වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
ඩච් එක ළඟට එනවද.. අපි කොහාට හරි යමු

කිසිවක් නොසිතාම අතට ගත් හර්මන් හෙසගේ සිද්ධාර්ථ නවකතාවෙහි අහඹු ලෙස පෙරළී ඇත්තේ "කමලා" නම් පරිච්ඡේදයයි.
සත්‍ය සොයා වනගතව ශ්රමණයෙකුව වසන සිද්ධාර්ථ වනයෙන් ආපසු පැමිණ සම්භෝග සුවය අත්හදා බැලීමට කමලා නම් වරඟන වෙත පිවිසෙයි. ඈ ඉතා රූමත්ය. ඈ සමීපයට පිවිසෙන සිද්ධාර්ථ වනයෙහි සිට කාමසම්භෝගය ඉගෙනීමට පැමිණි ශක්තිවන්ත ශ්‍රමණයා හට බියක් නැද්ද යි ඇගෙන් අසයි. කමලා ඊට දෙන පිළිතුර නිගූගේ සිතෙහි නිරන්තර පිළිරැව් නැඟෙයි.
ඈ පවසන්නේ ඇගේ රමණීය රක්ත වර්ණ තොල් සඟළ ඇගේ කැමැත්ත නොලබා සිපගත හොත් එහි මධුරතාවෙන් බිඳක් හෝ ඔහුට ලබාගත නොහැකි බවයි. ප්‍රේමය බැගෑපත් වී හෝ ලබාගත හැකි බවත්, එය මිලටගත හැකි බවත්, වීදි දිග වුව මුණ ගැසිය හැකි බවත් එයින් පිදුම් ද ලැබිය හැකි බවත් පවසන කමලා, කිසි විටෙකත් එය සොරාගත නොහැකි බව පවසයි. නිගූගේ සිත තුළ තෙපුල් දෙමින් පැවති වේදනාව හා ආත්මානුකම්පාව කමලා සිද්ධාර්ථට දුන් පිළිතුර දැකීමෙන් මඳක් පසුබැස ඔහු තුළ කිසියම් සැහැල්ලුවක් ද සැනසිලිදායක අවබෝධයක් ද ජනිත කරයි.
කාංචනාගේ සිත වෙනස් වී ආපසු තමා වෙත පැමිණ පුරුදු ප්‍රේමයෙන් බැඳෙන තුරු කොපමණ කලක් ඉවසා සිටින්නද? වඩාත් අසීරු වන්නේ ඒ අතර ගෙවෙන කාලය තුළ අසීමිතව අත් විඳින්නට සිදුවන දරුණු මානසික වියවුල දරා ගැනීමයි. හදවත පසාරු වන්නට ඇන සැත් තුඩ කරකවමින් විසල් විවරයක් කණින්නාක් මෙන් ඈ පවසන රුදු ඇනුම්පද නිගූගේ ආත්මය පත්ලේම ඇලවී තිබෙයි.
පේරාදෙණියේ සීතල හැන්දෑවරුවල කාංචනා නිගූට තුරුලුව ගෙවූ ආදර නිමේෂවලට පවා දැන් ඈ වෛර කරයි. තුහින සිරිපොද හැලෙන එබඳු හැන්දෑ වරුවල ඈ නේවාසිකාගාරයෙන් පිටතට පැමිණෙන්නේ හිස ද කන් ද වැසෙන සේ ස්කාෆ් එකක් බැඳගෙන, ගෙල වටා මෆ්ලරයක් ද දවටා ගෙනයි. සීතල හැන්දෑ වරුවල සරසවි බිමේ සැරිසරා අඳුරු අහුමුලුවල ගුළිව තරව සිප වැලඳ ආලිංගනය කළ යුගය නිගූට නම් මිහිරි සැමරුම් කලාපයකි. එහෙත් කාංචනා දැන් ඒ ගැන පවසන්නේ ඈ අකැමැතිව සිටියදී බලෙන් එහෙට මෙහෙට ඇදගෙන යාමක් ලෙසයි.
