රෑ දොළහට යක්කු අඳින නාරම්මල හැඩකාරිය

සැප්තැම්බර් 9, 2024

ගතම හිරිවැටී යන සීතල අතරින් මීදුම් පටල කඳු ශිඛර වසාගත්තේ එක් නිමේෂයකින්. වෙලාව මධ්‍යම රාත්‍රිය ගෙවී තත්පර කිහිපයකි. හීනියට ඇද හැලෙන පින්නත් එක්කම, රැහැයියන්ගේ හඬත්, විශාල ලෙස වැඩුණු ටර්පන්ටයින් ගස් එකිනෙක ගැටෙමින් එන අමිහිරි හඬත්, පරිසරයම මීදුමෙන් වසාගත් වැසි අඳුරත් නිසා මුළු පරිසරයෙම තිබුණේ මූසල බවක්.

එකවරම ඇද හැලෙන වැස්සත්, දරාගත නොහැකි සිසිලසත් සමඟින් හිරිවැටී ගිය ගත යන්තමට හෝ උණුහුම් වෙන්නම තෙත්වී ඇඟටම ඇලුණු ඒ සුදු පැහැ සාරියෙන්. හිතට ඇති වන්නේම භීතියක්. හැබැයි මෙය සිතුවමක්. මේ විදිහට රෑ දොළහට චිත්‍ර අඳින්නේ තරුණියක්. පුංචි දේටත් බය වෙන ලෝකෙක රෑ දොළහටම යක්කු අදින්න ඇයට තිබුණේ පුදුම හැකියාවක්. හැබැයි ඒ හැකියාව වෙනස්ම එකක්. මොකද ඇය අදින්නේ ඩිජිටල් ආර්ට්. ඇය නාරම්මල චලනි වාසනා. යක්කුන්ටවත් බය නැති අැය කතාව පටන් ගත්තේ මේ විදිහට.

මාස කිහිපයකට කලින් තමයි මගේ tik tok එක Chala's diary Art එකවුන්ට් එකට යක්කු ඇඳලා දැම්මේ. ලංකාවේ ඉතිහාස කතාවල ඉන්න යක්කුන්ව ඇදලා බලන්න හිතුණා. මම හරිම කැමැති ලංකාවේ ජනප්‍රවාදවලට. එතකොට හොල්මන් කතාවලට. ඉස්සර ඉඳන්ම මම ඒවා හොයනවා. ඉතින් ඒ කතාවල චරිතවලට මම චිත්‍ර ඇන්දා. ඒ විදිහට මෝහිනි, මහසෝනා, ගෝපළු යකා, බෝදිලිමා අවතාරය සහ රාවණා වගේ චරිත ඇන්දා. ඒවාට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

ඉතින් රෑ දොළහටම චිත්‍ර අඳින්න හිතුණේ..

 

මම ආකිටෙක්්චර් ස්ටුඩන්ට් කෙනෙක්නේ. එතකොට ගොඩක් වෙලාවට වැඩ කළේ රෑ. ඇත්තටම රෑ වෙලා ඇහැරගෙන ඉන්න එක මගේ නරක පුරුද්දක්. ඉතින් ඒ පුරුද්දට තාමත් මට රෑට නින්ද යන්නේ නැහැ. ඉතින් මම චිත්‍ර අඳින ඒවත් ගොඩක් වෙලාවට රෑට තමයි කරන්නේ. යක්කු අඳින අදහස මට ඇතිවෙද්දිම මට මතක් වුණා යක්කු ගස් නඟින්නේ රෑ 12ට කියන කතාව. ඉතින් මට හිතුණා මම කොහොමත් රෑට ඇහැරලා ඉන්න එකේ. මේ යක්කු ඇඳිල්ලත් රෑ 12ට කළොත් ඒකට වෙනම වටිනාකමක් ලැබෙයි කියලා.

 

මුලින්ම චිත්‍ර අඳින්න පටන් ගත්තේ කොයි කාලෙදිද?

