වළක්වා ගත හැකි රෝගයකින් දිවි හැර ගිය ක්‍රිෂ්ණා

අගෝස්තු 1, 2022

 

මිහිමත අපට වඩා කිසිවකු නැතැයි සිතූ මිනිස් වර්ගයා කුඩා වයිරසයකට යටත්ව සති මාස ගණන් නිවෙස් තුළට වී හුදෙකලාව සිටි මෑත අතීතයක් අප සතුය. ලොව පුරා දහස් ගණනක් ජීවිත කෝවිඩ් හමුවේ අහිමිව ගියේය. බැල්මෙන් වදන්වලින් රැවුම් ගෙරවුම්වලින් පවා අනෙකා පරයා නැගී සිටීමට තැත් කළ සත්ත්ව කොට්ඨාශයක් තම සමීපතමයාගේ සුසුමකට පවා බියෙන් ඇකිලී යමින් හිඳයහ.

 

ලෙඩ දුක් යනු ජීවිතයේ තවත් අංගයක් යැයි සිතන්න හුරුව සිටි මා ද ඇතුළු ලෝකවාසී සෞඛ්‍ය සේවකයන් ජීවිත අවදානමකට මුහුණ දී හිඳියෙමු. තවද එය මුළුමනින්ම පහව ගොස් නැත. පෙරදී අපට තිබුණේ අන් අයගේ ජීවිත උදෙසා සටන් කිරීම වුවද අද අපි, අප වෙනුවෙන් ද අපගේ සේවාලාභියා වෙනුවෙන් ද සටන් කළ යුතු වෙමු.

විවිධ රටවල් විවිධ ඖෂධ හා එන්නත් නිපද වූවද නියම සටන් සගයා තවම බිහිව නැත. මේ කලබලය හරිහමන් බෙහෙතක් නැති වසංගතයක් නිසාය.

නමුදු චිරාත් කලක සිට නිට්ටාවට සුවකරන ඖෂධ තිබුණ ද නො දැනුවත්කම හෝ වෙනත් හේතු නිසා රෝග වාහකයන්ව මියයන්නෝ ද බො‍ෙහාමයකි. මේ ඉන් එක් කතාවකි. අවුරුදු විසි හතරක ඉතිහාසයක් මෙයට තිබේ. මේ දුක, මේ කඳුළ අවුරුදු විසි හතරක් පුරා මගේ හිත රිදවමින් තිබේ. මතුවටත් එය එසේමය.

ඒ 1998 වසරයි. මා සිසු හෙදියකි. වාට්ටු අංක 49 මා අනුයුක්තව සිටි වාට්ටුවයි. එකල මා ඉතා කෙසඟ, කළුම කළු පාට, කිලෝ විසි අටක් බරැති කැත කෙල්ලකි. මා සමඟ සිටි සගයා ලස්සනම ලස්සන ප්‍රබෝදාය. බොහෝ වාට්ටුවලට එකට වැටුණු අප දෙදෙනා ඕනෑම කැත කුණක් හිරිකිතක් නැතිව ඇල්ලීමට හුරුව

සිටියෙමු. පාරේ දමා ගොස් කවුරුන් හෝ වාට්ටුවට ගෙනත් අරලින යාචකයාගේ සිට අතක් බරට කෑම ඔසවාගෙන ගෙදරින් බලන්න එන අය දක්වාම සියලු රෝගීන් අපට සමාන අය විය.

නමුත් ඇතැම් වයසක රෝගීන් විශේෂිතය. ඔවුන් රස කතා මලුය. එපමණක් නොවේ. පොඩි මිසීලා එනතෙක් වාට්ටුවේ දොර දෙස දෑස් දල්වා බලා සිටින්නේ ද ඔවුන්ය. එලෙස හමුවූ එක් රෝගියෙකි ක්‍රිෂ්ණා. ක්‍රිෂ්ණා ක්ෂය රෝගියකු වූ අතර ප්‍රතිකාර නොගත් ඔහු ඉතා අසාධ්‍ය මට්ටමක සිටියේය. ඔහුගෙන් රෝගය අන් අයට ව්‍යාප්ත වීම වැළැක්වීමට වාට්ටුවේ කොනේ ඇඳක් ඔහුට වෙන්කොට තිබිණි.

