වාස්තු බලද්දී බිරිය ගැනත් හිතන්න

ජූලි 14, 2025

 

නිවෙසක් හදන්න වගේම මහන්සියෙන් ගොඩනඟාගත් නිවෙස ලස්සනට පවත්වා ගන්නත් එහි ජීවගුණය රැකගන්නත් ගොඩක් මහන්සි වෙන්නේ ගෘහමූලික කාන්තාවයි.

 

ගෘහමූලිකයාට සීහුම් කොට ගෘහයක් ඉදිකළද එම ගෘහය පරිහරණය කිරීමේදී වැඩි බලගැන්වීමක් ඇතිවන්නේ ගෘහහිමි කාන්තාව සමඟයි. නූතනයේ ආර්ථික රටාව නිසා කාන්තාව ද කිසියම් වෘත්තියක නියැළුණ ද අතීතයේ ගෘහ හිමි කාන්තාව දවසේ පැය 24ම ගත කළේ ගෘහය සමඟයි. එසේ වුවද ගෘහ හිමියාට වඩා වැඩි කාලයක් නිවෙස හා ගැටීමක් කාන්තාව සමඟ සිදුවන බව පෙනී යනවා. මේ නිසා නිවෙසක පවතින දෝෂවල අයහපත් බලපෑමත්, වාස්තු සිද්ධාන්ත එකතුවීම නිසා හටගන්නා යහපත් බලපෑමත් වැඩිපුරම දැනෙන්නේ කාන්තාවටයි. එබැවින් ගෘහයක් සීහුම් කිරීමේදී නැතිනම් බලගැන්වීමේදී ගෘහ හිමියාට මෙන්ම කාන්තාවටත් ගැළපෙන ලෙස සීහුම් කළ යුතුයි.

 

නූතනයේදී බොහෝ වාස්තු ශිල්පීන් ගෘහයේ නැකත ගැළපීමේදී ගෘහමූලිකයාට පමණක් එම නැකත ගැළපීම සිදු කරනු ලබනවා. මෙය මූලික ශිල්පීය මූලධර්මයක් වුවද ගෘහ හිමි කාන්තාවට බලගැන්වීම නොකළ යුතු යැයි කියා වාස්තු ශිල්පය තුළ සඳහන් වී නැහැ.

 

මේ නිසා ගෘහ හිමියාට මෙන්ම ගෘහ හිමි කාන්තාවට ද ගෘහය සීහුම් කළ යුතු බව ප්‍රායෝගික තත්ත්වයක්. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ඔබගේ ගෘහය ගෘහණියට නිසියාකාරයෙන් බලගැන්වී නොතිබීමෙන් සිදුවන අයහපත් තත්ත්ව මොනවාද යන්න සහ ඔබගේ ගෘහය ගෘහ හිමි කාන්තාව නිසි පරිදි බලගන්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබව දැනුම්වත් කිරීමටයි.

 

සීහුම් කරනවා කියන්නේ කුමක්ද? වාස්තු ශිල්පය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට පළමුව කියා දෙන්නම් සීහුම් කරනවා කියන්නේ කුමක්ද කියා. මෙය සරලව ප්‍රකාශ කළහොත් බලගැන්වීම ලෙස හඳුන්වන්න පුළුවන්. විවාහ අපේක්ෂිත දෙදෙනාගේ ජන්ම පත්‍ර ආශ්‍රයෙන් පොරොන්දම් බලා කේන්දර ගැළපුවේ යම් සේද ඒ ආකාරයටම ඔබගේ ජන්ම නැකත හා නිවෙසේ නැකත එකට ගළපා ගුණදොස් විමසා ඔබට ගැළපෙන පරිදි ඔබගේ ගෘහයේ නැකත සකස් කර ගැනීම සිදු කළ යුතුයි. එසේ ඇතිවන බලගැන්වීම සීහුම් ලෙස හඳුන්වනු ලබනවා. මෙම සීහුම් වීම යහපත් මෙන්ම අයහපත් වීමට ද ඉඩ තිබෙනවා.

 

වාස්තු ශිල්පය තුළදී ගෘහයේ නැකත (ශක්තිය) සමඟ ඔබගේ ජන්ම නැකැත (උපන් ශක්තිය) එකට ගළපන්නේ ඉතා යහපත් හොඳ සීහුම් කිරීමක් ලබා ගැනීම සඳහායි.

 

යහපත් සීහුම් බල නැකත්

පරම මෛත්‍රී

මෛත්‍රී

සම්පත්

සාධක

 

අයහපත් සිහුම් බල නැකත්

ජන්ම

වධ

විපත්

ප්‍රත්‍යාධාරි

 

මෙලෙස පෙන්වා දී ඇති සීහුම් බල ගැන්වීම ඔබගේ ජන්ම නැකත සහ ගෘහයේ නැකත එකට එකතු වූ විට සිදුවිය හැකියි. එහිදී ඔබ සෑමවිටම යහපත් නැකතකට සීහුම් කර ගැනීමට වගබලා ගත යුතුයි. එසේම ගෘහ මූලිකයාගේ නැත්නම් ඔබගේ ස්වාමියාගේ සීහුම් බල නැකතට සාපේක්ෂව ඔබත් සීහුම් බල නැකත ඉතා යහපත් කර ගත යුතුය.

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී
නිරංගා බාලසූරිය