වසර 35ක සේවය නිමා කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය

ඔක්තෝබර් 20, 2021

 

මහනුවර දිස්ත්‍රික් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී

(විශේෂ ශ්‍රේණිය)

ජේ. එම්. ඥානවතී මැණිකේ

*මම කිසිම දවසක නිකරුණේ නිවාඩු අරගෙන නිවෙසට වෙලා ඉඳලා නැහැ. මගෙ දරුවෝ අසනීප වුණත් ඒ අයගේ කටයුතු කරන ගමන් මම රැකියාවට ගිහින් තියෙනවා.

*මම උපරිමයෙන්ම මිනිසුන්ට සේවය කර තිබෙනවා

* රාජ්‍ය සේවයයි ගෘහ සේවයයි දෙකම උපරිමයෙන් කළ කෙනෙක්

* කිසිම දවසක කිසි කෙනෙක් සමඟ ආරවුල් ඇති කරගෙන නැහැ

 

බිලිඳියක ලෙස මව්කුසයෙන් මෙලොව එළිය දුටු ඇය දියණියක, බිරියක, මවක, සොයුරියක, යෙහෙළියක ලෙස කාන්තාව සතු භූමිකා සියල්ලම නියෝජනය කළ අයකු ලෙස කාගේත් ආදරය දිනා ගත්තාය. ඒ ඇගේ පවුල හා වටපිටාව හා බැඳුණු විටය. මේ සියල්ලම හැරුණ විට ඇගේ රාජකාරිය හා බැඳුණ සමාජ පරිසරය තුළ ඇය ආදරණීය මවකි. අද අප ඔබට කියන්නට යන්නේ තිස්පස් වසරක අනගි සේවයක් ඉටුකර විශ්‍රාම යන මහනුවර දිස්ත්‍රික් පවුල් සෞඛ්‍ය නිලධාරි (විශේෂ ශ්‍රේණිය) ජේ. එම්. ඥානවතී මැණිකේ පිළිබඳය.

හදවලපිටිය ගමේ උපන් ඇය සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුතු පවුලේ අටවැන්නියයි. හඳවලපිටිය මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා උගත් මැණිකේ උසස් පෙළ හැදැරීම සඳහා හඟුරන්කෙත මහා විද්‍යාලයට ඇතුළු විය. උසස් පෙළ විභාගය සඳහා කලා විෂයන් හැදැරු ඇය පසුව පවුල් සෞඛය සේවා නිලධාරිනියක වීමට වැඩි ආශාවක් දැක්වීය. ඇය ඒ සඳහා වු තරග විභාගයට අයදුම්පත් යොමු කළාය.

“ අපේ කාලේ මේ අද වගේ අඩියෙන් අඩියට පුද්ගලික පන්ති පැවැත් වුණේ නැහැ. අපිට පාසලෙන් ලැබුණ අධ්‍යාපනය පමණයි තිබුණේ. උසස් පෙළ ලියලා ඉවර වුණාට පස්සේ මම පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලෙස සේවය කිරීමට සිතුවා. 1985 දී තමයි මම සේවයට බැඳුණේ. ඉගෙනුම ලැබුවේ මහනුවර හෙද විදුහලේ. මාස හයක ක්ෂේත්‍ර පුහුණුවක් ලැබුවා. අපේ කණ්ඩායමේ 120 දෙනකු සිටියා. ඒ කාලේ අපට වසරක කාලයක් වින්නඹු කර්මය උගන්නවා. නුවර රෝහලේ තමයි අපට පුහුණු විම් තිබුණේ. පත්වීම ලැබුණේ 1988 දී. ඒ කාලේ වෙනකොට මගේ අයියලා, අක්කලා විවාහ වෙලා හිටිය නිසා මට පවුල් බරක් තිබුණේ නැහැ. මට මුල්ම පත්වීම ලැබුණේ රිකිල්ලගස්කඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දුෂ්කර ක්ෂේත්‍රයක. ගල උඩ ගම්මානයට. ඒ කාලේ අද වගේ නෙමෙයි. ගෙවල් තියෙන්නේ දුරින් දුරින්. වල් ඌරෝ, රිලව් ඉන්නවා මඟ යනකොට. නමුත් රාජකාරියට ගියේ තනියම. කැලෑ මැද්දෙන්, කඳු නඟිමින් මිනිස්සුන්ට සේවය කරන්න ගියා. පවුල් සෞඛ්‍ය සේවා රස්සාව කියන්නේ සැප විඳින රස්සාවක් නොවෙයි. සමහර නිවෙස්වලට යන්නේ කැලෑ පාරවලින්. මඟ කවුරුවත් නැහැ. කැලේ මැදින් යනකොට දෙබරු බඹරු ඉන්න නිසා බයයි. මහත්තයා මට කියනවා ෂොපින් බැග් එකක් අරන් යන්න. ඒ වගේ තැන්වලින් යනකොට ඔළුවට දාගන්න කියලා. අපිට හැම තැනම යන්න වුණේ තනිවම. ඒ නිසාම හිතේ තිබුණ බයත් ඇරුණා. සමහර නිවෙස්වලට යන්න තිබුණේ ඇළවලින් එගොඩ වෙලා, කැලෑ මැද්දෙන් රාජකාරිය කරන්න ඒ ගිය ගමන වෙහෙස කර වුණත්, අද දවසේ හිතට සතුටක් ගෙනෙනවා.‘‘

