වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
වයසයි කියල Sex නවත්වන්න ඕනෙද?
දෙදෙනකු විවාහයට එළැඹෙන්නේ දහසකුත් බලාපොරොත්තු සමඟිනි. ආදරය, ලිංගිකත්වය, සෙනෙහස, සැප, දුක මේ හැමදේම එකට බෙදාගන්න පටන් ගන්නේ විවාහයට ඇතුළත් වීමත් සමඟයි. ඉතින් මේ විවාහ ජීවිතය තුළ සැප සතුට වගේම දුකත් අඩු වැඩි වශයෙන් පවතින්න පුළුවන්. හැබැයි දුකක් ආවා කියලා ඒ දුක නිසා මුළු ජීවිතයම අඳුරු කරන්න නම් අවශ්‍ය නැහැ.
ආදරය, බය, දුක, නින්දා, මෛළුුන්‍යය කියන එක මිනිස්සුන්ටත් පොදුයි. සත්තුන්ටත් පොදුයි. ඉතින් මිනිස්සු ඒකෙන් වෙනස් වෙන්නේ මිනිස්සුන්ට සත්තුන්ට වඩා හිතලා තීරණ ගන්න පුළුවන් හැකියාව තියෙන නිසා. එතකොට විවාහ ජීවිතයක රඳා පැවැත්ම තීරණය වෙන එක් සාධකයක් තමයි ලිංගික සම්බන්ධතා. ඒත් අපේ රටේ කායික සම්බන්ධතා ගැන කතා කරද්දී එයින් ලැබෙන සතුට 20%ක් වගේ තමයි උපයාගන්නේ. අපි කිසි දෙයක් විඳින්න පුරුදු වෙලා නැහැ. කෑමක් කෑවත් ඒක විඳින්නේ නැහැ. පැය ගාණක් උයලා ඒක විනාඩි 5ට ගිලලා දානවා. එහෙමයි අපේ අය පුරුදු වෙලා ඉන්නේ. ඒත් පිටරටවල නම් විනාඩි 15ක් උයලා පැය දෙකක් විතර කට්ටියක කතා කර කර කෑම කනවා. කතා කිරීම කියන්නේ ඇත්තටම ප්‍රිය උපදවන දෙයක්. මේ කතා බහ තුළින් පවුල තුළ තියෙන බොහොමයක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා.
ඉතින් මනෝ උපදේශන සේවයේදී මුණ ගැහෙන බොහෝ අය විවාහ ජීවිතයේ මූලික හරයවත් දන්නේ නැහැ. එක පවුලක් විදිහට ජීවත් වෙන්න ඕනේ. දරුවෝ සමාජානූයෝජනය කරන්න ඕනේ. ආර්ථික සහයෝගීතාවක් තියෙන්න ඕනේ. ලිංගික සම්බන්ධතාවක් තියෙන්න ඕනේ. එක වහලක් යට ජීවත් වෙන්න ඕනේ. නමුත් අපේ රටේ එක වහලක් යට ජීවත් වෙන එකත් කඩන් වැටිලා තියෙන්නේ. නෝනා එක තැනක. මහත්තයා එක තැනක. ඒකට ලොකුම හේතුව ආර්ථිකය වෙන්නත් පුළුවන්. ආර්ථිකය ගැන කතා කරද්දී සමහර කාන්තාවෝ රැකියාවක් කළාට කරන්නෙත් එතරම් කැමැත්තකින් නෙවෙයි. හැබැයි දැන් තියෙන ආර්ථිකයත් එක්ක කාන්තාවක් රැකියාවක් නොකරත් බැහැ. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නෙත් ඒ ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නනේ. ලංකාවේ බාලිකා පාසල් ඕනෙ තරම් තියෙනවා. ඉතින් දියණියකට උගන්නනවා කියන එකත් ලොකු දෙයක්. මොකද ගැහැනියකට, තරුණියකට, දියණියකට දෙන අධ්‍යාපනය පරම්පරාවකටම දෙන අධ්‍යාපනයක් කියලයි කියන්නේ. මොකද ඒ අධ්‍යාපනය තුළින් මවකට පුළුවන් ඉදිරි පරපුරත් අධ්‍යාපනයෙන් පෝෂණය කරන්න. දරුවොත් එක්ක වැඩි කාලයක් ගත කරන්නේ අම්මනේ. ඉතින් අම්මා කෙනෙක්ට හොඳ අධ්‍යාපනයක් තියෙනවා කියන්නේ ඒ අම්මගේ දරුවන්ටත් හොඳ ගමනක් තියෙනවා.