" පීනසේ හැදිලවත් ඉන්ඩ දුන්නෙ නෑනෙ.. හැමදාම හැන්දෑවට සීතලේම මරන්න වගේ ඇදගෙන ගිහින් අතන මෙතන හේත්තු කරගෙන කරපු ඒවායින් තමා එපාම වුණේ"
ඒ දවස්වල නිගූ සිතා සිටියේ ඒ හැන්දෑවරුවල ගමන් බිමන්වලින් කාංචනා ද සතුටු වූ බවයි. ඈ ඇතැම් දිනෙක හැර එබඳු ගමන් බිමන්වලට අකමැත්ත පළ නොකරයි. මුල්ම දවස්වල ඔහු කාංචනාගේ පියයුරු මඬලට තුරුලුව ඒවා උමතුවෙන් මෙන් සිඹින විට ඈ ද සතුටින් ඉපිළෙමින් නිගූගේ කන් පෙතිවලට ද කොපුලට ද හාදු තවරමින් කී ආදර වදන් ඔහුට තවමත් මතකයි.
" ඔයානම් හරි ශෝක් චූටි බබෙක් නිගූ.. ඔයාව දැක්කම ළමයි නැති අම්මලාටත් කිරි එරෙනවා ඇති."
ඈ එසේ කියන විට ඔහු තව තවත් තදින් ඇගේ පියයුරු මඬලට තුරුලු වෙයි. රෑ බෝ වී ඇය ආපසු ඇරලවන්නට ගොස් රාමනාදන් ශාලාව පෙනෙන මානයේ විසල් තල් ගස්වලට මුවා වී මහත් සෙනෙහසින් දෙතොල් තරකොට සිප ගනිද්දී පවා කිසිදු අකමැත්තකින් තොරව ඒ සියල්ල ඉවසූ අයුරු ඔහු සිහි කරයි. සරසවි මතක සමරන ඇතැම් විෙටක ඈ වගකීම්බර මුහුණක් මවාගෙන මෙසේ පවසයි.
"කැම්පස් එකේදි මං ළමයෙක් බලා ගන්නවා වගේ මෙයාව බලා ගත්තෙ.. අම්මලා හුරතලේට හදලා ඒ ගමන අපටයි වදේ"
හොඳින් සිතා බලා පසුවිපරම් කරන විට කාංචනාගේ මේ වචන සම්පූර්ණයෙන් බොරු ද නොවෙයි. පොතේ පතේ අධ්‍යාපන කටයුතුවලදී හැර නිගූ බොහෝ ප්‍රායෝගික දේවල්වලදී අසමත් වෙයි. දිනක් කුස්සියේ පිච්චුණු බල්බ් එක මාරු කරන්නට ගොස් නිගූ අතින් අලුත් බල්බය බිඳී යයි. අනවශ්‍ය තරම් බල්බය තදින් අල්ලා හෝල්ඩරයට ගිල්වා කරකැවීමේදී බල්බය බිඳී යන අයුරු කාංචනා දකියි. ඈ ඒ මොහොතේ මුහුණට සරදම් සිනාවක් නඟාගෙන මෙසේ පවසයි.
" ඔයා ඉතින් දෙයක් හරියට අල්ලන්නවත් දන්නැති පොඩි එකෙක්නෙ.. ඇල්ලුවොත් ඉවරයි."