රාජකාරියට බැඳුණ දින සිටම කැපවීමෙන් සේවය කළ ඇය අද ද එය සිහි කරන්නේ බොහෝ සතුටිනි. රැකියාවේ වැඩිම කලක් දුෂ්කර ගම්මාන වල ජනතාව වෙනුවෙන් සේවය කළ ඇය හැම මොහොතකම ජනතා සේවය වෙනුවෙන් කැපවූ කාන්තාවක් යැයි කීමෙහි වරදක් නැත. ඇය රාජකාරිය කරන අතරතුර තම දරු දෙදෙනාගේ වගකීම ද මනා කැපවීමෙන් ඉටු කළාය.

 

“මම කිසිම දවසක නිකරුණේ නිවාඩු අරගෙන නිවෙසට වෙලා ඉඳලා නැහැ. මගෙ දරුවෝ අසනීප වුණත් ඒ අයගේ කටයුතු කරන ගමන් මම රැකියාවට ගිහින් තියෙනවා. මට මතකයි 2008 වසරේ කාන්තා දිනය දවසේ උදේ මම ෆීල්ඩ් එකේ යනකොට කන්දක් නගිද්දි ගලක් පෙරලිලා මාව වැටුණා. ඒ වෙලාවේ අත බිම වැදිලා අත කැඩුණා. ඒ ගෙදර අයට කතා කරලා අඩි රූලක් තියලා අත බැඳගෙන මම පාර අයිනට වෙලා හිටියා. හදිස්සියට යන්න එන්න තැනක් හෝ වාහනයක්වත් නැහැ. පාරේ ඉන්න කොට එළවළු ගෙනියන ලොරියක් ආවා. මම ඒකේ නැගලා ආවා. නමුත් ඒ මනුස්සයා එයාගේ වැඩේ කර ගන්න කඩවල් ළඟ නතර කර කර ආවේ. රිකිල්ලගස්කඩ රෝහලින් මාව නුවර යවන්න හැදුවා. දරුවෝ ඉස්කෝලේ ගිහින් ඇවිත් තනිවම ගෙදර. මම ගෙදරට ගිහින් එන්නම් කියලා ගෙදර ආවා. උදේ 9 ට මේ අනතුර වුණේ හවස 5 ට තමයි ගෙදර ආවේ. මම නිවෙසට ඇවිත් අසල නිවෙසක නංගි කෙනකුට කතා කළා. ඒ වෙනකොට මහත්තයා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් විදිහට කටයුතු කළේ. මම මහත්තයාටත් මේ බව දන්නලා තමයි ගෙදර ආවේ. ඉන් පස්සේ රෝහල් ගත වුණා. මාස එකහාමාරක් විතර ගෙදර ඉන්න වුණා. ඒ ඇරෙන්න නම් මම ඔය තරම් දිග නිවාඩුවක් ඉඳලා නැහැ.

