වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
රෝද දෙකෙන් වෙරළ දිගේ රට වටේ ගිය යකඩ කෙල්ල
මීගමුව වෙරළ තීරය වෙනදාටත් වඩා නොසන්සුන් ය. හිරු බැස යන්නට ඉතිරිව තිබුණේ තවත් හෝරා කිහිපයකි. රක්ත වර්ණ අහසෙන් නැඟෙන ආලෝකයෙන් රන් පැහැ ගැන්වුණු මහ සයුරෙහි බිෙඳන රළ දෙස ඇය බලා සිටියේ කියාගත නොහැකි සතුටකිනි.
ඇය අතැති රන් පැහැ උස් කුසලානය තව තවත් පපුවට තද කර ගනිමින් ඈ දෑස් පියාගත්තේ ඒ දුෂ්කර ගමන ජයග්‍රණය කරමින් අවසන් කළ නිසාය. ඒ සතුට නිසාම ඒ ගමනේ වෙහෙසකර බව ඈ වෙතින් දිස් නොවුණි. ඈ පසෙකින් සිමෙන්ති කණුවකට හේත්තුකර තිබුණේ ඇගේ එකම ගමන් සගයායි.. ඒ ඇගේ පාපැදියයි.. ඇය ප්‍රතිනි සමරදිවාකර. ඇයත් මේ බයිසිකලයත් අතර තියෙන්නේ ලොකු කතාවක්. දවස් දොළහකින් මුළු ලංකාව වටේම ඇය ගියේ මේ බයිසිකලයෙන්. ඇය හීනයක් යථාර්ථයක් බවට පත්කර ගන්න කිලෝමීටර් 1450ක් දිගු පාපැදි ගමනක් අවසන් කළ දිරිය තරුණියකි.
"මම පොඩි කාලේ ඉඳලා හැම ගමනක්ම බයිසිකලෙන් තමයි ගියේ. ගොඩක් වෙලාවට ගැහැනු ලමයි ස්කූටරේනේ පදින්නේ. තරුණ ගැහැනු ළමයි ෆුට් සයිකල් එකෙන් ගමන් යනවා හරිම අඩුයි. බැංකුවට ගියත් කඩේකට ගියත් ඕනෙම තැනකට මම ෆුට් සයිකලෙන් තමයි යන්නේ. කිලෝ මීටර් 100ක් මෙහා පැත්තේ ඕනෙම ගමනක් යන්නේ මම ඒ විදිහට."
ඇයි ලංකාව වටේ මේ විදිහට යන්න ආසාවක් ආවේ?
ලංකාවේ රයිඩර් කෙනෙක්ට කොහේ හරි යන්න ආසාවක් ආවොත් ගොඩක් වෙලාවට මුලින්ම යන්නේ ලංකාව වටේ. ඕනෑම සයිකල් රයිඩර් කෙනෙක්ගේ හීනයක් තමයි ලංකාව වටේ යන එක. ඒ නිසයි මමත් ලංකාව වටේ බයිසිකලෙන් යන්න හිතුවේ.
ගණන් බැලුවොත් කිලෝමීටර් 1450ක් ලංකාව වටේ වෙරළ තීරයේ යන්න තමයි මම ගමන් මාර්ගය විදිහට තෝරගෙන තිබුණේ. මම ගමන පටන් ගත්තේ මීගමුව වෙරළ තීරයෙන්. මොකද මගේ ගෙවල් මිනුවන්ගොඩ. ගෙවල්වලට ආසන්නම වෙරළ තීරය නිසා මීගමුවෙන් පටන් ගත්තා. මම කලින්ම මේ ගමන සැලසුම් කරලා තිබුණේ දවස් 12කට.
ප්‍රතිනිගේ ගමන් මාර්ගය ගැන විස්තර කළොත්..
