අපේ අරමුණ සංචාරක කර්මාන්තය දියුණු කිරීමයි

උපුලි -චමලි අලුත් කටයුත්ත ගැන කතාකරයි
පෙබරවාරි 6, 2023

 

මෙලොව සියලුම බැඳීම්වලට වඩා රුහිරු බැඳීම් ඝනකම් බව කියැවේ. මවුපිය, දූ දරු බැඳීම් මෙන්ම සහෝදර, සහෝදරියන් අතර පවත්නා බැඳීම් ශක්තිමත් වන්නේ ඒ නිසාමයි. එක් මවුකුසය දෙකට බෙදාගෙන එකවර මෙලොව එළිය දකින නිවුන් දරුවන්ගේ බැඳීම ඊටත් වඩා ශක්තිමත්ය.

 

එකම හැඩ රුව, පැහැය සේම බොහෝවිට මේ නිවුන් දරුවන්ගේ ගතිගුණ, සිතුම් පැතුම්, දක්ෂතාවයන් ද එක හා සමානය. එවන් අපූරු නිවුන් යුගලයක් වූ උපුලි ගමගේ සහ චමලි ගමගේ තරුණී අපට අමතක කළ නොහැකියි. ඔවුන් මෙරට බිහි වූ එකම නිවුන් සංවිධානය වූ ‘ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘවරියන්‘ ය.

ජූලි මාසයේ මෙරට දී පැවැත්වීමට සූදානම්වන ‘ලෝක නිවුන් දින උළෙල‘ට සමගාමීව ‘ලෝක නිවුන් රූප රැජින සහ කඩවසම් නිවුන් යුගලය තේරීමේ තරගාවලියක් පැවැත්වීමට සූදානම් වේ. ඒ පිළිබඳ තොරුතුරු පවසන්නට ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ සභාපතිනි උපුලි ගමගේ මෙලෙස අප හා එක් වූවාය.

ඉතින් උපුලි කියන්නකෝ මේ ලෝක නිවුන් දින උළෙල පැවැත්වෙන්නේ කවදද කියලා.

‘2023 වසරේ ලෝක නිවුන් දින උළෙල ජූලි 24 වැනිදා සිට 31 දක්වා සතියක කාලයක් පැවැත්වීමට අප සූදානම් වෙනවා. ‘

 

ඒ කියන්නේ සතියක් පුරා පැවැත්වෙන උත්සව මාලාවක්.

“ඔව්. අපි උත්සව කිහිපයක්, ස්ථාන කිහිපයකදීම පවත්වන්නයි සැලසුම් කරගෙන යන්නේ. ඒ අනුව, ජූලි - 25 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ලෝක නිවුන් සංස්කෘතික උළෙලත්, ජුලි - 26 නෙළුම් පොකුණ රඟහලේ දී ලෝක නිවුන් රූප රාජන තරගයත්, ජුලි - 27 මහනුවර දී ලෝක නිවුන් මහා සම්මේලනයත්, ජූලි - 28 මහනුවරදීම ලෝක නිවුන් ව්‍යාපාරික සමුළුවත් පැවැත්වෙනවා. ඊට පස්සේ ජුලි 28, 29 දෙදින තුළ අපේ උළෙලට සහභාගීවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් මෙරට සුන්දර ස්ථාන නැරඹීමේ චාරිකාවක් සූදානම්කර ඇති අතර ජූලි 30 වැනිදා කොළඹ දී පැවැත්වෙන සංගීත ප්‍රසංගයෙන් තමයි මේ උත්සව මාලාව අවසන් වෙන්නේ.‘

 

මෙහි ආකර්ෂණීයම අංගය එහෙමත් නැතිනම් අපේ රටේ තරුණ තරුණියන්ට වඩා වැදගත්වන්නේ ලෝක නිවුන් රූප රැජන සහ නිවුන් කඩවසම් යුගලය තේරීමේ තරගාවලිය

‘දැනටමත් මේ තරග සඳහා බොහෝ විමසීම් ගලා එනවා. පෙබරවාරි මස 12 වැනිදා සිට මුලික තරග වට පැවැත්වෙන නිසා සුරුපී තරුණ නිවුන් ප්‍රජාවට ඒ සඳහා සහභාගී විය හැකියි.

මෙහිදී ලෝක නිවුන් රූප රැජන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තරග වැදීම සඳහා නිවුන් රූප රැජිනයන් යුගල තුනක් සහ කඩවසම් නිවුන් යුගල තුනක් තෝරා ගැනෙනවා. එහි අවසන් තරගය මැයි මස 28 වැනි දින පැවැත්වීමට සූදානම්.‘

 

මේ උළෙල සඳහා විශාල විදේශීය නිවුන් සංචාරකයන් පිරිසක් සහභාගි වේ යැයි ඔබ සිතනවාද?

‘ඇත්තටම. අපේ ලෝක නිවුන් දින උළෙල සංවිධානය කිරීමේ අරමුණ වන්නෙත් සංචාරක කර්මාන්තය නඟා සිටුවීම. රටක් විදිහට අප මුහුණදෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ පුංචි හෝ සවියක් වීමයි මෙහි අරමුණ. මොකද මේ උළෙල නැරඹීමට ලෝක නිවුන් ප්‍රජාව සහ නිවුන් නොවන විශාල විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ජනමාධ්‍ය නියෝජනයන් ද අප රටට පැමිණීමට නියමිතයි.‘

 

ශ්‍රී ලංකා නිවුන් සංවිධානය ගැනත් අපි කතා කරමු.

‘මම සහ චමලි නිර්මාතෘත්වයෙන් පටන් ගත් මේ නිවුන් සංවිධානයේ දැනට සාමාජික සංඛ්‍යාව 28000ක් ඉක්මවනවා. ලංකාවේ දිස්ත්‍රික්ක 24 පුරාම විහිදී ගිය මෙහි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාතීන් සියල්ලන්ම නි‍යෝජනය වෙනවා. අපේ සංවිධානයට සම්බන්ධ වීමට හෝ මේ තරග සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන නිවුන් ඔබට [email protected] හරහා වැඩි විස්තර ලබාගත හැකියි.