මහත්තයා හැමදාම රස්සාව කළේ ඈත. මහත්තයාගේ අම්මාත්, මගේ අම්මාත් දරුවෝ බලලා දුන්නා...ඒත් මම කළේ හැමදාම අනුන්ගෙ දරුවෝ බලන එක. දැන්නම් පවුල් සෞඛ්‍ය සේවිකාවට මාස හයක ප්‍රසූත නිවාඩු ලැබෙනවා. ඇතැමුන් තවත් නිවාඩු ගන්නවා. අපේ කාලේ නිවාඩු ඊට අඩුයි. දුව ලැබිලා මාස එකහාමාරයි නිවාඩු හිටියේ. පුතා ලැබුණාම නම් මාස තුනක් නිවාඩු තිබුණා. නමුත් මං මගේ හැම දෙයක්ම බොහෝම හොඳින් ඉටුකර ගත්තා. ඒ කාලේ ග්‍රාමසේවා වසම් හතකට එක පවුල් සෞඛ්‍ය සේවිකාවයි හිටියේ. නමුත් දැන්නම් එක් අයකුට අයිති ග්‍රාම සේවා වසම් දෙකක් විතරයි.“

කොතරම් බාධක අවහිරතා තිබුණ ද ඇය සැමදා රාජකාරිය මැනවින් ඉටුකළාය. ඇය දවස පටන් ගන්නේ පාන්දර හතරටය. කෑම පිස, දරුවන්ගේ කටයුතු ද ඉටුකර දී ඇය උදෑසන හය වන විට නිවෙසින් පිටවන්නීය. උදේ 7.15 වන විට කාර්යාලයට යන ඇය එතැන් සිට තම රාජකාරිය අරඹන්නීය.

“ මම මේ රැකියාව ආරම්භ කරපු දවසේ ඉඳලා උදෙන්ම වැඩට යනවා. දවල් වෙලා රස්සාවට යන්න ලැජ්ජයි වගේ. රස්සාවේ වැඩ කටයුතු අතපසු කළේ නෑ වගේම මම දරුවන්ගේ කටයුතුත් මගහැර නැහැ. අද මගේ දුව මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ නැටුම් ගුරුවරියක්. පුතා IT උපාධිධාරියෙක්. මැණික්හින්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනවා. මම මගේ දරුවෝ අසනීප වෙලා නිවසේ ඉන්දැද්දි කළ යුතු සියලු සාත්තු කරලා දොර වහලා අනුන්ගේ ළමයි බලන්න රාජකාරියට ගිහින් තියෙනවා. මගෙ දරු දෙන්නා කවදාවත් මට කරදරයක් වෙලා නැහැ. ඒ වගේම තමයි උණක් හෙම්බිරිස්සාවක් ඇරෙන්න දරුවන්ට වෙනත් අසනීප කුඩා කාලයේ හැදිලා නැහැ. මම උපරිමයෙන්ම මිනිසුන්ට සේවය කර තිබෙනවා. ඒක මට ලොකු සතුටක්. අද පමණක් නොව ඇය හැමදාමත් ජීවිත දෙස බැලුවේ, සියලු කටයුතු කර ගත්තේ සැහැල්ලුවෙනි.

ගෙවුණ අවුරුදු තිස් පහ තුළ ඇය කළ මෙහෙය විශාලය.

දෙදෙනෙකු විවාහ වී දරුවකු ලැබෙන්න ගිය තැන සිට ඒ මව ගැන වගේම දරුවා ගැන සොයනවා බලනවා. ඒක හරියට චක්‍රයක් වගේ. ගෙවුණ තිස් පස් අවුරුද්ද තුළ බිහිවූ දරුවන් ගණන දෙදහසකට වැඩි ඇති. මම මගෙ සේවය ගැන අවංකවම සතුටු වෙනවා . කාගෙන්වත් කිසිවක් අරගෙන නැහැ. වරක් මම හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස අගැයීම් ලැබුවා. මම කිසිම දවසක කිසි කෙනෙක් සමඟ ආරවුල් ඇති කරගෙන නැහැ. මගෙ මහත්තයා හැමදාම නිවෙසින් දුර පළාත් වල සේවය කළේ. නමුත් ඔහු විශ්‍රාම ගිය කාලේ මාස තුනක් එක දිගට නිවසේ හිටියේ. ඒ කාලයේ ඔහු මට කියනවා ඔයා යන්න මම ගෙදර බලන්නම් කියලා. ඔහු නිවසේ හැමදෙයක් වගේම කළා. ළඟ හිටියත්, දුර හිටියත් මට විශාල සහායක් ලබා දුන්නා කවදත්.

රාජකාරියට මුල් තැන දුන්නත් පවුල් ජිවිතය ද රැකගනිමින් දරුවන්ගේ සියලු කටයුතු සොයා බැලුවාය. තම ඥාතීන්ගේ පමණක් නොව අසල්වැසියන්ගේ ද දුක සැපද බෙදා ගනිමින් පන්සලට අවශ්‍ය සහාය දෙමින් කටයුතු කළ ඇය දැන් විශ්‍රාමික ය.