ඉතින් මම මීගමුවෙන් පටන් ගත්තා. මීගමුව ඉඳලා පුත්තලමට එනකම් ලොකු අපහසුවක් තිබුණේ නැහැ. සිරම්බිඅඩියේ ඉඳලා සාලිය වැව වෙනකම් කඳු ස්වභාවයක් තිබුණා. දැඩි අව් රශ්මියත් එක්ක තබ්බෝව වැව ළඟත් ටිකක් නතර වෙලා හිටියා. එදා නවාතැන වුණේ නොච්චියාගම. නොච්චියාගමට කිලෝමීටර් 155ක් වගේ තිබුණා. නොච්චියාගම මම විවේක ගත්තා. දෙවැනි දවස ඔයාමඩුව තන්තිරිමලය හරහා මන්නාරමට ගියා. එදා එහෙ මඩු මෑණියන්ගේ මඩු මංගල්‍යය තිබුණා. ඊළඟ දවසෙ මන්නාරම පුනරීන් හරහා සංගුපිල්ලි පාලමෙන් දාලා තමයි යාපනයට ගියේ. සිවුවැනි දවසේ මන්නාරම, කන්කසන්තුරය දඹකොළපටුන හරහා පේදුරුතුඩුවට ගියා. පේදුරු තුඩුවට යනකම් මාර්ගය තරමක් අපහසු වුණා. පේදුරුතුඩුව සංකොට්ටෙයි තුඩුවට ගිහින් ප්‍රදීපාගාරය සහ උතුරු කෙරවළේ තැපැල් පෙට්ටියත් බලාගෙන කොඩිකාමම් දෙසට ගියේ සුළඟේ වේගයත් එක්ක.
පස්වැනි දවස මිරිසුවිල් සිට අලිමංකඩ මුල්ලිවයික්කාල් හරහා මුලතිව් දක්වා පැමිණියා. අලිමංකඩ රණවිරු ස්මාරකයත්, හසලක ගාමිණී ස්මාරකයත් බලලා එතැනින් මම මුලතිව් පාරට දැම්මා. ධම්පූර්වලට කිට්ටුවෙද්දි බයිසිකලේ පැච් එකක් ගිය නිසා ඒ වැඩෙත් කර ගන්න වුණා. එදා නැවතුණේ මුලතිව් යුද හමුදා කඳවුරේ.
හයවැනි දවස මම පැද්දේ කෝකිලායිවලට. පුල්මුඩේ හරහා ත්‍රිකුණාමලයට ගියා. ඒ ගමන් මාර්ගයේදී හමුදා කඳවුරු ගණනාවක්, පාලම්, කඩොලාන පසුකරගෙන ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුවේ කන්දට බයිසිකලය පැද්දා.
හයවැනි දවසේදී චීන වරාය, කින්නියා, වෙරුගල්, වාකරේ, කල්කුඩා, ඔඩ්ඩමාවඩ්ඩි, වාලච්චේන, එරාවුර් හරහා මඩකලපුවට පැද්දා. අටවෙනි දවසේ මඩකලපුවෙන් පටන් අරගෙන අක්කරෙයිපත්තුව, පානම දක්වා ආවා. හරිම වියළි කාලගුණයක් තමයි තිබුණේ. කාත්තන්කුඩි, කල්මුණේ, සයින්දමරුදු, තිරුක්කෝවිල්, සංගමන්කන්ද, කෝමාරි, පොතුවිල් ආරුගම්බේ හරහා පානමට ආවා.
නවවැනි දවසේ ලාහුගල කැලේ පැත්තට පැද්දා. ඊට පස්සේ දවසෙ වැල්ලවාය, තණමල්විල, වීරවිල හම්බන්තොටට ගියා.
දොළොස්වැනි දවස ගාල්ලෙන් අරඹා හික්කඩුව, අලුත්ගම කන්දේ විහාරය පසුකර ගාලු මුවදොර හරහා මීගමුවට පැමිණියා. මම නිතරම උත්සාහ කළේ වෙරළ තීරය දිගේ යන්න.
නවාතැන් කටයුතු සලසා ගත්තේ කොහොමද?
