වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
හුස්මෙන් චිත්‍ර අඳින ලෙෂිනිගෙ ජීවිතේ
ජීවිතෙත් හරියට මහ මුහුද වගේ. වෙලාවකට මහ මුහුද වගේ ජිවිතෙත් හරි නිශ්චලයි. හැබැයි මහ මුහුද වගේම ජීවිතයටත් කුණාටු හමනවා. ඒ කුණාටු හැමදාම තියෙන්නෙත් නැහැ. නරකම කුණාටු වුණත් කාලෙත් එක්ක සැර බාල වෙලා නැති වෙලා යනවා. ඒ වගේ තමයි ජීවිතේට ප්‍රශ්න එනවා. ඒත් ඒ ප්‍රශ්නවලට අභියෝග කරන්න පුළුවන්නම් ඒක තමයි ධෛර්ය කියන්නේ. ජීවිතය දිනන්න නම් මොන බාධකය ආවත් හිතේ හයිය තියෙන්නම ඕනෙ. ගාල්ල කොට්ටව පදිංචි ලෙෂිනි තත්සරණි කියන්නෙත් ඒ වගේ හිත හයිය කෙල්ලෙක්. එයා සිත්තරාවියක්.
හැබැයි එයා චිත්‍ර අඳින්නේ හුස්මවලින්. පෙණහලුවල පවතින රෝගී තත්ත්වයක් නිසා එයාට හුස්ම ගන්න වෙලා තියෙන්නේ පිටතින් ගන්න ඔක්සිජන්වලින්. ඒක එහෙමයි කියලා එයා ආස කරන දේවල් කවදාවත් නතර කළේ නම් නැහැ.
Wow art with lesi ටික් ටොක් එකවුන්ට් එකට හරි අපූරු චිත්‍ර ඇඳලා ටික් ටොක් දාන ලෙෂීව දැන් නොදන්න කෙනෙක් නැහැ. ඒ චිත්‍ර පිටිපස්සේ තියෙන්නේ වෙනමම ලොකු කතාවක්. එයා ඒ කතාව කියන්න පටන් ගත්තේ මේ විදිහට...
මම පොඩි කාලේ ඉඳලම චිත්‍ර අඳිනවා. සාමාන්‍ය පෙළ විභාගය දක්වා මම විෂයයක් විදිහට චිත්‍ර කළා. උසස් පෙළ විභාගයට මම ජීව විද්‍යාව අංශයෙන් පෙනී හිටියෙ. උසස් පෙළ විභාගය කරන කාලයේදී විනෝදාංශයක් විදිහට මම චිත්‍ර අඳින්න නැවත පටන් ගත්තා. මම පාසල් ගියේ ගාල්ල අනුලා දේවි විද්‍යාලයට.
පෙන්සිල් පෝට්රේට් අඳිනවා. වෝටර් කලර්ස්වලින් අඳිනවා. එතකොට පෑන්වලිනුත් චිත්‍ර අඳිනවා. ඒ විදිහට මම හැම මාධ්‍යයකින්ම විවිධ ආකාරයේ චිත්‍ර අඳින්න උත්සාහ කළා. ඉතින් මට හැම මාධ්‍යයක්ම එක වගේ පුළුවන්. මම වැඩිපුරම ඇබ්ස්ට්‍රැක්ට්ක් පේන්ටින් අඳින්න ආසයි.
සෝෂල් මීඩියා එකෙන් ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
මම මුලින්ම හැදුවේ ෆේස්බුක් එකවුන්ට් එකක්. ඊටපස්සේ ඉන්සටර්ග්‍රෑම්. අන්තිමට තමයි මම ටික් ටොක් හැදුවේ. මම ටික් ටොක් කරන්න අරන් ටික කාලයයි. හැබැයි ඒ ටික කාලයේදී
මගේ චිත්‍රවලට ලොකු ප්‍රසිද්ධියක් ඒ හරහා ලැබුණා. දියසායම් වලින් ඇඳපු ශනුද්‍රිෙග් චිත්‍රයට තමයි ගොඩක්ම ප්‍රතිචාර ලැබුණේ. ඊට පස්සේ ඒ විදිහටම ඉන්දියානු නිළි සමන්තාගේ චිත්‍රයකුත් ඇන්දා. ඒකක් වයිරල් වුණා.
දැන් ලෙෂිනිට සුවයි ද?
මේ අසනීප තත්ත්වය මට පොඩි කාලේ ඉඳලම තිබ්බා. Rheumatoid arthritis කියලා සන්ධි සම්බන්ධ රෝගයක් වැලඳුනා. මට ඒ රෝගය තියෙනවා කියලා දැනගත්තේ අවුරුදු අටේදී. පාසල් කාලේදී මම ඒ ලෙඩෙන් සෑහෙන පීඩා වින්දා. මට ඇවිදින්න පවා බැරි වුණා. ප්‍රතිකාර දිගටම ගත්ත නිසා රෝගය පාලනය කරගන්න පුළුවන් වුණා. බෙහෙත් ගන්න අතරෙදි ඇති වුණ අතුරු ආබාධයක් විදිහට මට හුස්ම ගන්න අපහසුතාවක් ඇති වුණා. හතිය වගෙත් තිබුණා. ඒත් ඒක ගැන වැඩිය හිතුවෙ නැහැ.. අන්තිමට බලද්දි පෙණහලුවලට හොදටම හානි වෙලා තිබුණා. දැන් මම දිගටම ඔක්ෂිජන් පිටින් ගන්නේ. තවම මේ ලෙඩේට ස්ථිර බෙහෙතක් හොයාගෙන නැහැ. හැබැයි පාලනය කරගන්න බෙහෙත් තියෙනවා.