 

මම විෂයයක් විදිහට චිත්‍ර ඉගෙන ගන්න පටන් ගත්තේ 10 වසරෙදි. සාමාන්‍ය පෙළ විභාගයට විෂයයක් විදිහට චිත්‍ර කළා. උසස් පෙළට මම මැත්ස් කළේ. ඊට පස්සේ මම අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව උපාධියක් කළා. මම පාසල් ගියේ නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයට. ඊට පස්සේ NSBM ග්‍රීන් යුනිවර්සිටි එකේ මගේ උපාධිය අවසන් කළා. කොවිඩ් ආවනේ. ඒත් එක්කම මගෙ ඉන්ටීරියල් කම්පැනි එකේ වැඩ සියල්ලම නැවතුණා. ඒ දේවල් එක්ක මම ලොකු ආතතියකින් හිටියේ. ඉතින් මගේ ආතතිය නැති කර ගන්න කියලා මගේ දිනපොත අරගෙන විවිධ රූප අඳින්න පටන් ගත්තා. මම ඒ ඇඳපු ඒවා වට්ස්ඇප් ස්ටේටස් දැම්මා. ඒවා දැකපු මගේ ළඟම යාළුවෝ කිව්වා මේවා සෝෂල් මීඩියා දාන්න. මේවා හරි ලස්සනයි කියලා. ඒවා දැකපු පිටරට කවුන්සලර්ස්ලා කීපදෙනෙක් මාව ටැග් කරලා කිව්වා එයාලටත් මේ වගේ චිත්‍ර කිහිපයක් ඇඳලා දෙන්න එයාලගේ පේෂන්ස්ලට දෙන්න ඕනෙ කියලා.

ඉතින් මම එයාලට ඒ විදිහෙ චිත්‍ර ඇඳලා දුන්නම එයාලා මට ලොකු ගාණකුත් ගෙව්වා. ඒ විදිහටයි මම මේක දියුණු කර ගත්තේ.

 

ඩිජිටල් ආර්ට්ස් අඳින්න පුරුදු වුණේ කොහොම ද?

 

ඩිජිටල් ආර්ට්ස් අඳින්න ගත්තේ මම තනියම පුරුදු වෙලා. ඉතින් මම ඒ විදිහේ චිත්‍ර ඇඳලා දාද්දි හැමෝම මාව දිරිගැන්නුවා. එයාලා මගේ චිත්‍ර ගැන හොඳ කිව්වා. ඔහොම කාලයක් චිත්‍ර ඇඳගෙන යද්දි මම අයි පෑඩ් එකක් අරගෙන ඒකට බැහැලම වැඩ කළා.

අපේ අම්මා චිත්‍ර ටීචර් කෙනෙක්. මම පොඩි කාලේදී අම්මා ලස්සන පින්තූර තියෙන කතන්දර පොත් ගෙනත් දුන්නා මට කියවන්න. ඒවායේ පිටරට කට්ටියගෙත් චිත්‍ර තිබුණා. ඒවට මම මාරම ආසයි. වෘත්තීයේ ප්‍රශ්නත් එක්ක මම මුලින් ඔක්කොම ඇන්දේ ස්ට්‍රෙස් ආර්ට්ස්නේ. මම සෝෂල් මීඩියාවල දැක්කා බබාලට චිත්‍ර ඇඳලා තියන අපූරු කතන්දර. මම පොඩි කාලේ කියවපු පොතුත් මට ආයේ මතක් වුණා. ඉතින් මට හිතුණා මාත් මේ විදිහට ඇඳලා බලන්න උත්සාහ කරන්න ඕනේ කියලා. එහෙම තමයි ඒවා පුරුදු වුණේ. ඩිජිටල් ආර්ට්ස් අඳින්න ගත්තේ මම තනියම පුරුදු වෙලා. කතෘවරුන්, ප්‍රකාශකයින් මගේ චිත්‍ර බලලා.. මගේ රීච් බලලා එයාලා මට පිටපත් එවනවා. ඊට පස්සේ ඒ පිටපතට හරියන්න මම පොත නිර්මාණය කරලා ඒ පොතේ හැම පිටුවකටම චිත්‍ර අඳිනවා.

 

සෝෂල් මීඩියා ව්‍යාපාරයේ දියුණුවට යොදා ගත්තේ කොහොමද?

