හිතුවක්කාරකමට නිවෙසින් පැනගොස් සිරබත් කන ගැහැනියක්

සැප්තැම්බර් 2, 2020

කරන්න දෙයක් නැහැ දුවේ උඹව මට අතහරින්න වෙනවා

ගැහැනිය ස්වභාවයෙන්ම ලද බොළඳය. පුංචිම දෙයටත් ඇස් දෙකේ කඳුළු පුරවාගනී. දැවී අළුවී යන තරමේ සුසුම් හෙළයි. විටෙක ප්‍රේමයෙන් බැඳෙයි. ප්‍රේමයෙන් පරාජිත වූ විට දින, සති, මාස, අවුරුදු ගණන් නොව ජීවිත කාලයම හඬා වැටේ.

වරදක් කළවිට ඒ ගැන සියදහස්වරක් පසුතැවේ. වැරැදුණේ කොතැනදැයි සිතා එය නිවැරැදි කරගන්නට උත්සාහ දරයි. එහෙත් ඒ කිසිවක් නැති ගැහැනුන් ද මේ සමාජයේ දී අපට හමුවේ. වයස අවුරුදු පනහකට ආසන්න මේ ගැහැනියද එවැනි කෙනෙකි. මා ඇගෙන් ආගිය තොරතුරු විමසුවා පමණි. ඇය සියල්ල කීවේ කටපාඩම් කරගෙන සිටියා සේය. මේ ඇගේ කතාවයි. කතාව කියවන්නට පෙර එක් දෙයක් කියන්නම්. ඔබ මේ කතාව හොදින් කියවන්න. ඒත් කිසි විටෙකත් ඇගේ ක්‍රියාකලාපය ආදර්ශයට නොගන්න.

“ළමයෙක් වුණාම කියන දෙයක් අහන්න ඕන. දවසක් ද? දෙකක් ද? නෑ. දන්න දවසේ ඉඳලා කියනවා කියන දේ අහලා හැදෙන්න කියලා. අකුරක් ඉගෙන ගන්න උත්සාහයක් නැහැ. උඹ හින්දා මට අනිත් එකීවත් හදාගන්න බැහැ. මං පුළුවන්කමකට දුක් විඳිනවා නෙමෙයි. කරන්න දෙයක් නැහැ දුවේ. උඹව මට අතහරින්න වෙනවා.”

ඒ තමයි තාත්තා මට අවවාද කරපු අවසාන වතාව. තාත්තා සාලේ හාන්සි පුටුවේ ඉඳගෙන අවවාද කරනකොට අම්මා අනෙක් පුටුවක වාඩිවෙලා ඇස්දෙකේ කඳුළු පුරෝගෙන බලාගෙන හිටියා. නංගි හිටියේ අම්මගෙ කකුල් දෙක ගාව වාඩිවෙලා. ආච්චි අම්මා හූල්ල හූල්ලා හිටියා මතකයි. මම හිටියේ උළුවස්සට හේත්තු වෙලා. ඇත්තම කිව්වොත් මං ඒ වෙලාවෙදිවත් ඒ අය කියන කිසිම දෙයක් කනකට ගත්තේ නැහැ. මං ඒ හැමදේම විහිළුවකට ගත්තා. මේ දේවල් වෙනකොට මම හිටියේ ඉස්කෝලේ එකොළහේ පන්තියේ. විභාගයට මාස කිහිපයක් තියෙන්න ඇති.

ගැමි පරිසරයක හැදුණ වැඩුණ මම කොහොම දඩබ්බරකාරියක් වුණාද මන්දා. මගෙ අම්මා හරිම අහිංසක ගැහැනියක්. තාත්තා ලී මෝලක වැඩ කෙරුවා. එයා සැප වින්දේ නැති බව මම හොඳටම දන්නවා. ඒත් මොන කරුමයක්ද මන්දා මට මගේ ගෙදර මිනිස්සු ගැන දුකක් දැනුණෙම නැහැ. අම්මා මාව හොඳ ළමයෙක් කරන්න උත්සාහ ගත්තා. බැරිම තැන තමයි ඒගොල්ලෝ මාව අතහැරියේ. එහෙම අතහැරියේ මං අම්මගේ මාලේ හොරකම් කරලා යාළුවකුට දුන්න දවසේ. යාළුවෙක් කිව්වට එයා මගෙ වයසේ කෙනෙක් නෙමෙයි. මට වඩා අවුරුදු අටක් විතර වැඩිමල් ඇති. අපි දෙන්නා අඳුන ගත්තේ පන්සලේදි. මං එයාට කිව්වේ ශ්‍යාමලී කියලා. ශ්‍යාමලී අපේ ගමේ කොල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා. එයාගේ ගෙදරින් ඒ මංගල්‍යයට කැමැති වුණේ නැහැ. මම තමයි ඒ දෙන්නා අතර පණිවුඩ හුවමාරු කළේ. දවසක් ශ්‍යාමලී මට කිව්වා එයා අර කොල්ලත් එක්ක යනවා. ඒත් සල්ලි නැහැ කියලා. මං දිව්වා මම දෙන්නම් කියලා. එදා රෑ මම අම්මගෙ අල්මාරියේ තිබුණ මාලේ හොරෙන් ගත්තා. පහුවදා ඉස්කෝලේ යන ගමන් ශ්‍යාමලීට දුන්නා. අම්මා දවස් දෙකකට පස්සේ මඟුල් ගෙදරක යන්න මාලේ හෙව්වා. මගෙන් ඇහුවාම මම දන්නේ නෑ කිව්වා. ඒත් නංගි ඒක මම ගන්නවා දැකලා තිබුණ නිසා මට අම්මාගෙන් ගැලවෙන්න බැරි වුණා.