තිස්පස් වසරක් පවුල් සෞඛ්‍ය සේවිකා වෘත්තියේ කටයුතු කළ සිය මව ගැන ඇගේ දියණිය නිලූෂා ප්‍රියදර්ශනිට ඇත්තේ මෙවන් අදහසකි.

“අම්මා රස්සාවක් කළා කියලා කවදාවත් අපිට අඩුපාඩුවක් කළේ නැහැ. අපේ හැමදෙයක්ම හොයලා බලලා ඉටු කළේ අම්මා. මම විවාහ වෙලා හිටියත් අදටත් අම්මා මගේ සියලු දේ ගැන සොයනවා බලනවා. අප්පච්චි නම් දුර වැඩ කළේ. අම්මා මල්ලියි මායි එක්ක යාළුවෙක් වගේ කටයුතු කරන්නේ. අපි පොඩි දවස් වල නම් මට හිතෙනවා අම්මාට අපිට වඩා පිට ළමයි ලොකුයි නේද කියලා. ඒත් පහුවෙනකොට තමයි මට අම්මාගේ රාජකාරිය ගැන තේරුණේ. අම්මා අම්මාගේ රස්සාව හරියටම කළා කියලා මං විශ්වාස කරනවා. මට අම්මා ගැන හරිම ආඩම්බරයි. ඇය අපිට හැම වෙලේම ජීවිතය ගැන කියා දෙනවා.‘‘

දියණිය සිය මව ගැන පවසන්නේ එසේය.

සිය බිරිය ගැන ඌව පළාත් මාර්ග අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හඳවලපිටිය මහතාට ඇත්තේ මෙවන් ආදරණීය හැඟීමකි.

මුලින්ම ග්‍රාම නිලධාරියකු ලෙස සේවය කළ ඔහු පසුව ගුරුවරයෙක් ලෙස ද ඉන් පසු සමාජ සේවා නිලධාරියකු ලෙස ද සේවය කළේය. පසුව පරිපාලන ක්ෂේත්‍රයට පිවිසි ඔහු අද රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන සිටී.

“ ඇය හැමදාම මගෙ ආදරණීය බිරිඳ. අපි දෙන්නම එකම ගමේ. එකම පාසලේ ඉගෙන ගත්තේ. ඇය රාජ්‍ය සේවයයි ගෘහ සේවයයි දෙකම උපරිමයෙන් කළ කෙනෙක්. හැම සාර්ථක මිනිසෙක් පිටු පසම හොඳ ගැහැනියක් ඉන්නවා කියලා කියමනක් තියෙනවා නේ. මට නම් ඒ කියමන හරියටම හරි. ඇය සමඟ ගත කළ ජීවිතයේ අවුරුදු විසි පහක්ම මම නිවෙසට ආවේ සති අන්තයේ. ඇය දරුවොත් බලාගෙන රාජකාරියත් ඉටුකරගෙන මගේ ඥාතීන්ටත් උදව් කරගෙන හොඳින් හිටියා. මගේ වෘත්තිය ජීවිතයේ දී මට හමු වූ අවංක දක්ෂම රාජ්‍ය සේවිකාව, කැපවීමෙන් කටයුතු කළ රාජ්‍ය නිලධාරිනිය ඇයයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඇයට මීට වසර පහළොවකට පෙර උසස් විමක් ලැබුණා. නමුත් ඇය දරුවෝ දෙන්නාට උගන්නන්න ඔවුන් ගැන බලන්න ඕන කියලා එය එපා කියපු කෙනෙක්. මම දෙස් විදෙස් සංචාර රැසක නිරත වුනේ ඇය නිසා. ඇය මේ හැමදෙයක් දිහාම උපේක්ෂාවෙන් බලලා කටයුතු කළා. ඇය ගැන මට ලොකු ආඩම්බරයක් ආදරයක් තියෙන්නේ. මගේ මවට පසු මම ජීවිතයේ ගෞරව කරන එකම ගැහැනිය ඇයයි.“

ඔහු පවසන්නේ සිය ආදරණීය බිරිය ගැනය.

ජීවිතයේ බොහෝ කඩ ඉම් පසු කරමින් පැමිණි ඇය දැන් විශ්‍රාමික දිවි පෙවතකට හුරුවෙමින් සිටින්නීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.