වර්ෂ 2024 ක්වූ November 04 වැනිදා Monday
අසෙලියා පුරාවටම තියෙන්නෙ ප්‍රේමයමයි
හර්ෂණී වීරරත්න නිතර පොත් අතර ගැවසෙමින් සාහිත්‍යයේ සැරිසරන ලේඛිකාවකි. කලින් කලට නව කෘතීන් බිහිකරන ඇයගේ තවත් කෘතියක් දොරට වඩින්නේ සාහිත මාසයත් කේන්ද්‍රකොට ගනිමිනි.
“අසෙලියා” ඇයගේ හයවැනි කෘතියයි. ඇය මේ කෘතිය රචනා කරන්නේ වසර හතක් වැනි දිගු නිහැඬියාවකට පසුවයි. ඇයගේ මුල්ම කෘතිය බිහි වන්නේ 2014 වර්ෂයේ “අගස්ති” නමිනි. යොවුන් ආදරය අළලා ලියැවුණු මේ කෘතියට ඇති පාඨක ප්‍රතිචාර නිසාම මාස හතරක් වැනි කෙටි කාලයක් තුළදී සිව් වතාවක්ම මුද්‍රණය කොට ඇත. ඉන්පසුව “අග්‍ර නමින් මොළේ පිළිකාවක් ගැන නවකතාවක් සහ සත්‍ය කතාවක් පාදක කොට ගනිමින් ලියන ලද “ශේෂ” එළිදැක්වෙනවා. ඇය විසින් ලියන ලද “දූවිලි, ඊවා” ලියවෙන්නේ ද සත්‍ය කතා පාදක කොට ගනිමිනි.
ඇය ලියන ලද බොහෝ කෘතීන් සත්‍ය කතාවක් වස්තුබීජය කොටගත් ඒවාය.“දූවිලි” නවකතාවෙන් කියැවෙන්නේ ද තම කුසින් දරුවෙක් බිහි කරන්න බැරි මවකට කුස කුලියට දී දරුවෙක් බිහි කරන අම්මා කෙනකුගේ කතාවකි. “ඊවා” ද තම සීයා අතින් අනාථ වූ දරුවෙක් ගැබ්ගෙන ගෙවන දුක්ඛිත ජීවිතයෙන් මිදී ඈ ජීවිතය දිනන ආකාරය ගැන ලියූවකි. “අසෙලියා” බිහි වන්නේ ඉන්පසුවයි.
ඇය ලියූ පොත් ගොන්න අතරට එක් වූ “අසෙලියා” ගැන ඇය කිව්වේ මෙවැනි අදහසක්.
අසෙලියා පුරාවටම තියෙන්නේ ප්‍රේමයමයි. හැබැයි ප්‍රේමය කියන්නේ අනියම් ද නියම් ද කියලා නැහැ. හිත රැඳුණු තැන ප්‍රේමය හට ගන්න පුළුවන්, නමුත් ප්‍රේමයේදී ප්‍රවේසම් විය යුතුයි. ඇතැමුන් හිත් මුළා කරනවා හරිම ස්මාර්ට් විදිහට. ඒ නිසා තව කෙනෙකු මානසිකව විඳවන්න පුළුවන්, පවුල් ජීවිත අවුල් වෙන්න පුළුවන්, ආදරය, විරහව, අනියම් සම්බන්ධතා නිසා ජීවිතයක් කොතරම්දුරට විනාශ වෙනවාද කියන කාරණය වගේම තම බිරිය ගණිකාවක් යැයි සිතා කාමය, ලිංගික අඩත්තේට්ටම් කරන පිරිමින් නිසා මානසිකව විඳවන හිත් ද අපමණයි. ශ්‍රී ලංකාව තුළ වැඩිම දික්කසාද අතර එවැනි පිරිමින්ගෙන් දික්කසාද වන අයගේ ප්‍රතිශතය ඉහළයි. ඒ සියල්ල එකට ගෙන චරිත අතර සියුම්ව කතාව දිගහැරීමට මම උත්සහ කළා. ඒ වගේම පියයුරු පිළිකාවක් නිසා පියයුරු දෙකම ඉවත් කළ යුවතියක් කුලුඳුලේම උපන් දරුවාට මවුකිරි පොවන්න බැරිව විඳින සිත් වේදනාව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මා සමඟ පැවසුවා. ඔහුත්, වෛද්‍ය රූමී රූබන් මහතා මා සමඟ මානසික රෝගීන් ගැන කතා කළ බොහෝ අත්දැකීම්, අත්විදීම් එකතු කරලා තමයි මම “අසෙලියා” බිහි කරන්නේ. ඒ නිසා ඔවුන්ටත් පොත මුද්‍රණය කළ නිශාන්ත ප්‍රකාශක නිශාන්ත වික්‍රමතිලක මහතාටත් කවර නිර්මාණය කළ උදාර චින්තකටත් මම ස්තුතියි කියන්න අවස්ථාවක් කර ගන්නවා.