මගේත් ප්‍රබෝදාගේත් ප්‍රියතම රෝගියා වූයේ ඔහුය. දෙදරු පියකු වූ ඔහු ජීවිකාව ලෙස කරේ තැඹිලි විකිණීමයි. කළුතර බෝධිය අසල තැඹිලි කරත්තයක් ඔහුට තිබිණි. බිරිය දරු පවුල හැර ගොස් තිබූ අතර මේ මිනිසාගේ හිත පතුරු ගසමින් තිබුණේ ඔහු නැති කල දරු දෙදෙනාට වනුයේ කුමක්ද යන පැනයයි. දිනෙක උදෑසන ඔහුගේ මුහුණ කට සෝදා මාත් මගේ සගයාත් ක්‍රිෂ්ණා ට තේ එකක් සාදා දුනිමු. මඳකින් රෝගියා වමනය කළ අතර අප දෙදෙනාගේ සුදු ගවුම් පුරා ලේ කැටිති මිශ්‍ර වමනය විසිර ගියේය. “අනේ මට සමාවෙන්න පොඩි මිසීලා” දුබල හඬින් ඒ මිනිසා මිමිණු අතර “අපට මේක හෝදගන්න පුළුවන්” අපි දෙදෙනා එක්වරම කීවෙමු. ක්ෂය රෝගියකුගේ කෙළ, සෙම, සොටුවලින් නැහැවී වුවද එසේ කීමට අපට හැකි විය. ඒ හෙදකම විසින් අප සිත් තුළට පොම්ප කරමින් තිබූ රෝගීන් හමුවේ කුමන අවස්ථාවක වුවද නොසැලී සිටීමේ හැකියාවයි.

සිදුවූ අකරතැබ්බය හෙදි සොයුරියට දන්වා අපි දෙදෙනා හෙද විදුහලට දිව්වෙමු. විදුහල්පතිනිය හමුවීමු. වහාම නාගන්නා ලෙසත් ඇඳුම හැකිනම් ඉවත දමන ලෙස හෝ තද උණු වතුරේ විසබීජ නාශකවල ගිල්වන ලෙසත් උපදෙස් ලැබිණි. අද මේ වනතුරුත් අප දෙදෙනාගෙන් එකකුටවත් ක්ෂය රෝගය හැදුණේ නම් නැත.

ටික දිනකින් අසරණ ක්‍රිෂ්ණා ජීවිතය හැරදා ගියේය. ඉන් වසර විසි හතරකට පසුව ද මම තවමත් නම් ගම් පමණක් දත් ඒ මිනිසා වෙනුවෙන් දුක් වෙමි. නොදුටු අසරණ ළමුන් (ඔවුන් දැන් මවුපියන්ව ඇති) වෙනුවෙන් දුක් වෙමි. එය වළක්වා ගත හැකි මරණයක්ව තිබිණි. ක්ෂය රෝගයට ඖෂධ තිබේ. නමුත් ඒ දුප්පත් මිනිසා එය නොදැන සිටියේය. තවමත් බොහෝ අය ලැජ්ජාවට මෙවන් රෝග වසන් කරති. DOT ප්‍රතිකාර ක්‍රමය ගැන ද නොදනිති.

කෙතරම් වියහියදමක් වුව දරන, නොමිලේ වෙදහෙදකම් දෙන සෞඛ්‍ය සේවාවක් අප සතුය. නමුත් නො දැනුවත්කම නිසා තවමත් බොහෝ අකල් මරණ සිදුවේ. අප ආමන්ත්‍රණය කළ යුත්තේ, පියවිය යුත්තේ මේ නො දැනුවත්භාවයේ හිඩැසයි. එසේ නොවනතාක් බෙහෙත් ඇති නැති බොහෝ රෝග වසංගතයන් වීම වැළැක්වීම හීනයකි. COVID 19 වසංගතයක් වූයේත් නො දැනුවත්කම හා වසං කරගෙන සිටීමේ මානසිකත්වයන් නිසාය.

රාජකාරි ජීවිතයේ කවරදාකවත් නොවූ තරමට කෝවිඩ් හමුවේ අප ද අසරණව හිඳියෙමු. නමුත් සටන අත් නො හැරියෙමු!

 

 

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි

ලක්මාලි ධර්මවංශ ලියයි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.