ලංකාවේ උපන් දියණියක් නෝර්වේ පාර්ලිමේන්තුවට

කම්සි ගුණරත්නම්
ඔස්ලෝහි වර්කර්ස් යූත් ලීගයේ නායිකාව වන අතර එහි මධ්‍යම මණ්ඩල සාමාජිකාවක ද වෙයි.
සැප්තැම්බර් 22, 2021

කම්සි ගුණරත්නම් ලක් දෙරණේ ඉපදුණ ද ඇගේ ජීවිත ඉරණම ලියැවී තිබෙන්නට ඇත්තේ උපන් බිමේ නොවේ. ඒ නිසාම අද දවසේ දී ඇය අපට හමුවන්නේ නෝර්වේ රාජ්‍යයේ දේශපාලනයේ නියැළෙන තරුණ කාන්තාවක ලෙසිනි.

ලොව කොතැනක හිටියත් උපන් බිමේ නම බබළවන්නට හැකි නම් එය ද තමා උපන් දේශයට කරන ගෞරවයකි. ඉතින් අපි කතා කරමු නෝර්වේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මේ ලාංකික දියණිය ගැන.

කම්ෂාජිනී ගුණරත්නම් 1988 මාර්තු 27 වැනිදා උපදින්නේ ලංකාවේ උතුරු කෙළවරේ පිහිටි යාපනයේ දී ය. එකල මෙරට වර්ගවාදී යුද ගැටුම් ඇරැඹි මුල් යුගයයි. ඒ නිසාම යාපනයේ හිඳි බොහෝ දෙනකු තම දරු පවුල් පිටින් විදේශ ගතවන්නට විය. කම්සි නෝර්වේ රටට යන්නේ වයස අවුරුදු තුනේ දී වර්ගවාදී යුද්ධයෙන් බැට කෑ සරණාගතයකු හැටියට මාපියන් සමඟිනි. නෝර්වේ රටට සංක්‍රමණය වන මේ දරු පවුල උතුරු නෝර්වේ හි ධීවර කර්මාන්තයේ නියැළෙන්නට පටන් ගනී. ඉන් වසර කිහිපයකට පසු ඔස්ලෝ වෙත පැමිණෙන ගුණරත්නම් පවුල තම දියණිය කම්සි හා පුතු දමිළ පාසලකට ඇතුළත් කරයි. පසුව ඇය ඔස්ලෝහි දමිළ තරුණ සංවිධානය සමඟ සම්බන්ධ වෙයි. මෙහිදී ඇයට පාලක නගරාධිපති රේමන්ඩ් ජොහැන්සන් මුණගැසෙයි. ඔහු ඇයව දේශපාලනයට සම්බන්ධ වනලෙස දිරිමත් කළේය. දේශපාලනයට සම්බන්ධ වීමත් සමඟ ඇයට තම උපන් බිමට නැවත පැමිණීම තහනම් වෙයි.

පසුව ඇය ඔස්ලෝ විශ්ව විද්‍යාලයෙන් සමාජ භූගෝල විද්‍යාව හැදෑරුවාය.

ඇය ප්‍රගතිශීලී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවේශයක් නියෝජනය කරන කම්කරු පක්ෂයේ සාමාජිකාවක් වෙමින් තම දේශපාලන දිවිය ඇරැඹීය. ඇය එහි තරුණ සංවිධානයේ ප්‍රධාන තනතුරු රැසක් හොබවමින් තම දේශපාලන දිවිය මුවහත් කරගත්තාය.

2007 අවුරුද්දේ දී ඇය ප්‍රථම වතාවට ඔස්ලෝ නගර සභාවේ නියෝජිතවරියක ලෙස තේරී පත් විණි.

2011 ජුලි 22 වැනි දින ඇයට අවුරුදු 23 දී ඇය ඌටියා දූපතේ පැවති කම්කරු පක්ෂයේ තරුණ කඳවුරකට සහභාගි වී සිටිය දී ප්‍රහාරයකට ලක් විය. එහිදී 69 දෙනකු මියගිය අතර කම්සි දිවි බේරාගත්තේ ට්‍රිෆ්ජෝර්ඩන් විල හරහා මීටර් 500 ක දුරක් පිහිනා යෑමෙනි. මේ සිදුවීම වාර්තා සිනමා සිත්තමක් ලෙසින් මේ වසරේ දී තිරයට පැමිණියාය. කම්සි ද එයට රංගනයෙන් දායක වී ඇත.

කම්සි ගුණරත්නම් ඔස්ලෝහි වර්කර්ස් යූත් ලීගයේ නායිකාව වන අතර එහි මධ්‍යම මණ්ඩල සාමාජිකාවක ද වෙයි. එම තරුණ ලීගයෙන් ප්‍රකාශයට පත්කරන සඟරාවේ කර්තෘවරිය වන්නේ ද ඇයයි.

2012 හා 2013 වසරවල දී ඇය නෝර්වීජියානු ජාතික පුවත්පත් වන ඩග්බ්ලැඩෙට් හි හා ඩග්සාවිසන් හි තීරු ලිපි රචිකාවක ද වූවාය. ඇය ජාතිවාදයට එරෙහි මත දරණ තරුණියකි.

2015 ඔක්තෝබරයේ දී ඇය ඔස්ලෝහි උප නගරාධිපතිනිය ලෙස වැඩ භාර ගත්තාය.

2018 වන විට ඇය තම නම් වූ කම්ශාජිනී ගුණරත්නම් යන්න කම්සි ගුණරත්නම් ලෙස වෙනස් කර ගත්තාය. නෝර්වේ වැසියන් ඇය හඳුනන්නේ එනමිනි. කම්සි ගුණරත්නම් විවිධ ජනවාර්ගික පසුබිම්, දේශපාලන මතයන් සහ ආගමික විශ්වාසයන් කෙරෙහි පුළුල් ඉවසීමකින් කටයුතු කරන කාන්තාවක් ලෙසින් ප්‍රකටය.

පසුගිය දා පැවැති නෝර්වීජියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජොනාස් ගාහ් ස්ටෝර්ගේ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළේය. එම පක්ෂය නියෝජනය කරමින් කම්සි ද පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. ඇය නෝර්වීජියානු පාර්ලිමේන්තුවට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයාය.

 

තොරතුරු අන්තර්ජාලයෙනි