අකුරු අමුණන්න පටන් ගත්තේ කොහොමද?
මම පුංචි කාලේ ඉඳලා පොත්, පත්තර කියවන්න ඇබ්බැහි වුණු කෙනෙක්. අදටත් මම දිනපතා පත්තරයක් කියවනවා. අඩුම තරමින් පත්තරේ සිරස්තල විතරක් හෝ මම කියවනවා. මට කියවීම හුරු කරේ මගේ තාත්තා. ඒ නිසා වෙන්න ඇති මම ළමා නිවේදිකාවක් විදිහට මාධ්‍ය ජීවිතේ ආරම්භ කරන්නේ. එතැනදි හයියක් වෙන්නේ මගේ අම්මා. නිවේදනය අතරමගදි නතර වෙනවා. මම උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව 2007 දී ජාතික පුවත්පතකට සම්බන්ධ වෙනවා. ඒ වෙද්දි පත්තරේක වැඩ කරන්නේ කොහොමද, ලියන්නෙ කොහොමද, මොකක්ද ෆෝමැට් එක කියලා අවබෝධයක් තිබ්බේ නැහැ. එහෙම පටන් ගත් පත්තර ජීවිතේ විශේෂාංග ලිපි, ප්රවෘත්ති, වගේම ඕනෑම ෆෝමැට් එකකට ලියන්න කියලා ලිපියක් භාර දුන්නොත් එය ලියන්න හැකියාවක් තියෙනවා. දිනපතා ලිවීමේ ප්‍රැක්ටිස් එක මත දිගු ගමනක් ආවා. එහෙම තමයි මගේ අනන්‍යතාව බොහෝම අසීරුවෙන් ගොඩ නගා ගත්තේ. ලිවීමත් කලාවක්. මේ කලා රාමුවට මම ඕපපාතිකයෙක්, නමුත් මට එතැනදි බොහෝ ප්‍රවීණයින්ගේ සහය ලැබුණා මගේ අකුරු ලිවීම මුවහත් කර ගන්න. මම ලියන්නේ මට ආවේණික වූ රටාවකට. මම පරිවර්තන කෘතිවලට ඇබ්බැහි වූ කෙනෙක්. මම නිතරම කියවන කෙනෙක්. නමුත් බස් වහර මගේ කරගෙන ලියන්න මම වෙහෙස ගන්නවා. බොහෝ වෙලාවට සත්‍ය කතා එක්ක ලියන එක මගේ හිතට දැනෙනවා. ඒ චරිත මගේ කරගෙන මම ලියනවා.
සෝෂල් මීඩියාවල පළවෙන කෙටිකතා, නව කතා නිසා මුද්‍රිත කෘතියට තියෙන තැන නැති වෙලා ද?
එහෙම කියන්න අමාරුයි. ඒවා හැමෝම කියවන්නෙ නැහැ , හරියට ගීතයක් තෝරාගෙන රස විඳිනවා වගේ තමයි. කතා රසය.කතාවේ ගුණාත්මක බව සෝෂල් මිඩියා වලින් බලාපොරොත්තු වෙන්න බැහැ , රැල්ලට හැම දේම යටත් . නමුත් පොත අතට අරගෙන පිටු අතර සුවඳ විදිමින් පොත කියවීම තුළ වෙනම රසක් මම දකින්නේ, අතේ මුදල් නැතත් පොත් මංගල්‍යයෙන් පොත් ගන්න එන අය වැඩි වශයෙන් දකින්න ලැබෙනවා.