දුක දිනා ජීවිතය ජයගත් අනුරාධපුර චන්ද්‍රිකා

සැප්තැම්බර් 25, 2019

“සාර්ථකත්වයේ කුලුනු පරාජිතය.” මේ කියමන යථාර්ථයක් බවට පත් කළ දිරිය කතුන් නම් කොතෙකුත් සිටීද? අනුරාධපුරය එසේත් නැතිනම් වැව් බැඳී රාජ්‍යයෙන් අපට හමු වූ එවැනි දිරිය ගැහැනියකි චන්ද්‍රිකා කුමාරි අලහකෝන්.

ඇගේ දෙනෙතේ දුක් කඳුළු පුරවා ගනිමින් ගෙවූ අතීතය සැබෑම අඳුරු යුගයකි. අද සතුටු කඳුළු හෙළනුයේ ඇය සතු වූ අප්‍රතිහත උත්සාහයේත්, කැපකිරීමේත් මහඟු ගුණයෙනි

“මම උපන්නේ මාතලේ. අපේ ගම බොහොම සුන්දරයි. අයියලා, අක්කලා සමඟින් ගෙවුණු පුංචි සන්ධියත් එතරම්ම සොඳුරුයි. අපි ගොවිතැන් බත් කළ පවුලක්. කවදාවත් අඟහිඟතා දැනුණේ නැහැ. ඒත් මේ සියලු සැප සම්පත් විවාහයෙන් පසුව ගිලිහී ගියා.

යෝජනාවකින් විවාහ දිවියට ඇතුළු වූ මා කැන්දාගෙන ගියේ අනුරාධපුරයේ තලාවට. රාජ්‍ය අංශයේ සිවිල් සේවයේ නියුතු ඔහු සැබැවින්ම යහපත් ආදරණීය සැමියෙක්. අපි ජීවත්වුණේ සැමියාගේ මහ ගෙදරමයි. පවුලෙ කට්ටිය වැඩියි. අඟහිඟතා එමටයි. ඒ නිසා ඔවුන් ආර්ථික අතින් ගොඩාක් පිරිහිලා හිටියේ.

ඒ ගෙදරට නිතරම ණයකාරයෝ එනවා. මේක මට පුරුදු දෙයක් නෙමෙයි. ගෙවල් දොරවල්, ඉඩකඩම් උගස් කරලා. මේවා දැනගත් මම පුදුම විදිහට අසරණ වුණා. නැවත ගෙදර යන්න හිතුණ වාර අනන්තයි. ඒත් විවාහයක් කඩාගෙන ගෙදර යාම ගැහැනියකගේ හපන්කම නොවන බව මා වටහා ගත්තා. අන්තිමේදී ඒ මහගෙදර පාලනය මගේ අතට ගත්තා. උගසට තැබූ කුඹුරු අස්වැද්දුවා. ලැබුණ අස්වැන්නෙන් ටිකෙන් ටික ණය බේරුවා.

යල මහ කන්න මමම ගොවිතැන් කළා. අනෙක් කාලවලදී රෙදි සහ පන්වලින් බෑග් මැහුවා. මුල්ම බෑගය විකුණුවේ රුපියල් 250 කට. මට මෙය ව්‍යාපාරයක් විදිහට කරන්න ඕනවුණා. ඊට පස්සෙ අනුරාධපුරයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට ගිහින් ඉඡ්ච් එකේ සහය ලබා ගත්තා. වියන බෑග්, ගොතන බෑග්, ඉටි බෑග් පුරුදු වුණා.

බෑග් නිර්මාණවලට ඉල්ලුම ආවත් නිෂ්පාදනයට යොදවන්න මුදල් තිබුණෙ නැහැ. ඉඡ්ච් එකෙන් ණය මුදලක් ලබා ගෙන ඒ මුදලින් අමුද්‍රව්‍ය ගත්තා. ඇත්තටම එදා විවාහ වෙලා ඒ ගෙදරට ආපු මම අද ඉන්න තැන දුටුවාම මටම පුදුමයි. මේ දියුණුව මගේ උත්සාහය නිසාමයි. ඉඡ්ච් එකක් සෙවණැල්ල වගේ හැමදේකදීම මට පිළිසරණක් වුණා.

මෝටර් බයිසිකලයක්, ත්‍රීවිලයක්, ට්‍රැක්ටර් එකක් මිලදී ගත්තා. “නිසල්යා බෑග් සෙන්ටර්” නමින් මගේ ව්‍යාපාරය රජයේ ලියාපදිංචි කළා. එහි දැන් සෙරෙප්පු නිෂ්පාදනයත් කරනවා. මේ සියලු නිෂ්පාදන අනුරාධපුරය, දඹුල්ල, මාතලේ නගරවල වෙළෙඳසල්වලට ලබා දෙනවා. ඒවා දැන් ගොඩක් ජනප්‍රියයි. ඇය සැබැවින්ම ආදරණීය බිරියක්, සෙනෙහෙබර මවක් වගේම සාර්ථක ව්‍යවසායිකාවක්.

ජීවිතයේ අන්තයටම වැටී කර කියාගන්න දෙයක් නොමැතිව ළතැවෙන බොහෝ දෙනාට ඇය පරමාදර්ශී චරිතයක්. තරුණී ඉඡ්ච් විශේෂාංගයේ අරමුණත් ඔබටත් ශක්තිමත් ආර්ථිකයක් සහිත හෙටක් උදාකිරීමයි.

 

2019/09/25 තරුණි බලන්න