පුංචි පුංචි සිහිනවලින් ලොකු සිහිනය සැබෑකර ගන්න

ජූලි 10, 2019

පුංචි පුංචි සිහිනවලින්

ලොකු සිහිනය සැබෑකර ගන්න

කිෂූ ගෝමස්

අරුත්බර ජීවිතයකට මඟ කියන්නට හදවතත් බුද්ධියත් ආමන්ත්‍රණය කරන කථිකාවන් ගොඩනඟන්නන් අතරේ දී කිෂූ ගෝමස් මහතා සුවිශේෂී චරිතයක් වේ. “සොඳුරු පවුල් ජීවිතයක්” පිළිබඳ මාහැඟි ඔවදන් පෙළක් තරුණී පත් ඉරුවක් මතටත් ගෙන එන්නැයි අපි ඔහුට ඇරුයුම් කළෙමු.

විවාහ බැම්මෙන් කැදැල්ලකට එකතුවන කාගේත් සිහිනය සොඳුරු පවුලක් ගොඩනඟා ගැනීමයි. ඒත් පවුලේ සොඳුරුකම නොසිතූ නොපැතූ ලෙස අතුරුදන්වීම අද සුලභ ප්‍රවණතාවක් වෙලා. ඇතැම් විටෙක හීන පුරා ගොඩනැඟූ පවුලේ සොඳුරුකම විතරක් නොවෙයි පවුලත් ඉහිරී යනවා.

පවුලක් සොඳුරුවීම සඳහා පවුල පවත්නා පසුබිම හේතුවනවා. අද පවුලේ සොඳුරුකමට විනකටින්නේ ඉටුකර ගැනීමට නොහැකි වාණිජමය අවශ්‍යතා බව පැහැදිලියි. මේ වාණිජමය අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වුණාම නොයෙකුත් මතභේද - කලකිරීම් ඇතිවෙනවා. ගෙදර පවුල සොඳුරු නැතිවුණාම නිවෙසින් බාහිර සොඳුරු දේවල් සඳහා නිතැතින්ම ආකර්ෂණයක් ඇති වෙනවා. මුහුණදෙන කටුක ජීවන රිද්මයෙන් මිදෙන්නට පුංචි පුංචි පෙලඹවීම් ඇතිවෙනවා. මෙය මනුෂ්‍යයන් විදිහට අප අත්දකින සැබෑම ධර්මතාවක් බව සුපැහැදිලියි.

පවුලේ සොඳුරුකම රැක ගැනීමට නම් අප කළයුත්තේ කුමක්ද? මේ ඔබේ සිතට ඊළඟට නැඟෙන ප්‍රශ්නයයි. සැබැවින්ම පවුලේ සොඳුරුකම රැක ගැනීමට නම් ඔබ කළයුත්තේ වාණිජමය වශයෙන් සාර්ථකවීමයි. දරුවන්ට අවශ්‍ය දෑ සැපයීමට හැකිනම්... හිතේ හැටියට පවුලේ අය වෙනුවෙන් ආහාර පාන සැපයිය හැකිනම් පවුලේ අයට කැමැත්ත අනුව හැඩවැඩ වී මංගල උත්සවයකට යා හැකිනම්...

මෙවැනි දහසක් අවශ්‍යතා තුටින් සපුරාගත හැකි වූ වාණිජමය සාර්ථකත්වයක් ඇත්නම් ඔබට ජීවිතය සොඳුරුයි දැනේවි.

2019/07/10 තරුණි බලන්න