තරුණියක සතු ගෞරවය රැක ගන්න

සැප්තැම්බර් 19, 2022

 

අපට අසන්නට දකින්නට ලැබෙන බොහෝ දේ ඇත. ඉන් ඇතැම් ඒවා සිතට ගෙන දෙන්නේ කලකිරීමකි. ඇතැම් දේ සිතට ශෝකය දනවයි. තවත් දේ සිතට ගෙන දෙන්නේ සතුටකි. මේ කුමනාකාරයේ දේ වුවත් ඒ හැම දේකින් ම අපට ගත හැකි ආදර්ශ, උගත හැකි පාඩම් ද ඇත. ඇතැම් සිද්ධි අප සුළුවෙන් තැකුව ද එවැනි දෙයින් අපගේ ජීවිතයට හෝ චරිතයට නැතිනම් සමාජයට කරන බලපෑම සුළුපටු නැත.

 

මා දුම්රියට ගොඩ වූයේ කාර්යාලය බලා යාමටයි. සෙනඟින් පිරි දුම්රියේ දොරකඩ අසල නව යොවුන් තරුණියන් තිදෙනෙක් මහ හඬින් කතා කරන දෙසට නෙත් යොමු වූයේ ඔවුන්ගේ හැසිරීම නිසාම ය. ඔවුන්ගේ වයස අවුරුදු 20 හෝ ඊට අඩු විය යුතුය.රතු පැහැ බ්ලවුසය යටකොට ඩෙනිම් කලිසමක් හැඳ කොණ්ඩය හිස මුදුනට වන්නට ගැට ගැසූ යුවතිය සිටියේ දුම්රියේ දොරට බර දීගෙන ය. මෙය පවර්සෙට් දුම්රියක් වූ බැවින් හා ඇය කිසිවක් අල්ලාගෙන නොසිටි බැවින් දුම්රියේ තද ගැස්සීමක් සිදු වුවහොත් එළියට විසිවීම වැළැක්විය නො හැකිය. එසේ ඇය එළියට විසි වුවහොත් දොර අසල සිටින තවත් තරුණයන් දෙදෙනකු ද අවදානමකට ලක් වේ. මේ තරුණියගේ හා ඇගේ යෙහෙළියන්ගේ හැසිරීම එම දුම්රිය මැදිරියේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී ඇති බව දෙනෙත් එහෙ මෙහෙ යැවූ විට මට පසක් විය. එසේ ඔවුන් අනෙක් අයගේ අවධානයට පාත්‍ර වූයේ ඔවුනගේ අසෝබන කතාබහ සහ හැසිරීම හේතුවෙනි. 'කොහොමද බං ඊයේ මැච් එක'

'අඩෝ පට්ට නේ..'

'මේ බලපං මේකා කාටද ඕනේ.. අවංකව කියහං අදහස්..' ලෙස පවසන රතු හැට්ටකාරිය තම ගෙල වටා දමාගෙන සිටින හෑන්ඩ් ෆ‍්‍රී එකේ වයරය ද සමඟින් ජංගම දුරකථනයේ තිරය එහෙ මෙහෙ කරයි. තම යෙහෙළියන්ට ජංගම දුරකථනයේ වූ තරුණයකුගේ රුවක් පෙන්වමින් හපන්කමක් කරන විටෙක මෙන් අවට සිටින්නන් තමා දෙස බලා සිටිනවාදැයි නෙත් ඔසවා බලයි. ඇගේ නෙත් හා සමව මාගේ දෙනෙත ද වටපිටාව වෙත යොමු විය.

ඒ අවට සිටි වැඩි දෙනෙක් පිරිමින් වුවද මේ යෞවනියන් දෙස බැලුවේ ජුගුප්සාවෙනි. කැපී පෙනීම උදෙසා මහ හඬින් කතා බහ කරමින් යන ඔවුනගේ කතා බහ දුම්රිය මැදිරියේ සිටි අනෙක් පිරිසගේ සිත්හි නොමනාපයක් ඇති කිරීමට සමත් බව පෙනිණි.

තරුණ විය කෙළිලොල් ය, දඟකාරය, සුන්දරය. එය සැබෑවකි. එහෙත් තමාගේ හැදියාව ද තබාගෙන ඒ සුන්දර විය දඟකාර බවින් වින්දනය කිරීමට තරුණ ඔබට හැකි විය යුතුය. අනවශ්‍ය අවදානම් ගැනීම වීරකමක් නොවන බවත්, තම ජීවිතය තමාට පමණක් නොව, මාපියන්ට හා තම පවුලේ අයට ද අයත් බවත් සිතිය යුතුය. ඔබේ ජීවිතය ඔබට අයිති බව සත්‍යයකි. නමුත් ඔබ වටා සිටින්නන් ද ඔබේ ජීවිතය හා බැඳී පවතී. ඇතැම්විට ඔබේ නො සැලකිලිමත්කමකින් ඔබ අසල සිටින තවත් අයකුගේ හෝ කිහිප දෙනකුගේ ජීවිත ද අවදානමට ලක්විය හැකියි.

අනෙක් කරුණ වන්නේ පොදු ප්‍රවාහන සේවාවක යන එන විට තමාගේ පෞද්ගලික වාහනයක යන ආකාරයට හැසිරීම එතරම් හොඳ දෙයක් නොවේ. පොදු ප්‍රවාහනයක් භාවිත කරන විට නිතරම එහි ගමන් ගන්නා අනෙක් මඟීන්ට හිරිහැරයක්, අපහසුවක් නො වන සේ ගමන් කළ යුතුය. බස්රිය හෝ දුම්රිය තමාගේ පවුලේ බූදලයක් මෙන් සැලකීම සුදුසු නොවේ. ඒවා ශ්‍රී ලාංකික සියලුම ජනතාවට අයත් බැවින් අනෙක් මඟීන්ට ද ඔබට ඇති අයිතියම ඇත.

බලා සිටින්නන්ට විහිළුවක් හෝ ජුගුප්සාජනක දසුනක් නොවී, තම ගැහැනුකම හෑල්ලුවට ලක් නො කොට ජීවිතය විඳීන්නැයි තරුණ වියට පා තබන හිරිමල් යොවුන් වියේ සිට තරුණ විය විඳීන සෑම සොයුරියකගෙන්ම ඉල්ලා සිටිමි. අපට හිමි තැන අපම ලබා ගත යුතුය. එහෙත් එය සුදුසු තැන විය යුතුය.