ගොඩක් වෙලාවට දරුවන් සමාජානුයෝජනය කිරීම අම්මට විතරක් අයිති කාර්යක් කියලයි කියන්නේ. ඒක අම්මාගේ විතරක් නෙවෙයි තාත්තාගෙත් වගකීමක්. තාත්තටත් මේ වෙනුවෙන් ලොකු බරක් පැවරෙනවා. ඉතින් තාත්තත් මේ පවුල ගෙනියන්න උදව් කරන්න ඕනේ. කෑම උයන එක නැපි හෝදන එක වගේ දේවල් කළා කියලා තාත්තගේ පීතෘකම නැති වෙන්නේ නැහැනේ.
පවුල ගැන කතා කරද්දි ලිංගික සහයෝගීතාව ගැන කතා කරන්නම ඕනේ. මොකද මා ළඟට එන බොහොමයක් යුවළවල් එන්නේ ඒ ප්‍රශ්නෙත් එක්ක. දරුවා ලැබුණට පස්සේ තමන්ගේ ඕනෑ එපා කම් ගැන කායික අවශ්‍යතා ගැන අනෙක් පාර්ශ්වය ගැන හිතන්නේ නැහැ. මාව හමුවෙන්න එන සමහර යුවළවල් එන්නේ තරහා වෙලා වෙන් වෙලා වාහන දෙකකින්. ඒ තරමටම විරසක වෙලා. එක පාර්ශ්වයක් ආවම අනෙක් පාර්ශ්වය ගෙන්න ගන්න මට සෑහෙන දුරකතන ඇමතුම් පවා ලබා දෙන්න වෙනවා. ඇමතුම් දුන්නම කියන්නේ අනේ මට ඔය මිනිහගේ මූණ බලන්න ඕනේ නැහැ. මට ඔය ගෑනීව පේන්න බැහැ කියලා. මෙහෙම කියන්නේ බැඳලා අවුරුද්දක් දෙකක්වත් ගියපු නැති අය. සුදු අම්මි... සුදු තාත්ති ගගා හිටපු අය. එහෙම ආපු කෙනෙක්ගෙන් ඔයාලගේ... කායික සම්බන්ධතා කොහොමද කියලා අැහුවම කියන්නේ අපි දැන් එහෙම සම්බන්ධකම් තියන්නේ නෑනේ කියලා. ඇයි ඒ කියලා අැහුවාම දැන් ළමයි ලොකුයිනේ මොකටද ඕවා කරන්නේ. ළමයා හම්බුණ දවසෙම අපි ඒ දේවල් නැවත්තුවනේ කියලා කියනවා. නැත්තම් සමහර අය කියනවා දැන් අපි ආගමට දහමට නැඹුරු වෙලානේ ඉන්නේ. ඕවා පස්සේ යන්නේ නැහැ කියලා. මේ කියන සමහර අය අවුරුදු තිස් ගණන්වල අය. ලිංගික ශක්තිය ප්‍රජනන හැකියාව තියෙන අය. පිරිමි කෙනෙක්ට ලිංගික ආශාව නැති වෙන්න කාලයක් යනවා. ඒක හැමෝම දන්න දෙයක්. ගැහැනියකට නම් ආර්ථනිහරණයත් එක්ක ඒ කැමැත්ත ආශාව ඉවර වෙන්න පුළුවන්. ලංකාවේ අය එහෙම හිතුවට පිටරටවල නම් ඒ කාලය තමයි ජීවිතය හොඳටම විඳින කාලය කියලා කියන්නේ.
