කන්තෝරු නෝනා ⁣

හැන්දෙයි පෑනෙයි ඡේදන ලක්ෂ්‍යය
දෙසැම්බර් 9, 2024

 

පොළොවෙ උණුසුම අහසට උරාගන්න බැරි විදිහට වලාකුළු රොත්තක් පවුරු බැඳගත්ත මහ වෙහෙසකාරී දවසක් ඒක. හවස හතරට විතර මං රාජකාරී කටයුත්තකට එළියට යද්දිත් ලොබියේ ගනුදෙනුකරුවො පිරිලා. පඩි දවස්නෙ ඉතින්.

 

ගියපු රාජකාරීය අහවර වෙලා කළුවර බිල්ලත් පිටේ බැඳගෙන මං ආපහු ඔෆීස් එකට දිව්වෙ හැරෙන තැපෑලෙන් ගෙදර දුවන්නත් බලාගෙනමයි. ඒ එද්දි අපේ ආරක්ෂක නිලධාරී සුමනසිරියි තව කීප දෙනෙකුයි වටවෙලා මල්ලක් ඔබ ඔබා ඉන්නවා.

මල්ලක්…ඔව් මල්ලක්.

“කාගෙද බෑග් එකක් දාල ගිහින්.” සුමනසිරි තුවක්කු මිටෙන් බෑග් එකට ඇන ඇන හිටපු විදිහට මට බයත් හිතුණා.

“බලාගෙන සුමනසිරි. ඕක වැරදිලාවත් පත්තු වුණොත් එහෙම. “ නෑ මැඩම් මං තුවක්කුව ලොක් කරගෙන ඉන්නෙ. “

“ ඒක හොඳයි. ” තුවක්කුවක් වුණත් නුවුවමනා වෙලාවට ලොක් කරලා තියාගන්න එක තමයි කාගෙ කාගෙත් ඇඟට ගුණ.

“ බෑග් එකේ මොනවා තියෙද දන්නෑ. අයිතිකාරයා හොයාගන්නත් එක්ක අපි මේක ඇරල බලමුද ? “

යෝජනාවක් ඉදිරිපත් වුණා. කෝටි ගාණක මුදල් ගැවසෙන බැංකුවක් ඇතුළෙ අයිතිකාරයෙක් නැති බෑග් එකක් කියන්නෙ බරපතළ තර්ජනයක්. අන්තිමට අපි බෑග් එක පරීක්ෂා කිරීමේ සාමූහික තීරණේකට ආව. නිලධාරියකුට පැවරුවා බෑග් එකේ තියෙන බඩු ලිස්ට් එකක් හදන්න. වැඩි ආරක්ෂාවට කියල අපේ කොල්ලෙක් ජංගමේ උස්සන් ඇවිත් වීඩියෝ කරන්න පටන් ගන්නකොටයි මටත් තේරුණේ සෙල්ෆි ගහන එකයි මල් කඩන එකයි ඇරුණම ජංගමේකින් තව කොච්චර ඵල ප්‍රයෝජන තියෙනවද කියලා.

එකායි.. දෙකායි… තුනායි…

හැමෝගෙම කුතුහලේ උපරිමේටත් වඩා චුට්ටක් උත්සන්න වෙලා තියෙද්දි බෑග් එක ඇතුළෙන් එබිකම් කළේ පොත් හතරක්. පොත් … ඔව්. හරියටම කිව්වොත් දිනපොත්.

වෙන කිසිම දෙයක් අපිට ඒ බෑග් එකෙන් හම්බුණේ නෑ. හැබැයි ඉතින් අනුන්ට වටින්නැති දිනපොතක් අයිතිකාරයට නම් රටක් රාජ්‍යයක් වටින්න පුළුවන්. මනුස්සයෙක්, පවුලක්, නෙමෙයි රටක් ගිනි තියන්න පුළුවන් තොරතුරක් දිනපොතකින් එළියට එන්න බැරි නෑ. මේ ඔක්කෝම කිරල මැනල බැංකුවෙ සුපුරුදු ක්‍රමවේදයට අනුව අපි ඒ බෑග් එක ද්වන්ධ පාලනයට නතු කළා. පහුවදා බෑග් එකේ ෆොටෝ එකක් දැන්වීම් පුවරුවෙ දැම්මා. ආයතන කීපෙකටත් දැනුම් දුන්නා. සීසීටීවිත් බැලුවා. ඒත් අයිතිකාරයා සෙවීමේ මෙහෙයුම අසාර්ථකයි.

මගෙ හිත කිව්වෙම අයිතිකාරයා මට කියවන්න ඒ දිනපොත් දාල ගියා කියලමයි. අනුන්ගෙ දිනපොත් කියවන එක අශීලාචාර වැඩක් තමයි. ඒත් මං තීරණය කළා ඒ අශීලාචාර වැඩේ කරන්න.

ඒ දිනපොත් කලබලකාරී ගැහැනු අකුරුවලින් පිරිලයි තිබුණෙ. ඇත්තටම ඒව ගැහැනු අකුරුද පිරිමි අකුරුද කියල මාත් මුලින් දැනගෙන හිටියෙ නෑ. කියවගෙන යද්දියි මටත් තේරුණේ ඒ අකුරුවල අයිතිකාරී මං වාගෙම හැන්දයි පෑනයි එක්ක තුන් තිස් පැයේම හැප්පෙන ගෑනියෙක් බව. ඒ අකුරුවල වෙලාවකට මාත් හිටියා. සමහර තැන්වල මං දන්න කෙනෙක් හිටිය. ඇත්තටම ඒ හැම අකුරක් ගානෙම මේ මහ පොළොවෙ උඩ පණ ගැහෙන ගෑනු මිනිස්සු තමයි හිටියෙ. ඉතින් මං තීරණය කළා ඒ දින සටහන්වල මට දැනුණ හැඟුණ අකුරු ටික ප්‍රසිද්ධ කරන්න. මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ දින සටහන්වල හිමිකාරිගෙ අපේක්ෂාව මගේ මේ තීරණයමයි කියලා.

එහෙමනම් අපි ලබන සතියේ ඉඳන් ඒ දිනපොත කියවමු.

 

 

 

Digital Art By- Cham Nirman