මගේ කපටි වැඩ නිසා ගෙදර අයට මාව එපා වුණා. මට ඒගොල්ලෝ ගැනත් හැඟීමක් තිබුණේ නැහැ.

විභාගය ලියන්න සති දෙකක් විතර තියෙද්දී මට හිතුණා ගෙදරින් පැනලා යන්න ඕන කියලා. කවුරුවත් එකපාරටම මං කෙල්ලෙක් කියලා අඳුන ගත්තේ නැහැ. ඒ කාලේ මම කෙට්ටුයි. කොණ්ඩය කොටට කපලා හිටියේ. බැලූ බැල්මට මං ගැහැනු ළමයෙක් කියලා හිතාගන්න පුළුවන් කිසිම අංග ලක්ෂණයක් මට තිබුණේ නැහැ. අඩුම තරමේ මගෙ කනේ කරාබු දෙකක්වත් තිබුණේ නැහැ.

එක දවසක් මම ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ආවේ නැහැ. සුදුගමුව මඟදි ගලවලා කොට කලිසමක් ටී ෂර්ට් එකක් ඇඳලා යාළුවකුට දුන්නා පොත් ටිකයි සුදු ගවුමයි ගෙදරට දෙන්න කියලා. යාළුවා ඇහුවට කොහෙද යන්නේ කියලා මම එයාට යන දිහාවක් කිව්වේ නැහැ. ඇත්තම කිව්වොත් යන්නේ කොහෙද කියලා මටවත් අරමුණක් තිබුණේ නැහැ. මගෙ අතේ සල්ලි තුබුණේ නැහැ. මම පාර දිගේ ගියා. ටවුමට ගියා. ඒ වෙනකොට මට හරිම බඩගිනියි. පාරේ හිටිය මහත්තයා කෙනකුගෙන් මම කන්න දෙයක් ඉල්ලුවා. ඒ මහත්තයා මට රුපියල් සීයක් දුන්නා. මම කඩේකින් බනිස් ගෙඩියක් කාලා තේ එකක් බිව්වා. හවස් වෙනකොට ටවුමේ මිනිස්සු අඩුවුණා. මගෙ හිතට බයක් දැනුණේ නැහැ. මට කොළඹ යන බස් එකකට නැග්ගා. මගෙ අතේ තිබුණේ රුපියල් පනහක් විතරයි. බස් එකට සෙනඟ පිරෙනතුරු ඉඳලා මං ආයෙත් බිමට බැස්සා. කිහිප දෙනෙක් ගාවට ගිහිල්ලා අතපෑවා. රුපියල් 200 ක් විතර එකතු වුණා. ඊට පස්සෙ මම ආයෙත් බස් එකට නැඟලා කොළඹ ආවා.

බස් එක කොළඹට එනකොට එළිවෙලා. මං ඊට ඉස්සෙල්ලා කවදාවත් කොළඹට ඇවිත් තිබුණේ නැහැ. යන්නේ කොහෙද මොනවද කරන්නේ කියලා මට දැනීමක් තිබුණේ නැහැ.

“ළමයා කොහෙද මෙහෙ යන්නේ” වැඩිහිටි කෙනෙක් මගෙන් ඇහුවා.

“අම්මව මඟ හැරුණා.” මං බොරුවක් කිව්වා. එහෙම කියලා මං බස් හෝල්ටෙක අයිනේ වාඩිවුණා.

“ඒයි කොල්ලෝ මෙහෙ වරෙන්.” හිඟන මිනිහෙක් මගෙ දිහා බලලා කතා කළා.

“උඹ කාලද ඉන්නේ. ඉඳා මේ පාන් කෑල්ල කාපං.”

ඒ මිනිහා දික්කරපු පාන් කෑල්ල මං අතට ගත්තේ නැහැ. ඒ මිනිහගෙ කිළුටු අත දැක්කම මට අප්පිරියා හිතුණා. එහෙට මෙහෙට වෙවී දවසක් දෙකක් ගතවෙලා ගියා. දවසක් මට බඩගින්න ඉවසන්න බැරිව ගියා. මං පලතුරු ලෑල්ලකින් ඇපල් ගෙඩියක් හොරකම් කෙරුවා. ඊට කලිනුත් මං එහෙම කරලා තිබුණා. ඒත් එදා අහුවුණා. මිනිස්සු දෙන්නෙක් මගෙ පස්සෙන් එලෙව්වා. මම පුළුවන් තරම් හයියෙන් දිව්වා. ඒත් බේරෙන්න බැරි වුණා. උන් මට හොඳටම ගැහුවා. මම ආයෙමත් බස් හෝල්ට් එකේ මුල්ලක ගුලිවෙලා නිදා ගත්තා. ඒ වෙලාවේවත් මට හිතුණේ නැහැ ගෙදර යන්න ඕන කියලා.

“ඉඳා කොල්ලෝ ඇඟේ අමාරුව යන්න මේක ඇදපන්.”

 

 

2020/09/02 තරුණි බලන්න