වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
පොල් කිරි කමු..!!
![](https://www.tharunie.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/14_176.jpg?itok=UAzDtnjX)
මට හිතුනා අද ඔබත් එක්ක පොල් කිරි එක්ක බැඳුන ආදරය බෙදා ගන්න. කාලයක් පොල් කිරි කොලෙස්ටරෝල් හදනවා කියලා ලොකු මතයක් සමාජයේ තිබුණා. ඒක ඇත්තටම හැදුවේ අපිට පොල් කිරි එක්ක තිබෙන බැඳීම කඩලා එළවළු තෙල්, පාම් තෙල්, ප්‍රවර්ධනය කරන්න.
අන්තිමට අපි එක එක තෙල් වර්ග කන්න පටන් ගත්තා. අතීතයේ ඉඳලා කාපු පොල් තෙල් එක්ක තරහා වුණා. ඇත්තට නාගරිකයෝ බහුජාතික රැවටිලිවලට මෙහෙම අහුවෙලා පොල් අමතක කළාට ගමේ අපි කවදාවත් පොල් අමතක කළේ නෑ.
ඉතිං ඔන්න දැන් පොල් කිරිවලට පොල් තෙල්වලට එල්ල වුණ අර චෝදනා ඉවර වෙලා, අපි ඕසෙට පොල් කිරි කන්න පටන් අරගෙන විතරක් නෙවෙයි අද වෙනකොට පොල් කිරි ලෝකය පුරාම ජනප්‍රිය වෙමින් යනවා දියර කිරක් විදිහට. ඒ නිසා අතීතයේ අපි පොල් කිරි කාපු හැටි ගැන පොල් කිරි තරම්ම රස කයියක් ගහන්න හිතුවා.
ගොඩ හොද්ද
ගොඩ හොද්ද කියලා කියන්නේ ගින්දර ළංකර ගන්නේ නැතිව අපේ පැරැන්නෝ හදපු රස හොද්දක්. ඇත්තටම මේක හැදුවේ තලප වර්ග කන්න. එහෙම නැත්තම් පිට්ටු වර්ග කන්න. පිට්ටු වර්ග කීවාම පොඩ්ඩක් අවුල් වගේ වෙන්න පුළුවන්, හාල් පිටි පිට්ටු විතරක් කාපු අයට.
ඉස්සර අපි හාල් පිටි පිට්ටු විතරක් නෙවෙයි ඇත්තටම කෑවේ. අපි කුරහන් පිට්ටු කෑවා ඕසෙට. හල් පිට්ටු කෑවා සෑහෙන්න. එහෙම රස පිට්ටු අතීතයක අපේ පැරැන්නෝ පිට්ටු මෘදු සුමුදු කරලා රසවත්ව ගිලින්න පුළුවන් විදිහට සකසා ගන්න වැඩියෙන්ම පාවිච්චියට ගත්තේ පොල් කිරි.
ඒකට හදපු එක හොදි වර්ගයක් තමයි ගොඩ හොද්ද කියලා කියන්නේ. ළිපේ තියලා උතුරවලා ගන්නේ නැති නිසා මේකට ගොඩ හොද්ද කියලා කිව්වද කියන්න මම දන්නේ නෑ. හැබැයි ඉතිං මේක පට්ටම රස හොද්දක්.
මේකට හොඳට උකුවට පොල් කිරි මිරිකගන්න ඕනෑ. අපි මිටි කිරි කියලා කියන්නේ. ටිකක් වෙලා තිබ්බාම උඩින් ක්‍රීමි කට්ටක් හැදෙන විදිහේ උකු කිරි ගැන මම මේ කතා කරන්නේ. කුණු ලෝභයන්ට ඉතිං ඕනි නම් වතුර වැඩි කරලා නිකම් දියාරු දිය කිරිත් මේකට ගන්න පුළුවන්. හැබැයි රස නෑ.
ඉතිං මෙහෙම හොඳට උකුවට කිරි කෝප්පයක් හදාගෙන ඒකට වේලිච්ච මිරිස් කරලක් දෙකක් තුනක් හොඳට කරවෙන්න අගිසි කළුවෙන්න පුච්චගෙන, ඒක අතින් පොඩි කරගෙන දාගන්න ඕනෑ. ඊළඟට කරපිංචා අහුරක් පුච්චගෙන රම්පා කොළයක් පුච්චගෙන දාගන්නයි තියෙන්නේ. ඊළඟට රතුලූනු අහුරක් එක්කාසු කර ගන්නවා. ලුණු පදමට දාගෙන ටිකක් වෙලා හැඳි ගෑවාම ඔන්න ගොඩ හොද්ද හැදෙනවා. ඊළඟට දෙහි සුඟක් මිරිකලා කන්න ගන්නයි තියෙන්නේ.
ඉස්සර අපේ අම්මා ඕනි හොද්දක් ඇල් වුණාම මෙහෙම කියනවා -' අපොයි මේක ගොඩ හොද්ද වගේ නේ' . ඉතිං මෙහෙම හදාගන්න ගොඩ හොද්ද පිට්ටු කෑල්ලක් උඩට දාගත්තාම පිට්ටු බඩට වැටෙනවා තේරෙන්නේ නෑ. අම්මෝ රස.
