පරිගණක ක්‍රීඩා දරුවන්ට අකැප ද?

ජූලි 31, 2019

දරුවාගේ පටන් යෞවන යෞවනියන් දක්වා වූ පිරිස් පරිගණක ක්‍රීඩා සඳහා යොමුව සිටීම බොහොමයක් මාපියන් ගේ සිතට වඩ වඩාත් රිදුම් දෙන කාරණයක් වී ඇත. මේ නිසාම පරිගණක ක්‍රීඩාවලින් දරුවන් තරුණ තරුණියන් සම්පූර්ණයෙන්ම ඈත් කළ යුතු ද?

පාසලේ දෙමාපිය රැස්විමකදී, රූපවාහිනි, ගුවන්විදුලි සාකච්ඡාමය වැඩසටහනකදී ඇතුළු මේ සියලු අවස්ථාවල දි විද්වත් පිරිස් වැඩි අවධානය යොමු කරනුයේ පරිගණක ක්‍රීඩාවලට යොමුවීම නිසා දරුවන් අත්කර ගන්නා අනිසි ප්‍රතිඵල පිළිබඳ වෙතයි. එය යම්තාක් දුරකට සත්‍ය වුවත් පරිගණක ක්‍රීඩාවල නියැලෙන්නන් අත්පත් කරගන්නා වූ වාසි සහගත තත්ත්වයන් නැත්තේ ද නොවේ.

පරිගණක ක්‍රීඩාවක් බොහෝවිට විනෝදාස්වාදය පමණක්ම සපයන්නක් නොවේ. ඉන් ඔබ්බට ගිය යමක් දරුවන්, යෞවන යෞවනියන් කරා ළඟාවන්නේ නම් නිරතුරුවම එහි අනිටු ඵල පිළිබඳම සිතිය යුතු නැත.

මාපිය අවධානය

මෙහිදී විශේෂයෙන් ම දරුවන් සඳහා නම් ඔවුන් නියැලෙන පරිගණක ක්‍රීඩාව පිළිබඳ අවධානයෙන් පසුවීම මාපියන්ගේ වගකීමකි. ඇතැම් පරිගණක ක්‍රීඩා එහි නියැළෙන්නන් ගේ ධාරණ ශක්තිය වැඩි දියුණු කරයි. පරිගණක ක්‍රීඩාවක් ඉතා සුළු වේලාවක දී තරග කළයුතු නිසාත් ඉක්මනින් ලකුණු රැස් කළ යුතු නිසාත් එහිදී වඩාත් නිවැරැදි ක්ෂණික තීරණ ගත යුතු වේ. එසේ නම් වඩාත් නිවැරැදි ක්ෂණික තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඔවුන් ප්‍රගුණ කරයි. නිර්මාණශීලීත්වය ද වර්ධනය කරයි.

ජයටැඹ කරා යන ගමනේ දී

බොහෝ විට මෙම ක්‍රීඩාවන් පරිගණකය සඳහා ඇතුළු කරනුයේ පැතිකඩ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරමිනි. මෙහිදි තරගයක් ජය ගැනිම සඳහා වූ මාවතක් තිබේ. එය එක්වරම ළඟා කරගත නොහැකි දෙයක් වන අතර ඒ සඳහා පියවර කිහිපයක් ම පසු කළ යුතු වේ. පරිගණක ක්‍රීඩාවේ නියැළෙන්නා එය ප්‍රගුණ කරන අතර ප්‍රායෝගික ජිවිතයේ දී එම අත්දැකීම් ඇසුරු කොට ගැනිම තමා සතු වගකීමකි. පරිගණක ක්‍රීඩාවකදී හුදෙක්ම තරග ජයග්‍රහණයක් සඳහා ඉලක්කයක් පසුපස හඹා යෑම අත්‍යවශ්‍ය කාරණයකි. එහිදී කෙටි මාර්ග අනුගමනය කිරිම, වංචනික අන්දමින් ක්‍රියාකිරිමට ඉඩක් නැත. මෙම කාරණය ද ප්‍රායෝගික ජිවිතය සමඟින් ගළපා බලන්නට සිතන්න.

දැඩි අධිෂ්ඨානයක්

මෙසේ ඉලක්කයක් කරා දැඩි අධිෂ්ඨානයෙන් යන ගමනක දී කොතෙකුත් බාධක හමුවේ ඒ කිසිවකුට ඉඩක් ලබා නොදිය යුතු වේ. සැබෑ ජීවිතය ද රෝස මල් ඇතුරු යහනාවක් නොවේ. බාධක කම්කටොළු මතින් යන ගමන අත්දැකීම් අතින් ද පූර්ණ වූවකි.

 

2019/07/31 තරුණි බලන්න