 

මම facebook, instergram පාවිච්චි කරපු කෙනෙක්. මගේ ඔළුවෙ තිබුණේ tik tok කියන්නේ ගැහැනු ළමයෙක්ට සුදුසු ෆ්ලැට්ෆෝම් එකක් නෙවෙයි කියලා. ඇත්තටම tik tok ගැන මගේ හිතේ කිසිසේත්ම හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි තිබුණේ. සරලා කියලා මගේ යාළුවෙක් ඉන්නවා එයා තමයි මට මුලින්ම කිව්වේ ඔයා අඳින චිත්‍ර ටික් ටොක් එකේ දාලා බලන්නකෝ කියලා. ඒත් මම ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ. පස්සෙ එයාම මගෙ චිත්‍ර දෙකක් දාලා ටික් ටොක් වීඩියෝ එකක් මට හදලා එවලා තිබුණා. පස්සෙ එයා කියන හින්දම මම ටික් ටොක් එකවුන්ට් එක හැදුවා. ඒකෙදී මට තේරුණ දෙයක් තමයි අපි හොඳ දෙයක් කළොත් අපි වටේට එකතු වෙන්නේ හොඳ පිරිසක් කියලා. ෆේස් බුක් මට මට ලොකු උදව්වක් වුණා පොත් හොයා ගන්න වැඩවලට. සෑහෙන ප්‍රකාශකයෝ හා කර්තෘවරුන් මට ඒ හරහා මට හමුවුණා.

 

පවුලේ විස්තර ගැනත් කතා කරමු

 

අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි ඉන්නේ. අපේ පවුලම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පවුලක්. අම්මා ජයසිංහ මැණිකේ. තාත්තා විජේරත්න වාසල. මල්ලි චාමික වාසල. අම්මා චිත්‍ර ටීචර් කෙනෙක්. අම්මා චිත්‍ර ටීචර් කෙනෙක් වුණාට කවදාවත් මට චිත්‍ර අඳින්න කියලා දීලා නැහැ. ඉතින් මම පොඩි කාලේ මම තරහෙන් හිටියේ. හැබැයි මම තනියම පොඩි කාලේ ඉඳන් චිත්‍ර ඇන්දා. හැබැයි ඒ ඇඳපු චිත්‍ර දැකපු අය අම්මාගෙන් අහලා තියෙනවා ඔයාද චිත්‍ර අඳින්න දුවට ඉගැන්නුවේ කියලා.. අම්ම එතකොට කිව්වේ මම ඉගැන්නුවේ නැහැ. එයාට වෙනම ස්ටයිල් එකක් තියෙන්නේ. එයා ඒක තනියම ඉගෙන ගන්න තරමට තමයි හොඳ. මම එයාට උගන්නන ගියොත් එයා අලුත් දෙයක් හොයාගන්නේ නැහැනේ කියලා. හැබැයි මම අර ආතතියෙන් හිටපු කාලෙදි අම්මා තමයි මගේ චිත්‍ර දැකලා මාව අගය කරලා මගෙ පිටිපස්සෙන් හිටියේ. අම්මා තමයි මට අයි පෑඩ් එක අරන් දුන්නෙත්.

 

අද කාලේ චිත්‍ර ඇඳලා ගැහැනු ළමයෙක්ට ගොඩ යන්න පුළුවන් ද?

 

ඇත්තටම හැකියාව තියෙනව නම් ගොඩ යන්න පුළුවන් හොඳ කලාවක් මේක. මම මගේම ආකිටෙක්චර් කම්පැනි එකක් කළේ. ඉතින් මම ඒ කාලේ ප්ලැන් ඇඳපු එක තමයි කළේ. මම ආකිටෙක්චර් නවත්තලා මේක තෝර ගන්න හේතුවත් ඒක. මේක හොඳ ගාණක් උපයා ගන්න පුළුවන් දෙයක්. ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක් හොයනවට වඩා ලොකු ගාණක් හොයන්න පුළුවන් ඩිජිටල් ආර්ට්ස් කළොත්. ලංකාවේ ආර්ට්ස්වලට ලොකු වටිනාකමක් නැති වුණාට පිටරටවල මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට මම ඩිජිටල් ආර්ට්ස්වලට ඔන්ලයින් වැඩමුළු කරගෙන යනවා. ඉස්සරහට ලොකු වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

 

ඡායාරූප - සංජුල ඉලංකෝන්