වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
දෝණි හැඩ කරන්න නත්තල් ගවුමක්
මලක් වගේ ඉන්න පොඩිත්ති තවත් ලස්සන කරන්නට කදිම විලාසිතාවක ගවුමකි. මේ ගවුම මැසීමේදී රතු පැහැති රෙදි වර්ගයක් තෝරා ගැනීමෙන් නන්තල් සිරිය එකතු කරාවි. ගවුම මසන්නට අප උදාහරණ ලෙස අවශ්‍ය මිමි දී ඇතත් ඔබේ දියණියගේ මිමි ඒ සඳහා ආදේශ කර ගන්න. ඉතින්, මේ වගේ හැඩකාර දියණියක් ඔබටත් ඉන්නවා නම් මේ විදිහට ලස්සන ගවුමක් මසා එයාගෙ හැඩ බලන්න පුළුවන්.
ඉදිරි පළුව -
මූලික ඉදිරි පළුව පිටපත් කර ගන්න. කර AB, උරහිස BC, අත්කට ද B සිට අවශ්‍ය ඉණ උස ගෙන EF ද යොදන්න. A සිට ඉදිරි මැද රේඛාවේ කර ගැඹුර අඟල් 1 1/2ක් හෝ අවශ්‍ය ප්‍රමාණය ගන්න. A යොදා B සමඟ හැඩකර ගන්න. අත්කට D සිට අඟල් 1/2ක් ගන්න. C සිට අඟල් 1/2ක් පමණ ඇතුළට ගෙන අලුත් අත්කට ඇඳ ගන්න. එම කොටස මැහුම් වාසි තබා කපා ගන්න. AF ඉදිරි මැද නැම්මට කපා ගන්න.
පිට පළුව -
මූලික පිට පළුව පිටපත් කර ගන්න. කර AB ද, උරහිස BC ද, අත්කට CD ද, වශයෙන් ගන්න. ඉදිරි පළුවේ DE දුරගෙන පිට පළුවේ D සිට පහළට ගන්න. එයට E යොදා E සිට පිට මැද ඉදිරියෙන් යාකර F යොදාගන්න. ඉදිරි කර ගැඹුර A සිට පහළට අඟල් 1ක් ගෙන A යොදාගන්න. A, B යාකර කර ඇඳගන්න. D සිට අඟල් 1/2ක් ගෙන C සිට B දෙසට ද අඟල් 1/2ක් ගන්න. රූප සටහනේ පෙනෙන ආකාරයට ඇඳ ගන්න. පිට මැදට විවරයක් දමා මසා ගන්න.
සාය -
ඉදිරි ඉණ උස ගත් තැන සිට අවශ්‍ය පමණ සාය උස ගන්න. ඉදිරි පළුවේ සම්පූර්ණ ඉණ මෙන් දෙගුණයක් සාය අවශ්‍ය උසට කොටුවක් ඇඳගන්න.
ABCD ලෙස නම් කර කොටස් දෙකක් කපා ගන්න. රැලි අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගන්න. කරට, අත්කටට පේසින් තබා මසා ගන්න.
ඉදිරි පළුවට ස්මෝකින් හෝ රේන්දයක් යොදා අලංකාර කර ගන්න.
මසා ගැනීම -
තමන් කැමැති රෙද්දක් මත ඉදිරි පළුව නැම්මට තබා පිට පළුව විවරයට මැහුම් වාසි තබා කපා ගන්න. උරහිස සහ කර අත්කට පයිපින් කරගන්න. පිට පළුව විවරය බොත්තන් හෝ සිපරයක් අල්ලා ගන්න. කඳ කොටසේ පැත්තෙන් මැස්මක් මසා ගන්න. ABCD පතරොම රෙද්ද මත තබා ගන්න. AC දිග අතට තබා කොටස් දෙක කපා ගන්න. AC හා BC පැත්තේ මැස්ම මසා ඉණට රැලි සහ වාටියට අඟලක් පමණ සිටින සේ වාටි මැස්ම මසා ගන්න.
උපදෙස් -
ප්‍රවීණ මැහුම් උපදේශිකා ෂර්මිලා රණවීර
නිරූපණය - ජෙනුලි ඉමෙත්මා
රූ රටා - නිලක්ෂි ආරියරත්න