ගොඩක් වෙලාවට නවතැන් පහසුකම් සලසා ගන්න වුණේ අපිටමයි. මොකද ඒ දුර පළාත්වල අපි අඳුරන දන්න කියන අය වැඩිය නැහැනේ. මේ කාලේ පවතින්නේ උණුසුම් දේශගුණයක් නිසා මම කලින්ම සැලසුම් කළා. ඉතින් හැමදාම උදේ 5ට වගේ තමයි පදින්න පටන් ගත්තේ. දවල් කෑම ගන්න වෙලාව එනකොට එදා දවසේ තියෙන ටාගට් එක මම ඉවර කළා. සාමාන්‍යයෙන් මම දවසකට කිලෝ මීටර් 120 - 130 අතර පැද්දා. ඒ හැම දවසකම දවල් දෙක වෙද්දි නවතින තැනට යන්න පුළුවන් වෙන විදිහටයි මම ප්ලෑන් කරලා තිබුණේ. මොකද ඊළඟ දවසේ බයිසිකල් පදින්න නම් විවේකයක් ඇඟට තියෙන්න ඕනේ. දැඩි උණුසුම තමයි ලොකුම බාධාව වුණේ.
ගැහැනු ළමයෙක් මේ වගේ දෙයක්න කරන එක ගැන ගෙදර අයගේ තිබුණේ මොන වගේ මතයක්ද?
මම සෝලෝ රයිඩර් කෙනෙක්. ඒ කියන්නේ තනියම පදින කෙනෙක්. ඉතින් මේ ගමනත් මම තනියම යන්නයි සැලසුම් කරලා තිබුණේ. හැබැයි ලංකාවේ සංස්කෘතිය තුළදී සාමාන්‍යයෙන් හැමෝම වගේ කියන දෙයක් තමයි ගැහැනු ළමයෙක් මෙහෙම තනියම ගමන් යන්න එපා කියන එක. ඉතින් මගේ මවුපියොත් කැමති වුණේම නැහැ මම තනියම යනවට. කැමැත්ත ගන්න හරි අමාරු වුණා. ගෙදරින් කෙනෙක් මාත් එක්ක යනවනම් විතරක් මේ ගමන යන්න එයාලා ඉඩ දෙනවා කිව්වා. ඉතින් තාත්තයි තවත් මල්ලි කෙනෙකුයි මේ ගමන යන්න මාත් එක්ක ආවා. එයාලා වෙනම වාහනයක ආවේ. මගේ ඇඳුම් සහ අවශ්‍ය දේවල් එයාලා ඒ වාහනයේ දාගෙන ආවේ. මම බයිසිකලේ පැදගෙන ගියේ. මම එයාලට වඩා හිමින් යන නිසා එයාලා මඟ නවත්ත නවත්ත තමයි ආවේ.
මේ ගමනේදී දුෂ්කරතාත් හමුවෙන්න ඇති..
පොලිස් සේවයේ මම අඳුරන මල්ලි කෙනෙක් හිටියා බුද්ධි ජයමාන්න කියලා. මාස දෙකකට කලින් ඒ මල්ලිට කියලා පෙර පුහුණුවක් කළා. ඒ මල්ලි මගේ ෆිට්නස් එක, පදින්න පුළුවන් දුර මගේ සෞඛ්‍ය තත්ත්වය ඒ හැමදේම එක්ක මේ ගමන යන විදිහ ප්ලෑන් කළා.
බයිසිකලය යද්දී හීට් එක වැඩියි. යාපනය මාන්නරම වගේ පැතිවල හොඳටම වැඩියි. ඒක තමයි බැරියර් එකක් වුණේ. ඒ නිසා ඒකට සූදානම් වෙලා ග්ලූකෝස්, ජීවනි වගේ දේවලුත් අරගෙන ගියා. මම සාමාන්‍යයෙන් ගිණි මද්දහනෙත් බයිකල් පැදපු කෙනෙක් නිසා.. මට ඒක ලොකු අපහසුවක් වුණේ නැහැ. සමහර අය කිව්වා අතරමඟ නවත්තලා විවේකයක් අරන් පදින්න කියලා. ඊට වඩා එක දිගට පදින එක තමයි ගොඩක් හොඳ කියලා. ගාල්ල ඉඳලා මීගමුව එද්දි වාහන තදබදය වැඩියි. ඒක හින්දා පොඩ්ඩක් කරදර තිබුණා.
ප්‍රතිනිගේ වෘත්තීය ගැන කතා කළොත්?