දැන් මගේ පෙණහලුවල ඒ තත්ත්වය ගොඩක් දුරට පැතිරිලා තියෙන නිසා බෙහෙත්වලින් ලොකු සුවයක් ලබන්න බැහැ. ඒ තරමට පෙණහලු තන්තු ඝන වෙලා තියෙන්නේ. ගාල්ල කරාපිටිය හොස්පිටල් එකෙන් තමයි මම ප්‍රතිකාර ගන්නේ.
මේ අසනීපෙත් එක්ක හිත හයියකර ගත්තේ කොහොම ද?
දැන් මට තනියම ජොබ් එකක් කරගන්න පුළුවන් තත්ත්වයක් නැහැනේ. ඉතින් මම පීඩනයෙන් ඉන්න කාලේදී මම කළේ චිත්‍ර ඇඳපු එක විතරයි. ඇත්තටම මම හිටපු තත්ත්වය මුලදි මට දරාගන්න බැරි වුණා. මොකද මට අනිත් අය වගේ කිසිදෙයක් කරන්න බැහැනේ. මට ඇවිදින්න පුළුවන් පොඩි දුරක් විතරයි. අඩි කිහිපයක් ඇවිද්දත් මට හතිය එනවා. ගේ වටේ ඇවිද්දත් හරි මහන්සියි.
ඉතින් දුර ගමන් යන්නම බැහැ. ගෙදර තමයි ඉන්නේ. ඉතින් චිත්‍ර අඳින්න ගත්ත එක මගේ හිතට ලොකු සහනයක් වුණා.
ලෙෂිනිගේ වැඩවලට ගෙදරින් ලැබෙන සහය කොහොම ද?
මම කරන්නේ චිත්‍රය අඳින එක විතරයි. අම්මයි තාත්තයි අනිත් වැඩ ටික බලනවා. ඒ කියන්නේ සමහර අය මම අඳින චිත්‍ර ෆ්‍රේම් කරලා ඉල්ලනවා. ඒ ෆ්‍රේම් කරන වැඩටික අම්මයි තාත්තයි එළියට ගිහින් කරනවා. ගොඩක් ඕඩර්ස් කුරියර් කරලා යවන්න ඕනේ. ඉතින් ඒ හැමදේම ඒ දෙන්නා බලනවා. මට ඉන්නෙ අම්මයි, තාත්තයි, මල්ලීයි. තාත්තා විදේශ ගතවෙලා හිටියේ. මගේ අසනීප තත්ත්වයත් එක්ක තාත්තා ලංකාවට ආවා. මල්ලි තවම පාසල් අධ්‍යාපනය ලබනවා. එයා ඉන්නේ 8 වසරේ. මල්ලිටත් චිත්‍ර අඳින්න හොඳ හැකියාවක් තියෙනවා.
මුලින්ම ලැබුණු ඕඩර් එක මතක ද?
මගේ හොඳම මිතුරියක් තමයි පළමු ඕඩර් එක දුන්නේ. එයා පාසල් මිතුරියක්. එයා මට දුන්නේ පොඩි Portrait Paint එකක් කරන්න. ඒ මම උසස් පෙළ කරන කාලයේ. එයා ඒක දැකලා ගොඩක් සතුටු වුණා. මුදලකට කරපු පළමු චිත්‍රය ඒක. දැන් සෑහෙන අැණවුම් ලැබෙනවා. ඒත් මට ගොඩක් මහන්සි වෙන්න අමාරුයිනේ.. ඉතින් මාසෙට දෙක තුනක් වගේ ඕඩර්ස් වලට ඒවා මම අඳිනවා.
චිත්‍ර ඇඳලා සෝෂල් මීඩියා දාන්න හිතුවේ ඇයි?
මගේ අසනීප තත්ත්වය වැඩි වෙද්දි මට ඉස්කෝලේ යන්න බැරි වුණා. පන්ති යන්න බැරි වුණා. ඔන්ලයින් ක්ලාස්වලට විතරයි සහභාගි වුණේ. අම්මා කිව්වෙත් කොහොම හරි විභාගය කරන්න කියලා. මම අසනීපය ගැන හිතන නිසා මට පාඩම් කරගන්නත් බැහැ. ඒ වගේ තත්ත්වයකට පත් වුණාම දැනෙන දුක කොච්චරක්ද කියලා කියන්න බැහැ. ඉතින් පාඩම් කරන අස්සෙම මම චිත්‍ර ඇඳලා සෝෂල් මීඩියා දාන්න ගත්තා. ඉතින් මම ඒක දිගටම කරගෙන ගියා.
මේ ගමනට උදව් කළ පිරිසකුත් ඇති...
මගේ පවුලේ අය සහ මගේ පාසලේ මිතුරියන්ව මතක් කරන්න ඕනේ. මාත් එක්ක එකට ඉගෙන ගත්ත මිතුරියක් මාව නිතර දිරිමත් කරනවා. මම චිත්‍ර විෂයයක් විදිහට කළාට චිත්‍රවලට හරි පාර පෙන්නපු ගුරුවරියක් ඉන්නවා. Shashintha Dilhani Art කියන පේජ් එක කරන ගුරුවරියගෙන් මම ඔන්ලයින් ඉගෙන ගත්තා. ඉතින් එයා මට චිත්‍ර අඳින විවිධ ක්‍රම කියලා දුන්නා. අද මට මේ තරම් හොඳට චිත්‍ර අඳින්න පුළුවන් වුණේ ඒ ගුරුතුමිය නිසා.