අද අයිෂා... හෙට... ඔබේ දරුවා විය හැකියි

ජුනි 6, 2022

 

"සර් මම ඇත්තම කියන්නම් සර්.... මේ ළමයා අපේ ගෙදරට යනවා එනවා. සෙල්ලම් කරන්න අපේ ගෙදරට යන එන විට ආසාවක් ඇති වුණා. එදා මේ ළමයා කඩේට ගිහින් කුකුළු මස් අරගෙන එනකොට මට පාරේ දී හමුවුණා. මම ළමයා උස්සාගෙන කිරල කැලේට රිංගුවා."

 

මෙවැනි පාපොච්ඡාරණයක් අසන්නට තරම් අප සමාජය සැහැසි වූයේ ඇයිදැයි සිතෙයි. මල් කැකුළක් වැනි තවත් එක් දැරියක් තළා පොඩිකර විනාශ කළ ඔහුට මෙවන් සිතුවිල්ලක් පහළ වූයේ කෙසේදැයි සිතාගන්නට බැරි තරම් වේදනාකාරියි. එහෙත් ඒ වේදනාව සිත්මත හිරකරගෙන මේ සටහන තබමු. ඒ නැවතත් අටුලුගම ෆාතිමා දියණියගේ ඝාතන සිදුවීම ගැන සටහනක් තබන්නට නොවේ. නව හැවිරිදි කිරි සප්පයකු විනාශ කළ ඔහුගේ පාපොච්ඡාරණයෙන් අපට ගම්‍ය වෙන්නේ සමාජය පිළිබඳ විශාල බියකි. එසේම දෑස් මානයේ සිටින සෑම දරුවෙක්ගේම ආරක්ෂාව පිළිබඳ සැකයකි. මතුගම සමන් කුමාර, සදීපා ලක්ෂාන්, යාපනයේ විද්‍යා, කොටදෙනියාවේ සේයා සදෙව්මිණි සේම අටුලුගම ෆාතිමාගේ ඝාතනය ද සිදු වූ පසුව ඒ ඝාතනය සිදු වූ ආකාරය පිළිබඳ සෑම මාධ්‍යයක් ඔස්සේම හෙළි කළේ සංවේදී ලෙසිනි. නමුත් අප මේ සටහන තබන්නේ රටේ මෙවැනි සිදුවීම් හමුවේ නීතිය බලාත්මක කිරීමේ වැදගත්කම සමාජගත කිරීමේ අපේක්ෂාවෙනි.

අටුලුගම අල් ගස්සාලි විද්‍යාලයේ හතර ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ෆාතිමා අයිෂා අහිංසක දැරියකි. ඉකුත් 27 වැනි සිකුරාදා උදෑසන 10.00ට පමණ ඇයගේ මව ආයිෂාව අසල මස් කඩයට යවන්නේ කුකුළු මස් ටිකක් රැගෙන එන්නටය. ඇය නිවෙසට ඒමට ප්‍රමාද විය. මව ඇය සොයා ගියාය. මස් කඩයට ගිය විට මුදලාලි පැවසුවේ ඇය මස් මිල දී ගෙන ආපහු ගිය බවයි. මීටර් 200ක් තරම් දුරකින් වූ මස් කඩයට ගිය දැරියට සිදුවූයේ කුමක්ද? මුළු අටුලුගම් ප්‍රදේශයම ඇය සොයන්නට වූයේ බණ්ඩාරගම පොලීසියේ ද මැදිහත්වීමෙනි.

නිවෙසේ සිට කුකුළු මස් කඩයට යන මාර්ගය අතර මැද ලඳු කැලෑවකි. කිරළ ගස් ගොමුවකින් පිරි එම ප්‍රදේශය වැස්සට මඩ ගොහොරුවක් වී තිබුණි.