මම කැම්පස් එකෙන් අවුට් වෙලා ෆ්‍රීලාන්ස් රිසර්චර් කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ට්‍රැවල් ඒජන්සි කිහිපයක් එක්ක වැඩ කරනවා. සංචාරක කර්මාන්තය ඇසුරෙන් විදේශිකයන්ට ලබා දෙන්න පුළුවන් නව අත්දැකීම් හඳුන්වාදීමක් එහිදී කෙරෙනවා. ඊට අමතරව නෙදර්ලන්ඩ් එම්බසි එකෙන් ලන්දේසි බලකොටුව සම්බන්ධව කරන ව්‍යාපෘතියක සම්බන්ධිකාරකවරියක් ලෙසත් කටයුතු කරගෙන යනවා.
දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. ඊටපස්සේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයටත්, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ කැළණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව සම්බන්ධව විශේෂවේදී උපාධියක් ලබා ගත්තා.
ප්‍රතිනි පරිසරයට ගොඩක් ආදරය කරන කෙනෙක්..
ගිය අවුරුද්දේ දෙසැම්බර් 24 මම ගාලු කොටුවේ සෝලෝ ගාබේජ් ක්ලීනින් එකක් කළා. උදේ 6ට පටන් අරගෙන උදේ 10 වෙද්දි ඉවර කරනවා. ගාලු කොටුවේ කිලෝ මීටර් දෙකහමාරක පමණ ප්‍රමාණයක තියෙන කොටු බැම්ම තුළ තියෙන කුණු ඔක්කොම අස් කළා පැය කිහිපයක් ඇතුළතදී. මම පරිසරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. අනෙක් අයටත් දෙන ආදර්ශයක් විදිහටයි මම ඒක කළේ.
මුලින්ම බයිසිකලයක් පැදපු දවස මතකද?
5 වසර ශිෂ්‍යත්වය පාස් වුණාම තාත්තා මගෙන් ඇහුවේ මොනවද ඕනේ කියලා. මම කිව්වේ බයිසිකලයක් කියලා. තාත්තා තමයි මාව බයිසිකලයේ ඉන්දවලා බයිසිකලය පදින්න පුරුදු කළේ. එතැනින් තමයි මම බයිසිකල් පදින්න පටන් ගත්තේ.
මම රට වටේ බයිසිකලෙන් යන්න ඕනේ කිව්වම ගොඩක් අය හොඳ ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. ගොඩක් අය කිව්වේ ඒක වැඩක් නැති වැඩක් කියලා. ගැහැනු ළමයෙක්ට ඒක සුදුසු නැහැ කියලත් කිව්වා. මගේ අදහස මම කියපු දවසෙම තාත්තා කිව්වේ මමත් ඔයත් එක්ක යන්න එනවා කියලා. මේ ගමනෙදි මුදල්මය අතින් කීප දෙනෙක්ම මට උදවු කළා.
පවුලේ අය ගැනත් මතක් කරමු.
තාත්තා වසන්ත සමරදිවාකර. අම්මා රේණුකා ජයකාන්ති. තාත්තා chandana Auto enginer company එකේ වැඩ කරන්නේ. අක්කා ප්‍රතිභා සමරදිවාකර. එයා විවාහ වෙලා ඉන්නේ. මල්ලි චතුර සමරදිවාකර. එයා ජපානයේ ඉන්නේ. මම එක සැරයක් තනියම බයිසිකලයේ නුවර ගියා. ජූනි මාසයේ තමයි මම ඒ ගමන ගියේ. ඒ ගිය ගමනෙන් පස්සේ තමයි ගෙදර අයගේ බය ටිකක් ඇරුණේ. අම්මා මුලදි අකමැති වුණත් පස්සේ කැමති වුණා. මම මීගමුවට එද්දි ගමේ අය මාව පිළිගන්න ඇවිත් හිටියා.. මට එයාලා කුසලානයක් තිළිණ කළා. ඒක හරිම සතුටුදායක මොහොතක් වුණා. මිනුවන්ගොඩ අපේ නිවෙස අසළත් වෙනම පිලිගැනිමේ උත්සයක් සංවිධානය කරලා තිබුණා. ඉතින් කඳුකර පළාත්වලටත් බයිසිකලය පදින්න බලාපොරොත්තුවක් තියෙනවා.