මේ අත අත්හරින්නෙ කොහොමද ?

ජනවාරි 15, 2020

එදා ඒ සිදුවීම මගේ හිත ගොඩක් සසල කළා ලාවන්‍යා. අවුරුදු ගණනක් මං වටේ දැවටිච්චි පුංචි රෝස මල එකපාරටම කවුරු හරි උදුරගෙන ගියා කියල මට දැනුණෙ.

විදුහල්පති කාමරේ හරි හතරැස් මේසෙ ඉස්සරහ බිම බලාගෙන ඔයා මුණිවත රකිනව. තත්පරයකටවත් මගේ දිහා නොබලන්න තරමට හරි පරෙස්සමෙන්, ඒත්, මං කී සැරයක් බැලුව ද ඔයා දිහා. ඇත්තටම, ඔයාගෙ ඇස් දෙකේ එක කඳුළු බිංදුවක්වත් දැක්කෙ නෑ මං. ඒ මූණෙ තිබුණෙ මොකක්දෝ අපැහැදිලි බවක්. අවිනිශ්චිත බවක්. හතර වටින්ම එල්ලවෙන දෝෂාරෝපණවලින් ගැලවෙන්න හිතනවට වඩා ඒවා තමන්ගෙ කර නොගන්න දරන බොළඳ උත්සාහයක්.

ඒ වෙලාවෙ මට දැනුණෙ මං අතින් ලොකු වැරැද්දක් වුණා කියලා. පාසලක නීති පද්ධතියට හානියක් වෙන්න මගෙනුත් යම් ප්‍රමාණයක ඉඩක් ලැබුණා කියන නොපැහැදීම මට මං ගැනම ඇතිවුණා. ඒත්, ලාවන්‍යා ගැන කේන්තියක් මගේ හිතට ආවෙ නෑ කොහෙත්ම. හිරිමල් වයසට දැනෙන ප්‍රේමණීය හැඟීම් විතරක් නෙවී නොපෙනෙන ඉසව් හඹා යාමේ ආශාවක් මේ වගේ දැරිවියන්ට දැනෙද්දී මේ වරද සිද්ධවෙන්න ඇති කියලයි මට හිතුණේ.

පන්ති බාර ගුරුවරිය හැටියට ඔයත් මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ. ලාවන්‍යාට ගහපු හැම පහරක්ම බොල් වුණා වගේ දැනෙද්දි මගේ හිතත් කොනිත්තන්න අනිත් අයට ඕනේ වුණා. මං දන්නව ඒ චෝදනාව මට එල්ල වෙන බව. ඒ විතරක් නෙවී, ඒ චෝදනාව සාධාරණයි කියලත් මං දන්නවා. ඒත්, මං කොහොමද කියන්නෙ මං ඔයාලව විශ්වාස කළේ මගේ ඇස් දෙක වගේ කියලා. ඔයා විතරක් නේවී, පන්ති කාමරේ තවත් හිත් කීයක් ගැන මං ඒ විදිහට විශ්වාස කළා ද කියලා දැනගෙන හිටියෙ මම විතරයි.

“සමාවෙන්න.... ආයෙත් ඒ වරද වෙන්නෙ නැතිවෙයි. “ ලාවන්‍යා ගොළු වුණාට මං කොහොමද උත්තර නොදෙන්නෙ. මට එල්ල වෙච්ච අධි චෝදනා පත්‍රය හිස් අතින් ම ආපස්සට හරවන්න වුවමනාවක් තිබුණෙ නෑ මට.

“හොඳයි... මේ වතාවට විතරක් දඩුවමක් නොදී නිදහස් කරනව.... හැබැයි ආයෙත් මේ වදර වෙන්න බෑ කොහෙත්ම..? වේවැල ආපහු තැන්පත් වුණා රෝස පාට කබඩ් ලාච්චුවේ. විනය දඬුවම් පොතත් රිංගුවා ලිපි ගොනු රාක්කෙටම. මේසෙ වටේ හිටපු දෙතුන් දෙනාම එහාට මෙහාට අඩි මාරු කරද්දි මං ලාවන්‍යගෙ මූණට එබුණා.

ලාවන්‍යා යමු පන්ති කාමරේට. ලාවන්‍යගෙ හීතල වෙච්ච රෝස පාට වමත මිටි කරගන්න මම තත්පරේට විදුහල්පති කාමරෙන් එළියට ආවා. කවුරු කොහොම හිතුවත් ඉලක්කෙ අවසාන වනතුරු මේ අත අත් අරින්නෙ කොහොමද මං?