විනාඩි 10කින් හිමිවීමට තිබූ ගුවන් නියමු තනතුර සියොළඟ පුපුරා ගිය දෝංකාරය

නේපාල ගුවන් නියමු සිහිනය බොඳ වූ නියමුවරියගේ කතාව
ජනවාරි 23, 2023

 

ගෙවී ගිය සතියේ අපගේ අසල්වැසි රටකින් අසන්නට ලැබුණේ ශෝචනීය පුවතකි. ඒ නේපාල රාජ්‍යයේ සිදුවූ දරුණුතම ගුවන් අනතුරයි. වසර 30කට පසු නේපාලයේ සිදුවූ දරුණුතම ගුවන් අනතුර බව මෙය ජාත්‍යන්තර වාර්තාකරුවන් අනාවරණය කළේ සමස්ථ ලෝකයම කම්පා කරමිනි. මේ ගුවන් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 68කි. එසේම මේ ගුවන් යානයේ සහාය නියමුවරිය කාන්තාවක් වීම විශේෂත්වයකි.

 

වයස අවුරුදු 44ක් වූ අංජු කාතිවාධා නම් ඇය ඉතාම දක්ෂ සහාය නියමුවරියක් විය. මේ සියල්ලටම වඩා වැදගත්ම සිදුවීම වන්නේ කතිවාධාට ප්‍රධාන නියමුවරියක් වීමේ සිහිනය සැබෑ කරගන්නට තත්පර දහයක් තිබියදී අහිමි වන්නේ මේ ඓතිහාසික ගමන් වාරය අවසානයත් සමඟිනි.

නේපාලයේ යෙටී ගුවන් සමාගමට අයත් මේ යානයේ සහාය ගුවන් නියමුවරියක ලෙස ඉතා දක්ෂ ලෙස යානය ධාවනය කළ ඇය නේපාලයේ සෑම ගුවන් පථයකම හොඳින් ධාවනය කර දස්කම් දක්වා තිබුණු අතර හැම ගුවන්තොටුපොළකටම ඇය තම යානය හොඳින් ගොඩබස්වමින් තම කුසලතාවය පෙන්වා තිබුණි.

 

ඇයට ප්‍රධාන ගුවන් නියමුවරියක ලෙසින් බලපත්‍රය ලබා ගැනීම සඳහා පැය 100ක ගුවන් ගමන් කාලයක් අවශ්‍යව තිබුණි. එම කාලය සම්පූර්ණ කිරීම සඳහා දහසක් වූ බලාපොරොත්තු සිත්හි දල්වාගෙන ඇය මේ ගුවන් ගමන ආරම්භ කර ඇත්තේ ජීවිතයේ ඇය අපේක්ෂා කළ ලොකුම හීනය සැබෑ කර ගැනීමේ අපේක්ෂාවෙනි.

කතිවාධාගේ ගුවන් නියමුවරියක වීමේ සිදුවීමද අනපේක්ෂිත වූ ඉරණම් ගමනකි. එම ඉරණම් චාරිකාව හා ඇයගේ ජීවා චාරිකාව ද ඉතාම අවාසනාවන්ත ලෙසින් නිමාවට පත් වන්නේ සමස්ථ නේපාලයම කම්පනයට පත් කරමිනි. අන්ජු කතිවාධාගේ සැමියා වූ දීපන් ජොක්රෙල් ද සහාය ගුවන් නියමුවරයකු ලෙස සේවය කර ඇත්තේ ඇය සේවය කළ යෙටි ගුවන් සමාගමේම ගුවන් යානයකය. ඔහුද මීට වසර 16කට පෙර ටිවින් ඔටර් ප්‍රොප් වර්ගයේ ගුවන් යානයක් ධාවනය කරමින් සිටියදී අනතුරට පත්වී ඇත්තේ ඔහු ගුවන් නියමු කුටියේ කටයුතු කරමින් සිටියදීමය. 2006 ජුනි මාසයේදී සිදුවූ එම ගුවන් යානා අනතුරින් නේපාලයේ බටහිර ප්‍රදේශයේ පිහිටි ජුම්ලා නගරයට සහල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදී මේ අනතුරින් යානයේ සිටි නවදෙනාම අවාසනාවන්ත ලෙස අළු වී පුපුරා ගියේ මුළු රටම කම්පනයට පත් කරමිනි.

 

කුඩා බිලිඳු දරුවකු සමඟ තම ජීවිත ගමන ආරම්භ කිරීමට සිහින දකිමින් සිටි තනිවඩාට තම සැමියාගේ වියෝව කම්පනයට පත් කළේය. එයින් මහත් සේ වේදනාවට පත් ඇය එයින් මිදීමේ අපේක්ෂාවෙන් ගුවන් නියමුවරියක වීමේ සිහිනය දකින්නේ ඉන් පසුවය. එම ඉලක්කය ජය ගැනීමට ඇය මහත් කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව සේවය කළේ මහත් උනන්දුවෙනි. වසර හතරකට පසු ඇය නියමුවරියකගේ පුහුණුව සම්පූර්ණ කරමින් ඇමෙරිකාවේ වැඩිදුර පුහුණුවක් ලැබුවාය. නියමුවරියක් වීමට අවශ්යර සුදුසුකම් ලැබීමෙන් අනතුරුව යෙටි ගුවන් සේවයට ඇය බඳවා ගැනුණේ තවත් ගුවන් නියමුවරියන් හයදෙනෙකුත් සමඟිනි. මේ අවාසනාවන්ත අනතුර හමුවේ ජීවිතක්ෂයට පත්වනවිට ඇය පැය 6,400කට ආසන්න කාලයක් ගුවනේ පියාසර කර තිබුණේ දක්ෂ ලෙස යානය හසුරුවමිනි.

 

අනතුර සිදුවන මොහෙතේදී ඇය තනිවම තම ගුවන් යානය ධාවනය කර තිබූ බව යෙටි ගුවන් සමාගමේ නිලධාරියකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ ඇයගේ සේවය, කැපවීම, අධිෂ්ඨානය හා දක්ෂතාවය ඉහළින් අගය කරමිනි.