පළමුවෙනි දවසේ දැනුණු හැඟීම තාමත් එහෙමමයි

ප්‍රවෘත්ති නිවේදිකා රෝෂිණි විජේසූරිය
මාර්තු 20, 2023

 

රෝෂිණී විජේසූරිය කියන්නේ කාගේත් ආදර ගෞරවයට පාත්‍ර වෙන දක්ෂ නිවේදන ශිල්පිනියක්. සුමති සම්මාන උළෙලේ 2021 වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකා සම්මානය හිරු නාළිකාවේ සේවය කරන ඇයට හිමි වුණා. ඉතින් මේ සම්මාන ලාබී දක්ෂ නිවේදන ශිල්පිනිය ගැන සමාජ මාධ්‍ය තුළින් නිරන්තරයෙන්ම කාගේත් කතා බහට ලක්වෙනවා.  නිරන්තරයෙන්ම හිරු නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට දැකගන්න ලැබෙන අපේ ආදරණීය නිවේදන ශිල්පිනිය මේ වන විට ආදරණීය පුංචි පුතකුගේ සෙනෙහබර මවක්ද වනවා. ඉතින් ඇයගේ තොරතුරු තරුණී සමඟ බෙදා ගත්තේ මේ විදිහටයි.

 

සුමති සම්මාන උලෙළේදී 2021 වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව වෙන්න ලැබුණේ ඔබට...

ප්‍රවෘත්ති නිවේදිකාවකට තියෙන ලොකුම සතුට තමයි මේ හොඳම නිවේදිකාව වීමේ සම්මානය. මට හිරු ආයතනයෙන් ඒ සාර්ථකත්වය ලබා ගන්න ලොකු උදව්වක් වුණා. ආයතනය වගේම මගේ පවුලේ අයත් ගොඩක් සතුටු වුණ අවස්ථාවක් ඒක.

 

මේ ගමන එන්න පාසල් ජීවිතයත් ඔබට පිටිවහලක් වන්නට ඇති..

 

මම පාසල් ගියේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයට. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවේ. උසස් පෙළ කරන කාලයේදී මට ආසාවක් තිබුණා ලියන මාධ්‍යට සම්බන්ධ වෙන්න. ඒ කාලේ පුවත්පත්වලට කවි, නිසැඳැස් ලිව්වා. පත්තරයකට ලියන්න පුළුවන් කෙනෙක් වෙන්නයි ලොකුම හීනය වුණේ. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරිනියක්. උපාධිය කරන කාලේ ගුවන් විදුලි නාළිකා කිහිපයකටත් සම්බන්ධ වෙලා හිටියා. ඊට පසුවයි ප්‍රවෘත්ති නිවේදිකාව කියන භූමිකාවට පිවිසුණේ.

 

ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමේ ආරම්භය කොතැන ද?

 

ලංකාවේ මාධ්‍ය නාලිකාවක් තිබුණා මැක්ස් ටීවී කියලා. එහිදී තමයි මම මුලින්ම ප්‍රවෘත්ති කිව්වේ. ඊට පස්සේ සිරස නාලිකාවේ News 1st හි වසර 5ක් සේවය කළා. ඉන්පසුවයි හිරු නාලිකාව සමඟ වැඩ කළේ. අවුරුදු 11ක කාලයක සිට මා හිරු සමඟ වැඩ කරනවා.

 

පළමු වරට නිවුස් කියපු දවස මතක් වෙද්දි මොකද හිතෙන්නේ?

 

මම නිවුස් කියන්න අරන් අවුරුදු 20ක් ගත වෙලා තිබුණත් මුල් වරට නිවුස් කියද්දි ඇති වුණ හැඟීම අදටත් ඒ විදිහටම දැනෙනවා. මොකද රටක් ඉදිරියේ නිවුස් කියනවා කියන්නේ ලොකු වගකීමක්. එක වචනයක් එහා මෙහා වුණොත් ආයතනයට සහ රටට වන හානිය සුළුපටු නැහැ. අදටත් ප්‍රවෘත්ති මැදිරියට  ගියාම ඒ තිගැස්ම දැනෙනවා.

 

ප්‍රවෘත්ති නිවේදනයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න

නවකයින්ට දෙන උපදේශය

මොකක් ද?

 

ප්‍රවෘත්ති නිවේදනයේදී භාෂාව හැසිරවීම සම්බන්ධව ලොකු අවබෝධයක් තිබිය යුතුයි. ප්‍රවෘත්ති කියන්නේ ගොඩක් අය වැඩි වෙලාවක් අහගෙන ඉන්න අකැමැති දෙයක්නේ. ඒ නිසා ඔවුන්ගේ අවධානය රැදෙන පරිදි එය ඉදිරිපත් කරන්න දැනුමක් තියෙන්න ඕනේ. හැදෑරීමක් කර ආවොත් මේ ක්ෂේත්‍රය තුළ ලොකු වටිනාකමක් ලැබේවි.

 

මේ ගමන එන්න පවුලෙනුත් ලොකු සහයෝගයක් ලැබෙන්න ඇති..

 

මම විවාහකයි. සැමියා පබසර රෝහණ. ඔහු මාධ්‍ය ආයතනයක සේවය කරනවා. මට අවුරුදු 10ක පුතෙක් ඉන්නවා. නැන්දම්මාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ පවුලේ අයත් මට උදව් කරනවා මේ ගමන යන්න.

 

ඇගේ තවත් රස බර තොරතුරු දැන ගන්න tharunie යූ ටියුබ් නාළිකාවට පිවිසෙන්න.