ඉස්සර අපි රතු කැකුළු හාල් රෑට උයාගත්තාම ඉතුරු දන්කුඩේට වතුර දාලා වහලා තියෙනවා. ඊට පස්සේ උදේ බලනකොට ඉතිං බත් ටික පිපිලා වතුර එක නටලා මාර රස දිය බතක් වෙලා. ඔන්න ඉතිං රතු ලූනු ටිකක්, වියළි මිරිස් කරලක් කපලා ඒකට දාලා, ඒකට මිටි කිරි හැන්දක් හලලා ගන්නවා. ලුණු චුට්ටක් ඉහළා පොඩ්ඩක් කරකෝලා නටවලා ගත්තාම බඩ කූල් වෙන්න අර දිය බත් ටික කන්න පුළුවන්. ඒක මාරම රස බතක්.
මෙහෙම බැලුවාම පොල් කිරි කියලා කියන්නේ ලෝකේ තියෙන හොඳම සෝස් එක කියලයි මම නම් හිතන්නේ. බොරුද කියලා ඔයත් ටිකක් හිතලා බලන්න. හොද්දක් රස වෙන්න උකුවෙන්න පොල් කිරි තමයි කියාපු බඩ්ඩ.
මව් කිරට පසු කිර
මව් කිරිවලට පස්සේ පෝෂණය අතින් උඩින්ම ඉන්නේ පොල් කිරි කියලා කියනවා. ඔබ පොල් කිරි යහමින් කෑවොත් ඔබට රෝගවලට බය වෙන්න දෙයක් නෑ. ඒ මොකද පොල් කිරිවල තියෙන ලොරික් අම්ලය ප්‍රතිශක්තිකරණය ඉහළ දානවා. ඒ විතරක් නෙවෙයි මේක හිතකර මේද අම්ලයක් නිසා ඔයාගේ හදවතටත් සුවයක් සනීපයක් අරගෙන එනවා.
ඔබ කළුවට කළුවේ ඌරු මසක්, හරක් මසක් උයලා ඒක කට්ටට හින්දලා උඩින් පොල් කිරි මිටක් මිරිකුවොත් රසය දෙගුණ වෙනවා. මස් මෙලෙක වෙනවා. ඉතිං මෙහෙම දිවට රස දෙන පොල් කිරි මෙහෙම උයලා වැඩියෙන් බඩට දමාගත්තොත් අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ අවදානම්වලින් ඔබව මිදෙනවා.
පෝෂණවේදීන් කියන විදිහට පොල් කිරිවල විටමින් C, විටමින් E, විටමින් B1, විටමින් B3, විටමින් B5, විටමින් E6, තන්තු, යකඩ, සෙලේනියම්, සෝඩියම්, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, පොස්පරස් යහමින් තියෙනවා. මේ විදිහට පොල් කිරිවල දියවෙලා තිබෙන මැග්නීසියම්, පොටෑසියම් මාංශ පේශි ශක්තිමත් කරනවා. අන්න ඒකයි කියන්නේ පොල් කිරි කෑවාම යෝධයෙක් වගේ වෙන්න පුළුවන් කියලා.
ඉතිං මේ ගැන දැනගෙන හිටපු හින්දා තමයි අපේ පැරැන්නෝ හරිම රස පිපිඤ්ඤා සලාදයක් හැදුවත් ඒකට පොල් කිරි ඕසෙට දමාගත්තේ. ඇත්තටම අපිට පිපිඤ්ඤා රස මතක දිවගට ගෙන එන්නේ පොල් කිරි රස රැස. ඉතිං පොල් කිරේ පිපිඤ්ඤාව පාකරලා හදන මේ රසම රස සලාදයෙන් මේ පොල් කිරි කයිය අවසන් කරන්නම්.
පිපිඤ්ඤාව කපලා රවුම් රවුම්, මැද තියෙන ලොදේ අයින් කරනවා. ලොදේ ඝනට නැත්තම් ළාමක නම් මේක තියාගත්තහමත් රසයි. එතකොට ඒක වෙන රසක්. ඊටපස්සේ මේකට අපි ලොකු ලූනු, රතු ලූනු, උම්බලකඩ, කොළ පාට නයි මිරිස්, කපලා දාලා ඒක උඩින් පොල් කිරි ක්‍රීමිය මිරික ගන්නවා. පදමට ලුණු දානවා. දෙහි ඇඹුල් දානවා. අම්මෝ ඉතිං රස සාගරයක් තමයි. පිපිඤ්ඤාවේ අස්සේ තියෙන දිය කිරට මුහු වෙන්න කලින් කෑවොත් ඔබ ඇත්තටම කියාවි මේක තමයි රසම පිපිඤ්ඤා සලාදය කියලා.
ඉතිං වැඩි වැඩියෙන් පොල් කිරි කන්න ඕනි හරිද?...!