පොලිසිය විමර්ශන ආරම්භ කළේ පැති කිහිපයකිනි. දැරියගේ පියා ද සැකකරුවකු බවට පත් වී තිබුණේ ඔහු ද අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු වූ බැවිනි. ගම්මු එක්ව දැරිවිය සෙවීම දිගටම සිදු කළේ ඇයට අනතුරක් සිදු වූයේ නම් එය මීටර් 150 - 200 තුළ බව සාධාරණ සැකයෙනි. අතුරුදන් වී පැය 24ක් යන්නට පෙර ෆාතිමාගේ නිසල සිරුර හමුවූයේ මඩ ගොහොරුවකිනි. එහෙත් මේ ඝාතනය සිදු කළේ කවුදැයි අභිරහසක්ව පැවතිණි. පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කළේ අපරාධකරු අසල්වැසියකුම බව මුල සිටම සැක කරමිනි.

අටුලුගම පල්ලියේ මුස්ලිම් පූජකතුමා ඇතුළු ගමේ පුභූන් හා ජනතාව දැනුවත් කළ පොලීසිය සිද්ධියෙන් පසු හැසිරීම් වෙනස් ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් පිළිබඳ දැනුම් දෙන ලෙස දන්වන ලදී. සැක කටයුතු පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු පොලිසියට ලැබු‍ණේ ඉන් පසුවය.

සැකකටයුතු පුද්ගලයා හඳුනා ගත්තේ උපක්‍රමශීලීවය. ඔහුගේ බෙල්ලේ නියපොතු පහරක් ද පොලිසියට ඇස ගැටි තිබුණි. ඒ නිය පහර අයිෂාගේ ය. සැකකරු හමුවන්නේ කිහිප දෙනකුගේ ප්‍රකාශ සටහන් කරන අතරතුරය. විසිනව හැවිරිදි මොහු පදිංචිව සිටියේ ෆාතිමා දියණියගේ නිවෙස ආසන්නවය. දෙදරු පියකු වන මෙකී සැකකරුගේ දියණියත් ෆාතිමාගේම වයසේ පසුවෙයි. ඔහුගේ බිරිය ද ගැබිනියකි.

"මාමා... මාමා... මාව අතඅරින්න.... මට යන්න දෙන්න." ෆාතිමාගේ හඬ කාටවත් නොඇසෙන මානයේ දී ඔහු හැඳ සිටි සරමෙන් දරුවාගේ කකුල් දෙක සහ දෑත් දෙක බැඳ දැමුවේ තම අවශ්‍යතාව ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙනි.

"මට බය හිතුනා සර්.... මම උස්සාගෙන ගියා කියලා ගෙදර අයට කියයි කියලා. මම කට වැහුවා. එතකොට දරුවා පොර බදන්න පටන් ගත්තා. ඒ එක්කම ළමයාට සිහිය නැතිව ගියා. මම එයාව මඩේ ඔබාගෙන හිටියා..." මේ සාහසික අපරාධය කළ ඔහු පාපොච්ඡාරණය කළේ එලෙසිනි. කටේ කිරි සුවඳ වියැකෙන්නටත් පෙර මෙලෙසින් මරණයට පත් කළ මේ පාපතර අධම මිනිසා දැරියගේ මවගේ ඥාතියකුවීම ද සිත් ඇදහිය නොහැක්කකි. කුරා කුහුඹුවකුටවත් වරදක් නො කළ මේ දැරිය විනාශ කළ පාපතරයා ඔහුගේ ගැලවීම වෙනුවෙන් විවිධ දේ පවසනු ඇත. එහෙත් එවැනි අහිංසක දැරියක් විනාශ කළ පාපයෙන් ඔහුට ගැලවීමක් නැත. නීතියෙන් කුමන දඬුවමක් ලැබුණත් ඔහු හට තමා ජීවත්වන ජීවිත කාලය පුරාම සිහිවෙමින් මැරි මැරී ඉපදෙන්නට සිදුවනු ඇත..

 

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ අදහස් දැක්වීම

 

ඔහුට ලැබෙන දඬුවම කුමක් වුවත් මෙවන් සිද්ධින් නැවත නොවන්නට කළයුතු දේ පිළිබඳ අප විමසීමක් කළේ ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ සජීවනී අබේකෝන් මහත්මියගෙනි. ඇය දැක්වූ අදහස් හා උපදේශනය සෑම දරුවකුටමත්, මවුපියන්ටත් වටිනා කරුණු රාශියකි.

