ගමන බිමන පහසු කරන බේබි නෙක් පිලෝ

ජූලි 3, 2019

අම්මාගෙයි තාත්තාගෙයි වස්තුව තමයි සිඟිත්තා. ඒ හින්දම තමන්ගේ දරුවාට එක දශමයකින්වත් කරදරයක් නොවන ලෙස තියාගන්නයි වෙහෙසෙන්නේ.

ගමන් බිමන් යනකොට මේ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්.

වාහනයක බේබි කා කැරිය(ර්) එකක වගේම ගෝ කාඩ් එකක සිඟිත්තා වාඩිකරවා මෙය පලඳා තබන්න පුළුවන්. එමඟින් පහසුවෙන් නිදාගන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි දුර ගමන්, විශේෂයෙන්ම විදෙස් ගතවන අවස්ථාවක දී කශේරුකාවේ ආරක්ෂාවට වැඩිහිටියකුට වුණත් ට්‍රැවල් පිලෝ එකක් විදියට මෙය භාවිත කරන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

තනි පැහැති හෝ මුද්‍රිත රෙද්දක්

පැඩිං හෝ පුළුන්

ගැළපෙන වර්ණ නූල්

පතරොම් සැකසීමට අවශ්‍ය දේවල්

නිර්මාණය කිරීම

අප මෙම නිර්මාණයට පතරොම් සකසා ගැනීමට පහසුවන ආකාරයේ දළ සටහනක් මිමි සමඟ ලබා දී තිබේ. එම රූප සටහනේ පෙනෙන ආකාරයට දී ඇති මිමි අනුව පතරොම සකස් කර ගන්න. ඉන්පසුව එම පතරොම භාවිතකර තනි පැහැති හෝ මුද්‍රිත රෙදි කැබැල්ල ගෙන කොටස් දෙකක් කපා ගන්න. දැන් එම කොටස් දෙක ගෙන හොඳපිට දෙක මුහුණට මුහුණ සිටින සේ එක උඩ එක තබාගෙන රූප සටහනේ දැක්වෙන ආකාරයට අඟල් 4ක පමණ විවරයක් තබා ගනිමින් වටේට ම මසාගන්න. ඉන් අනතුරුව විවරයෙන් හොඳ පිට හරවා පැඩිං හෝ පුළුන් පුරවා ගන්න. ඉන්පසුව විවරය ක්‍රමානුකූලව ඇතුළට නමා අතේ මසා නිර්මාණය අවසන් කරගන්න. මෙම නිර්මාණයට පොඩිත්තන් ආසාකරන ලෙස සත්ත්වයන්, මල් ආදී හැඩයන්ට ද මසාගත හැකියි.

 

2019/07/03 තරුණි බලන්න