වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
දරුවන්ව ඔබේ නෙත් මානයේ තබාගෙන මෙරටෙහිදීම උසස් අධ්‍යාපනයක් ලබාදෙන්න

අසර්බයිජානයේ බකු නගරයේ නවාතැන් ගෙන සිටියදී නිවෙසේ හටගත් හදිසි ගින්නකින් පිටවූ විස වායුව ආඝ්‍රාණය වී මියගිය එකම පවුලේ සොයුරියන් දෙදෙනාගේ තොරතුරු සොයා අපි පිළියන්දල, බෝකුන්දර, මහවත්ත පිහිටි එම නිවෙසට ගියෙමු.
අප යන විටත් ඔවුන්ගේ යහළු යෙහෙළියන්ගෙන් මෙන්ම ඥාති හිතවතුන්ගෙන් එම නිවෙස අතුරු සිදුරු නැතිව පිරී තිබෙන අයුරු දක්නට ලැබිණි. ඔවුන් සියලුදෙනාම සිදුවූ ඛේදවාචකයෙන් කම්පිතව බලාගත් අත බලා සිටියහ. මේ මාපිය යුවළට හිටි මහඟු සම්පත මේ දියණියන් දෙදෙනා පමණි.
දැඩි කම්පනයෙන් දියණියන්ගේ ඡායාරූප දෙස බලමින් ඉකි බිඳින අයුරු එහි පැමිණෙන කාටත් ඉවසුම් නොදෙන්නට විය.
ඉකුත් වසරේ ජූලි දහසය වැනි දින අසර්බයිජානයේ වෙස්ටන් කැන්පියන් පෞද්ගලික විශ්වවිද්‍යාලයට පියනැඟු එකම පවුලේ සොයුරියන් දෙදෙනා වූ මල්ෂා සංදීපනී (අවු.23) හා ඇගේ බාල සොයුරිය තාරුකී අමායා (අවු.21) අනාගතය පිළිබඳ දහසකුත් සිහින දකින්නට ඇති.
මියගිය මල්ෂා තොරතුරු තාක්ෂණවේදී උපාධියත්, ඇයගේ සොයුරිය තාරුකී අමායා මෝස්තර නිරූපණ ශිල්පී උපාධියත් හැදෑරීමට එරටට ගොස් සිටියහ. මේ දෙසොහොයුරියන් කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයෙන් මෙන්ම තිඹිරිගස්යාය ලුම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ.
“මගේ දරුවන් දෙන්නම චෙස් ක්‍රීඩාවට ඉතාමත් දක්ෂයි. කිහිප වතාවක්ම සමස්ත ලංකා ප්‍රථම ස්ථාන ලබාගෙන තිබෙනවා. අනේ මගේ දුවලා දෙන්නම මේ අනතුර සිදුවෙන්න කලින් දවසේ හවස මගේ බිරියට කතා කරලා කියලා තියෙනවා “අම්මේ කැම්පස් ඉඳලා ආවේ දැනුයි. හරි මහන්සියි. අම්මට රෑවෙලා කතා කරන්නම්.” කියලා. ඒ තමයි දුවලා දුන්න අන්තිම කෝල් එක. මියගිය දියණියන් දෙදෙනාගේ පියා සංජීව මහතා එලෙසින් පැවසුවේ දරාගත නොහැකි ශෝකයෙන් වැළපෙමිනි.
සම්බන්ධීකරණය - කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර
2020/01/22 තරුණි බලන්න