ඉවත දමන පත්තර වලින් නිවෙස අලංකාරයට නිර්මාණයක්

මැයි 6, 2020

මේ කාලය තුළවිවේකය අර්ථවත් ලෙස ගත කිරීමට යොදා ගත හැකි පුංචි අත්කම් නිර්මාණයක් වුවත් පසු කලෙක ඔබට ස්වයං රැකියාවක් ලෙස යොදා ගෙන අමතර ආදායමක් උපයා ගත හැකිවනු නොඅනුමානයි.

අනපේක්ෂිත මොහොතක ලද විවේකයේ නිවෙසේ සිටින ඔබට සරලව සාදා ගත හැකි පුංචි අත්කම් නිර්මාණයක් අපි අද ඔබට ඉදිරිපත් කරමු. මෙහි වාසිය වන්නේ ඉතාමත් සරලව, පහසුවෙන් නිවෙසේ අපි ඉවත දමා ඇති හෝ කියවා අවසන් කර ඇති පරණ පත්තරවලින් සාදා ගත හැකි වීමයි. මේ සඳහා අවශ්‍ය දේවල් වන්නේ

 නිවෙසේ ඇති ප්ලාස්ටික් භාජනයක්

 ඉටිකොළ කැබැල්ලක්

 පත්තර ඇලවෙන ගම් වර්ගයක්

(සාමාන්‍ය ගම්, බයින්ඩර් ගම් හෝ පාප්ප වුවත් සුදුසුයි.)

 පත්තර/සඟරා කිහිපයක්

 ඉරටුවක්

දැන් අපි බලමු මෙම නිර්මාණය සකසා ගන්නා ආකාරය.

පළමුව අපි පත්තර රෝල් කර රවුම් සාදා ගත යුතුයි. පරණ පත්තරයක් ගෙන අඟල් 2 1/2 පමණ පළල දිග තීරු පටි කපා ගන්න.

තමන්ට අවශ්‍ය පරිදි පළල අඩු වැඩි කරගත හැකිය. මේසයක් මත තබා කපාගත් දිග තීරුවේ එක මුල්ලකට ඉරටුව තබා ඉරටුව දිගේ පත්තර තීරුව ඔතාගෙන යන්න. ඉන්පසුව ඉරටුව ඉවත් කරන්න.

දැන් මෙම තීරුව නිමාවක් ලැබෙන පරිදි අතින් සකසා ගන්න.ගම් ගා කෙළවර අලවාගන්න.

දැන් අපේ අතේ තිබෙන දිගට පවතින රෝල් කළ පත්තර තීරුව අතින් තලන්න, පළල් වන ලෙසට. එවිට පළල් වූ දිග තීරුවක් ලැබේ.

එය අතින් රවුමක් ලෙස මහත අඩු පැත්තේ සිට ඔතන්න. කෙළවර ගම් ගා අළවන්න.

මේ සඳහා දී ඇති ඡායාරූප පෙළ උපයෝගී කර ගන්න. එලෙස අවශ්‍ය ප්‍රමාණයට රවුම් සකස් කර ගන්න. අඩිය සඳහා පත්තර තීරු කිහිපයක් එකට අලවා භාජනයේ අඩිය ප්‍රමාණයට විශාල රවුමක් සාදා ගන්න.

දැන් අපි භාජනය සෑදීම ආරම්භ කරමු. අප ළඟ ඇති ප්ලාස්ටික් භාජනය තුළට ඉටිකොළ කැබැල්ල දමන්න. අප එය සිදුකරන්නේ අවශ්‍ය හැඩය ලබා ගැනීම සඳහායි. දැන් අපි අඩිය ලෙස සාදාගත් විශාල රවුම භාජනයේ අඩියේ තබන්න. ඉන්පසු අප සාදා ගත් අනිත් රවුම් වටේට තබමින් රටාවකට පිළිවෙළකට අලවාගන්න. සාදා අවසන් වූ පසු ගම් වේළෙන්න පසෙකින් තබන්න.

මෙලෙස අපට අලංකාර වූ භාජනයක් සාදා ගත හැකිය. සැමවිටම ඡායාරූප පෙළ උපයෝගී කර ගන්න.

මෙය ඔබ විවේකය අර්ථවත් ලෙස ගත කිරීමට යොදා ගත හැකි පුංචි අත්කම් නිර්මාණයක් වුවත් පසු කලෙක ඔබට ස්වයං රැකියාවක් ලෙස යොදා ගෙන අමතර ආදායමක් උපයා ගත හැකිවනු නොඅනුමානයි.

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පීනී

ඉරේෂා අබේකෝන්