අපේ රටේ එහෙම නැහැ. අපි දැන් වයසයිනේ. එහෙම හිතලා තමන් තමන්ව අතහරිනවා. දෙදෙනා අතර සමඟිය, සතුට ඇති කරන්න මේ ලිංගික එකතු වීම හරි වැදගත්. තව දකින්න පුළුවන් දෙයක් තමයි දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන්, කුලී ගෙදරක ඉන්නේ ඒ වගේ බාහිර සාධකත් තියෙනවා. අභ්‍යන්තර සාධක ගැන කතා කරද්දී මේ අභ්‍යන්තර සාධකත් ලිංගික අාශාව නැති වෙලා යන්න බලපාන්න පුළුවන්. ඒක හරිම දුක්ඛිත දෙයක්. අනිත් කෙනා ගැන හිතන්නේ නැතුව ඒ දේවල් නොදී ඉන්නවා. ඒක එහෙම වෙද්දී මානසික විශාදය තත්ත්වයනුත් මේකට බලපාන්න පුළුවන්. ලස්සනට පිරිසුදුව පිළිවෙළට හිටපු අය එක පාරම අපිරිසුදුවට ඉන්න ගන්නවා.
දෙන්නගෙ හැඟීම්වල ඇතිවන පරස්පරතා. අනෙක් කෙනාව තේරුම් නොගැනීම, දෙදෙනාගේ අවශ්‍යතාවන් එකට නොගැළපීම, රාත්‍රී වැඩමුර සේවා, අධික වෙහෙස, ආර්ථික ප්‍රශ්න මේ ඔක්කොම දේවල් බලපානවා. දවල් තිස්සේ රණ්ඩු වෙලා රණ්ඩු වෙලා කෑගහගෙන බැණගෙන හූරගෙන හැන්දෑවට තුරුලු කරගනියි කියලා හිතන්න එපා.
අපි හිතනවා කාන්තාවන් ගොඩක් කැමැතියි ලිංගිකව එකතු වුණාට පස්සේ කතා කර කර ඉඳලා වැලඳගෙන නිදියන්න. ගැහැනු කියන්නෙම තමන්ගේ සැමියා ළඟ හුරතල් වෙවී ඉන්න කැමැති ජාතියක්. හැබැයි පිරිමි එහෙම නැහැ. පිරිමි කායික සම්බන්ධතාවයකින් පස්සේ එයාගේ අවශ්‍යතාවය ඉටු වුණාම අනෙක් පැත්ත හැරිලා නිදාගන්නවා. ඉතින් කාන්තාවකට හිතේ තියෙන දේ කියාගන්න කෙනෙක් නැති වුණාම අතරමඟ මුණ ගැගෙන කෙනෙක්ට කැමැත්ත යන්න පුළුවන්.
පවුල ඇතුළේ සියලුම දේවල් වෙන වෙන අයට කියන්න ගියාමත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර පිරිමි ඉන්නවා අපි දන්නේ හඳුනන්නේ නැති ගැහැනු අයට තමගේ පවුලේ පෞද්ගලික විස්තර කියන්න ගන්නවා. සමහර ගැහැනු ඉන්නවා අපිට අහම්බෙන් මුණ ගැහෙන පිරිමින්ට සියල්ලම කියන්න යනවා. මේ දෙකම හොඳ දේවල් නෙවෙයි. අපි දන්න හඳුනවා වුණත් මගේ මහත්තයගේ වැරදි පිට කෙනෙක්ට කියන්නේ මොකටද කියලා හිතන්න. එතකොට පවුලක් ඇතුළේ සතුට සමඟිය සමාදානය රැෙඳන්න ඕනෙ කරන හැමදෙයක්ම ලැබේවී.