"සමස්තයක් ලෙස මේ සිද්ධිය පමණක් නොවෙයි දරුවෙක් අපයෝජනයට හෝ අතරවරයට ලක්වෙන්න පුළුවන් අවස්ථාව අපට හරියටම කියන්න අමාරුයි. මෙහි දී අප ළමයි පිළිබඳ අවධානයෙන් සිටීම පමණක්ම ප්‍රමාණවත් නැහැ. දරුවන්ට වියහැකි අපයෝජනය ගැන ඔහුන් දැනුවත් කිරීම තමයි වඩාත් වැදගත්.

80%ක්ම දරුවෝ අපයෝජනයට ලක් වෙලා තියෙන්නේ තමුන්ගේ ඥාතියෙක් අතින් හෝ හිතවත් කෙනෙක් අතින්. ළමයෙක් ගැන පැය 24ම බලාගෙන ඉන්නවා කියන එක ප්‍රායෝගික නැහැ. දරුවාට කියා දෙන්න ඕනේ තමුන්ට තමුන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ආකාරය පිළිබඳ.

බොහෝ විට අපයෝජනයට යොමු වෙන්නේ දරුවන්ට උදව් කරන්න එන පුද්ගලයෙක්. ඔවුන් පවුලේ හිතවතෙක් හෝ දරුවන්ට තෑගිභෝග ලබා දෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම උදව් කළ පමණින් ඒ අය කතා කළාට යන්න එපා. ස්පර්ශ කරන්න ආවෝත් එය කරන්න එපා කියන්න අයිතියක් තියෙනවා කියලා දරුවාට කියා දෙන්න. එතැනින් ඉවත් වෙන්න උදව් ඉල්ලා කෑගහන්න. ඒ ගැන දරුවන් හොඳින්ම දැනුවත් කළ යුතුයි.

මවුපියන්ගේ පැත්තෙන් විශාල වගකීමක් තිබෙනවා. ඔවුන් දරුවාට භෞතික දේ සැපයීම පමණක් ප්‍රමාණවත් නැහැ. දරුවාට හොඳින්ම සමීප වෙන්න. සමීපවී ආදරයෙන් කතා කරන්න. දවසට එක්වරක් හෝ දවසේ සිද්ධි ගැන කතා කරන්න. ඊට අමතරව සමාජයක් ලෙස සියලු දෙනාටම ලොකු වගකීමක් තියෙනවා. දරුවෝ කියන්නේ අපේ ලොකුම සම්පත. එයට මාධ්‍ය ආයතනත් වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. මේ වාගේ සිද්ධියක් වුණු ගමන් කතා කිරීම විතරක් ප්‍රමාණවත් නැහැ. වාණිජ පැත්ත නොසිතා මේ වගේ සිද්ධි ගැන මවුපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් විකාශය කිරීම ඉතාම වටිනවා. ඒ වගේම හැම කෙනකුටම විශාල වගකීමක් තිබෙනවා. මත්ද්‍රව්‍ය වැනි දේ නිසා තමයි මේ වගේ අවාසනාවන්ත සිද්ධි වෙන්නේ. රටක් ලෙස අප මත්ද්‍රව්‍ය නැති කිරීමට කටයුතු කළ යුතුමයි. ඇත්තටම දැන් පවතින ආර්ථික හා සමාජ ගැටලු නිසා තමයි මෙවැනි ක්‍රියා වැඩිවෙන්නේ. තමුන්ගේ දරුවා අනාරක්ෂිතව තබා තමුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න වෙහෙසෙනවා. මුදල් කොයි තරම් තිබුණත් දරුවා විනාශ වුණොත් එයින් අපට ඇති ප්‍රයෝජනයක් නැහැ."

 

විශේෂ ස්තුතිය -

ළමා රක්ෂණ අධිකාරියේ සභාපති

උදය කුමාර අමරසිංහ මහතාට

සහ අධ්‍යක්ෂ

ප්‍රීතිකා සකලසූරිය මහත්මියට

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.