වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
අම්මාගේ ආදරණීය බැඳීම් සමඟින් හැමදාමත් සතුටින්
පවුලක සවිය වන්නේ ආදරණීය බැඳීම්ම තමයි. ආදරණීය බැඳීම් නොමැති පවුල් එහෙම පිටින්ම විසිරුණු පවුල්. ඉතින් මේ ආදරණීය බැඳීම්වල මුදුන්මුල වන්නේ අම්මා. අම්මාගේ ආදර්ශය, ශක්තිය, ධෛර්යයවන්තකම...... මේ දේවලින් ස්වයංපෝෂිත වුණු පවුලක සාමාජිකයකු වීමම පවා භාග්‍යයක් නොවේ ද?
අම්මාගේ ආදරණීය බව පිළිබඳ අද අපි තව තවත් කතා කරමු.
අපිත් එක විදිහකට රංචු වශයෙන් ඉන්නයි කැමැති. පවුලක් විදිහට අම්මා, තාත්තා, සොයුරු, සොයුරියන්, ආච්චී, සීයා මේ හැමෝමත් එක්ක එකට එකම නිවෙසක වැටිලා ඉන්නයි උත්සාහ කරන්නේ.
අපේ අම්මා, අම්මා කෙනෙක් වෙන්න කලින් තරුණියක්. ඒ කාලේ අපේ අම්මලත් අපි වගේ මෝස්තර කරන්න, ලස්සනට ඉන්න උනන්දුවෙන් ඉන්න ඇති. කොණ්ඩේ සැරින් සැරේ පීරන්න ඇති. සුකුරුත්තන් කෑම ජාති හවසට හවසට හදන්න ඇති. මනාලියක් වෙන්න පෙරුම් පුරන්න ඇති. ඒ සේරම ටිකෙන් ටික නැති වුණේ කොහොමද ? අපි උපන් දවසේ අම්මා අපිත් එක්ක බැඳෙන්නේ ඒ තරුණියව වළදාලා. අපි අම්මගේ ආදරය විඳින්නේ අම්මගේ කුසට ආ දා ඉඳලා.
ඇත්තටම අවුරුද්දකට අම්මා කෙනෙක් වෙන්න කාන්තාවකට අවස්ථාව තියෙන්නේ දොළොස් පාරයි. ඒ විදිහට දරුවෙක් අම්මගේ කුසේ පිළිසිඳ ගත්තා කියලා දැනගත්ත ගමන්ම ආසියාතික සමාජයේ නම් මේ ගැබිනි අම්මව පරෙස්සම් කරනවා. ආදරයෙන් බැඳුණු හැම කෙනෙක්ම එයාව ආදරයෙන් බලාගන්නවා. නෑදෑයෝ, යාළුවෝ හැමෝම කෑම එහෙම හදාගෙන බලන්න එනවා. චිත්තවේග කිසිම දෙයක් දැනෙන්න දෙන්නේ නැහැ. මනස සන්සුන්ව තියන්න උත්සාහ කරනවා. අම්මව සතුටින් තිබ්බොත් තමයි දරුවා නිරෝගී වෙන්නේ. දරුවාගේ නිරෝගීකම ජාතියේම නිරෝගීකමට බලපානවා. කාන්තාවන්ට වටකුරු සිරුරක් තියෙන්නේ ඒ නිසා. කාන්තාව හැමවෙලාවෙම අතිරේක ආහාර තට්ටුවක් තැන්පත් කරගෙන තමයි ඉන්නේ. එහෙම ඉන්නේ වෙනත් කෙනෙක්ව පෝෂණය කරන්න වෙන නිසා. මේ හැම දෙයක්ම කරන්නේ ශක්තිමත් ආදරණීය බැඳීම් නිසා. ඒ ආදරණීය බැඳීම් නිසා තමයි අම්මගේ ගර්භාෂයේ ඉන්නකොට පෙකණිවැල හරහා කළලයට ආහාර දෙන්න අම්මා නිර්ලෝභීවන්නේ. දරුවාට අගුණ අහිතකර කිසිම දෙයක්, අම්මා මොනතරම් ආසවුණත් ගන්නේ නැහැ. ලෝකයේ තියෙන ලොකුම වේදනාව විඳලා අම්මා කෙනෙක් දරුවෙක්ව බිහි කරනවා. මේ බිහිකරපු දවසේ ඉඳන් අම්මට අම්මව නැතුව යනවා. එතැනින් එහාට සෑම සියලුදෙයක්ම දරුවා වෙනුවෙන්. මේ බැඳීම ලෝකයේ කිසිම තාක්ෂණික උපකරණයකින් මනින්න බැහැ. තවමත් කිසිම විද්‍යාඥයකුට පුළුවන් වුණේ නැහැ මවුකිරට සමාන කිරක් නිෂ්පාදනය කරන්න. ඒ ආදරණීය බැඳීම ඒ තරම්ම ප්‍රබලයි. කිසිම බාහිර බලවේගයකට අහලකටවත් එන්න ඉඩක් නැහැ.
දරුවා අඬනකොට අම්මට ඒක දැනෙනවා. ඒ නිසා අම්මගේ ස්ථන ග්‍රන්ථිවලින් කිරි වෑස්සෙන්න පටන්ගන්නවා. හැමෝම ලේ කිරි කරන එක ගැන කතා කරනවා. කිරි දුන්න අම්මලා දන්නවා කිරි දෙන එක පහසුම දෙයක් නෙවෙයි කියලා. කිරි එරෙන කොට දැනෙන නොදැනෙන වේදනාවක් තියෙනවා. ගොඩක් කිරි එරිලා දරුවා ඒ තරමටම කිරි උරා නොබිව්වොත් අම්මට හරිම වේදනාවක්.
දරුවා ඇහැරිලා ඉන්නකම් අම්මා අම්මගේ නින්ද කැප කරනවා. ගොඩක් තරුණ කාලේ අම්මා ගැහැනු ළමයෙක්ව සිටි කාලයේ තේ කෝප්පේ ඇඳ ළඟට එනකම් නැගිට්ටේ නැහැ. එහෙම ගැහැනු ළමයෙක් තමයි මේ තවත් පුංචි ජීවියෙක් වෙනුවෙන් ආශාවන් සියල්ල ඇහැරිලා එයා වෙනුවෙන් කැපවෙන්නේ.
අම්මා විතරක් නෙවෙයි. මේ දෙමහල්ලන්ගේ ඥාති පරපුරත් අලුත උපන් දරුවා වෙනුවෙන් විවිධ කැපකිරීම් කරනවා. ඒ ආසියාතික සමාජ ක්‍රමය ඇතුළේ තියෙන ආදරණීය බැඳීම්වල ශක්තිමත්කම නිසා.
උපදෙස් - මනෝ උපදේශිකා,මනෝ චිකිත්සක,පෞරුෂ සංවර්ධන උපදේශිකා
අමා දිසානායක
2020/01/29 තරුණි බලන්න