සැමියාගේ සහ බිරියගේ සිතැඟි හඳුනා ගන්න එක ගොඩක් වැදගත්. අනිත් කෙනාව තේරුම් ගන්න. අනිත් කෙනාට ආදරය කරන්න. අනිත් කෙනාට ළං වෙන්න. පිරිමි ගල්වන්නේ ගැහැනු කැමති සුවඳ.. ගැහැනු ගල්වන්නේ පිරිමි කැමති සුවඳ.. මේ ලිංගිකත්වය ආශාව කියන දේ ඇති වෙන්න ඇඳට යන්නම ඕනේ නැහැ. ගොඩක් වෙලාවට කාන්තාවට තියෙන ප්‍රශ්නයක් තමයි වැඩ අධික නිසා ලිංගිකත්වයට උනන්දුවක් දක්වන්න වැඩි කැමැත්තක් නැහැ. වැඩ කළමනාකරණය කරගන්න ඕනේ.
ජීවිතය තියෙන්නේ අපිට විඳින්න. ඒ ජීවිතය විඳිද්දි අනෙක් අයට දුකක් නොදී විඳින්න ඕනේ. ජීවිතය තියෙන්නෙත් බොහොම කෙටි කාලයයි. අනෙක් කෙනාගේ සතුට හරි දුක හරි ඇති කරන කෙනා තමන් වෙන්න ඕනේ නැහැ. උදේට නැඟිටිද්දි කෙනෙක්ව මතක් වෙනවා නම්.. රෑට නිදියනකොට කෙනෙක්ව මතක් වෙනවා නම් සතුටට හරි දුකට හරි හේතුව ඒ කෙනා තමයි. ඉතින් වෙනත් කෙනෙක් මත යැපෙන එක.. තීරණ ගන්න එක එතරම් හොඳ දෙයක් නෙවෙයි. තමන්ගේ සතුට තියෙන්නේ තමා තුළමයි. විවාහයක් කියන්නේ එක දවසකින් කෙළවර වෙන දෙයක් නෙවෙයි. මගේ දරුවන්ගේ අම්මා වෙන්න මෙයා සුදුසු ද මගේ දරුවන්ගේ තාත්තා මෙයා වෙන්න සුදුසු ද කියන එක තමයි හරිම වැදගත්. ජීවිත ගමනේදී දුකේදී සැපේදී මාත් එක්ක එයාට ඉන්න පුළුවන් වෙයිද කියලා හිතන්න ඕනේ. අධිමානයත් විවාහ ජීවිතය බිඳිලා යන්න එක හේතුවක්. අගය කිරීම් නැති එකත් විවාහ ජීවිතය බිඳිලා යන්න හේතුවක්. එහෙම අගය කළොත් තව වටිනාකමක් ලැබෙයි. මොකද අපි දෙන දේ තමයි අපිට ලැබෙන්නේ. අපි දෙන්නේ නැති දේ අපිට ලැබෙන්නේ නැහැ. අපි තල වපුරලා වී බලාපොරොත්තු වෙන්න බැහැ. ඊළඟට ඉවසීම හරිම වැදගත්. වචන පිට කළාට පස්සේ ඒ වචන ආයේ ලබා ගන්න බැහැ. ඒ නිසා ඉවසීම කියන දේ ඉතාම වැදගත්. ඒ වගේම පිළිවෙළට අඳින එක තමන්ගේ ශරීරයේ හැඩය පවත්වා ගන්න එක. පවුලේ පෝෂණය මේ හැමදේම හිතන්න ඕනේ. මේ හැමදේම ගැන හිතලා පවුලක් ගෙනියනවානම් එන්න තියෙන බාධක හරි අවමයි.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව