්වේත යනු සුදු පැහැයයි. ශ්වේත ප්‍රදරය යනු යෝනි මඟින් සුදු පැහැයට හුරු දියරයක් ගැලීමයි.

කාන්තාවන්ට පමණක් නොව බාලිකාවන් හා වැඩිවියට පත් නොවූ දරුවන් අතර ද මෙම රෝගය බහුල වශයෙන් දැකිය හැකියි. ඇඟ උණු කරවායෑම, ශරීරය කෙට්ටු කරවන ලෙඩේ යන නාමයන්ගෙන් ද හඳුන්වනු ලබන්නේ මෙම ශ්වේත ප්‍රදරයයි. ශ්වේත ප්‍රදරය වැලඳීමට හේතු බොහොමයක් ඇත. ඒ අතර

 

* ගර්භාශගත අර්බුද හෙවත් ගෙඩි.

* ඩිම්බ කෝෂවල අධික ක්‍රියාකාරීත්වය.

* ගර්භාශ ගෙලෙහි බිත්ති මහත්වීම සහ

ඉන් අධික ස්‍රාවයක් වැගිරීම.

* ශරීර අභ්‍යන්තරයේ පවතින

උෂ්ණත්වය.

* ආහාර සහ ඇවතුම් පැවතුම්වල

දෝෂ.

* මානසික ආතතිය සහ යෝනියේ ඉදිමුම.

* යට ඇඳුම්වල අපිරිසුදුකම.

යනාදිය ප්‍රධාන තැනක් ගනී. එසේම කිරිපණු රෝගය ද තවත් හේතු සාධකයකි. විශේෂයෙන් මෙම තත්ත්වය වැඩිවියට පත් නොවූ දරුවන්ට ද බලපානු ඇත. රාත්‍රී කාලයේ දී ගුද මඟ ඇසුරු කරන පණුවන් යෝනි මාර්ගයට පිවිස ශ්ලේෂ්මල පටලයට (සෙම් සිවියට) හානි කරයි. ඒ හේතුවෙන් යෝනිය හා යෝනි මාර්ගය ආසාදනයට පත් වී සුදු පැහැති දියරයක් වගුරුවයි.

එපමණක් නොව නිතර නිතර ශෝකයට පත්වීම, කලකිරීමට පත්වීම, අන් අයට වෛර කිරීම, ද්වේෂ - ක්‍රෝධ සිතුවිලි උපද්දවා ගැනීම ආදී මානසික තත්ත්වයන් මෙම රෝගය වැලඳීමට ප්‍රබල හේතු වේ. විශේෂයෙන් අධික කාමාශාව මෙම රෝගයට අත වැනීමකි.

තවද අවිවාහක කාන්තාවක් අධික රාග සිතුවිලිවල නිමග්න වෙමින්, අධික ලෙස ඉන්ද්‍රියයන් පිනවීමට යාමෙන්ද, එවැනි දර්ශන නැරඹීමෙන් ද තෘප්තිය ලබන්නා වූ අයට මෙම රෝගය වැලඳීමේ ප්‍රවණතාව වැඩිය.

එසේම ශාරීරික පවිත්‍රතාව, ඇඳුම් පැලඳුම්වල පිරිසුදුකම යනාදිය කෙරෙහි සැලකිලිමත් විය යුතුය. හේතුව මේවායේ පැවතිය හැකි විෂ බීජ ඩිම්බකෝෂ කරා ගොස් අාසාදන තත්ත්වයක් ඇති කර මෙම රෝගය වැලඳීමට ඉඩකඩ පහසු කරවන බැවිනි.

 

ශ්වේත ප්‍රදර රෝගියෙකුගේ සාමාන්‍ය ලක්ෂණ

* අත් - පා සන්්ධිවල වේදනාව.

* අධික නිදිමත හා කම්මැළි ස්වභාවය.

* ආහාර අරුචිය.

* තෙල්, බැදුම්, අච්චාරු වැනි ආහාරවලට ප්‍රියවීම.

* තරහා යාම.

* හිසකෙස් ගැලවී යාම.

* ශරීරයට වෙහෙස දැනීම.

* ශරීරය කෙට්ටු වීම.

* යෝනි මඟින් සුදු පැහැ ස්‍රාවයක් ගැලීම.

* මල බද්ධය.

* මූත්‍රා දැවිල්ල.

 

මෙවන් ලක්ෂණ හරිහැටි හඳුනා නොගෙන, රෝගය කෙරෙහි අවධානය යොමු නොකිරීමෙන්,

 

* යෝනිය අවට කැසීම.

* තුවාල අැතිවීම.

* සම රැලි වැටීම.

* අස්ථි සන්ධිවල තද බව හා අධික වේදනාව.

* දිනෙන් දින ශරීරය වැහැරී යාම.

* පිට කොන්ද, තුනටිය වේදනාව.

* ශරීරය සුදුමැලි වීම

* යෝනි මඟින් දුගඳ සහිත, කහ පාටට හුරු කොළ පැහැ මිශ්‍ර උකු ස්‍රාවයක් හෝ කැටිති පිටවීම.

* ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව හා යටි බඩ වේදනාව.

* දරුපල හීන වීම

* ශරීර බලය අඩුවීම

යනාදී උවදුරුවලට මුහුණ පෑමට සිදුවේ.

 

සමහරකුට දවසකට යට ඇඳුම් කීපයක් මාරු කරන තරමට සුදුයාම සිදුවේ. එබැවින් කාන්තා ඔබ මෙම රෝගය කෙරෙහි දැඩි අවධානයක් යොමු කොට රෝගයෙන් මිදීමට වගබලා ගත යුතුය.

මේ සඳහා නිසි අවධානය හා නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවීම හේතුකොට ගෙන යෝනි ආශ්‍රිතව හා ඉකිළි - කලවා යන ප්‍රදේශවල කැසීම හා කුෂ්ඨ හට ගැනීම, මූත්‍රා දැවිල්ල, යටි බඩේ ඉඳිකටුවලින් අනින්නාක් බඳු වේදනාව. අත පය හිරිවැටීම හා වේදනාව, ශාරීරික ශක්තිය හීන වීම, ඩිම්බ නාල ඉදිමීම, ගර්භාශගත උපද්‍රව, දරුපල අහිමිවීම, ලිංගික ගැටලු හා යුග දිවියට බාධා මෙන්ම අනේක විධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන අතර, පාසල් දරුවන්ට මෙම රෝ්ගී තත්ත්වය හේතුකොට ගෙන අධ්‍යාපන වැඩ කටයුතුවලට බාධා ගෙන දෙයි.

 

මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට නම් මනස නිරවුල්ව තබා ගත යුතුය. එසේම මනස ප්‍රසන්නව තබා ගත යුතුය. ඒ සඳහා ආගම - දහම කෙරෙහි පමණක් නොව සොබා දහමට පවා ළං විය යුතුය. විශේෂයෙන් කායික පවිත්‍රතාව කෙරෙහි සැලකිලිමත් විය යුතුය. ඇඳුම් පැලඳුම් හොඳින් සෝදා දැඩි හිරු රශ්මියෙන් වියළා ගත යුතුය. උෂ්ණාධික ආහාර පානවලින් වැලකී සිටිය යුතුය.

 

ප්‍රතිකාර කිරිමේදී ශරීරයේ දෝෂ තත්ත්වය සලකා බැලිය යුතුය. පණු රෝග අවස්ථාවක් තිබේද යන්න සොයා බලා ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් ඉබේම මෙන් එවන් පණු රෝගයක් නම් සුව වේ.

 

* කළු උක්දඬු, අළු කෙසෙල් අල, නෙළුම් අල, මානෙල් අල, වැල්මී, වියළි මිදි, නෙළුම් රේණු, අරළු, ඇත්දෙමට මුල් ආදියෙන් කළ කෂායට සීනි, මී පැණි දමා උදේ සවස බීම යහපති.

* බේත් එරඬු මුල්, එළබටු මුල්, කටුවැල් බටු, පොල් පලා, බැබිල මුල්, හාතාවාරිය අල, අස්වැන්න ආදියෙන් කළ කිරි කෂාය ඉතා ගුණයි.

* හාතාවාරිය අල, ඉරමුුුසු, සැවැන්දරා, ලුණුවිල, රසකිඳ, බැබිල මුල්, අළු කෙසෙල් අල, කළු උක්, තැඹිලි වතුර ආදියෙන් කළ කෂාය සීනි, මී පැණි දමා බීමෙන් රෝගය සුවපත් වෙයි.

 

රෝගීන්ට සුදුසු ආහාර පාන

 

කොළ කැඳ, එළකිරි, උතුරුවා නිවාගත් පිරිසුදු ජලය, දිවුල්, ගොටුකොළ, කතුරුමුරුංගා, කංකුං, අළු කෙසෙල්, වැල්මී, රටඉඳි, රත්තම්පලා, රණවරා, වදමල්, ඉරමුසු, සැවැන්දරා, මාදං, කුඹුක්, ලුණුවිල, උඳුපියලිය, මී පැණි, සාරණ, ගෙදපල කූර තම්පලා

 

නුසුදුසු ආහාරපාන

 

අබ, අච්චාරු, තත්කාලි, අන්නාසි, රටදෙල්, බලමාළු, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවන්, හුරුල්ලන්, හරක් මස්, අඹ, රඹුටන්, මැංගුස්, තෙල් බැදුම්, ක්ෂණික ආහාර, පැණිබීම වර්ග

(සුදු යාමේ) ශ්වේත ප්‍රදර රෝග ලක්ෂණ ඔබටත් ඇත්තම් ලැජ්ජා නොවී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමෙන් සදා කාලයටම රෝගී තත්ත්වයෙන් මිදීමට හැකි වනු ඇත.

 

 

 

උපදෙස්

විශේෂඥ

ආයුර්වේද වෛද්‍ය

කාන්ති මදුරප්පෙරුම

 

 

 

[email protected]