කාංචනාගේ පියයුරු මඬලට තුරුලුව සිටින විට ඈ "ශෝක් බබෙක්" යැයි කියමින් ඔහුගේ කොපුල් සිප ගත්ත ද සැබෑ ජීවිතයේ දී ඈ අපේක්ෂා කළේ බබෙකු නොව වගකීම්බර සැමියෙකි. ප්‍රේමයෙන් බැඳී සිටින කාලය තුළ ප්‍රේමණීය හැඟීම්වලින් ඔද්දල්ව ඈ තම පෙම්වතා බබෙකු මෙන් බලා ගත්ත ද සැබෑ ජීවිතයේ හැම මොහොතකම මවකගේ භූමිකාව තුළම සිටින්නට ඇය අකමැතිය. ඇයට ද පොඩි දැරියක මෙන් ඔහු අසල සුරතල් වන්නට උවමනාය. එහෙත් නිර්මාණාත්මක කටයුතුවලදී හෝ ඇකඩමික් වැඩවලදී විනා සාමාන්‍ය ජීවිතයේදී වගකීම්බර පිරිමියෙකු සේ ජීවත් වන්නට නිගූ අසමත් වෙයි. එබැවින් මවුවත් භූමිකාවෙන් කිසිවිට මිදෙන්නට ඇයට නොහැකිය.
" මේ ගෙදර ගෑනිගෙ වැඩයි මිනිහගෙ වැඩයි දෙකම කරන්ඩ වෙලා තියෙන්නෙ මටනෙ."
නිවාඩු දවසක මකුළු දැල් කඩමින්, ගේ වටා ඇති සිමෙන්ති පිළ සෝදමින් සිට ගෙයි වහලයෙහි ගෑවෙමින් තිබුණු අඹ අත්තක් කපා දැමීමට ඉණිමගට නඟිමින් ඈ කියයි.
සාරා ඉපදුණු පසු ඈ නිගූටත් ඇසෙන සේ මෙසේ කියයි.
" දැන් ඉතින් මං ළමයි දෙන්නෙක් බලන්න එපායැ"
කාංචනාගේ එබඳු වදන් නෝක්කාඩුවක් සේ ඇසුණ ද නිගූට ඒ වචනවලින් දැනෙන්නේ ඇගේ ආදරයේ මහිමයයි. මෙසේ දිගින් දිගටම මවගේ භූමිකාව තුළ ජීවත් වීමෙන් ඈ හෙම්බත් වෙයි. තම දියණිය ආදරෙන් රැක බලා ගන්නා පියෙකු බඳු පිරිමි ආදරයක් ඇයට අවශ්‍ය වෙයි. එබඳු පිරිමි ආදරයක් අත් විඳින්නට ලැබීමෙන් අත්කර ගත් වියරු සන්තෝෂයකින් ඈ පුපුරු ගසමින් සිටින බව නිගූට හැඟෙයි.
නොයෙක් සිතුවිලි මාලාත් අතීත සැමරුම් ජාලාත් ඉපදි ඉපදී සලරූ පෙළක් සේ මැවෙද්දී, එකවරම නිගූට සාලින්ද අයියා හමු විය යුතු යැයි සිතෙයි. සාලින්ද දේවප්‍රිය උසස් පෙළට පන්ති යන කාලයේ පටන් නිගූගේ අතිජාත මිත්රවරයෙකි. සාලින්ද දැන් නීතිඥවරයෙකි. ඔහු අලුත්කඩේ උසාවිය සමීපයේ තම කාර්යාලය පවත්වා ගෙන යන්නේ පානදුර පදිංචිව සිටින අතරයි. කාංචනාගේත්, නිගූගේත් ආදර කතාව ඇරඹුණු දා පටන් සිදු වූ සෑම දෙයක්ම සාලින්ද දැන සිටියි. ඔවුන්ගේ කසාදයට අත්සන තැබුයේ ද සාලින්දයි. නිගූ සාලින්දට ඇමතුමක් දෙයි.
"සාලින්ද අයියෙ, ඔයා කොහෙද? චුට්ටක් හම්බ වෙන්න ඕනෙ."
" හරි මල්ලි මං තාම චේම්බර් එකේ... කොහාට ද එන්න ඕෙන"
" එහෙනම් ඩච් එක ළඟට එනවද.. අපි කොහාට හරි යමු."
" හරි මට පැය බාගයක් දියන්.. මං ඔතැන."
තවත් කොටසකින් හමුවෙමු