චාරිකාවේ රැගෙන යන්න ඉඩකඩ ඇති බෑගයක්

ජනවාරි 9, 2023

 

ඔබේ ආදරණීය මවට වන්දනාවේ ගෙනයාහැකි කදිම බෑග් එකකි මේ. ඇගේ උපන් දිනයට වුණත් මෙවැනි බෑගයක් ඔබට තිළිණ කර දිය හැකියි. මේ සඳහා නි‍ෙවසේ ඇති ඕනෑම රෙදි වර්ගයක් භාවිත කරන්න පුළුවන්. මේ බෑගය ගමන් යාමේදී ඔබටත් ඇඳුම් දැමීමට කදිමයි. එසේත් නැතිනම් පුංචි බබෙකුට අවශ්‍ය කරන ඇඳුම් ආයිත්තම් වුව දමා ගෙන යන්නට කදිමයි.

 

මසා ගැනීමට මේවා අවශ්‍ය වෙනවා

මුද්‍රිත රෙදි වර්ගයක්

ලයිනින් රෙදි

පැඩිං

අඟල් 27 දිග නොම්බර පහ සිප් එකක්

සිප් හෙඩ් 1 නො 05

හැඩ්ල් පටි

 

මෙලෙසින් මසාගන්න:-

දී ඇති රූප සටහන් බලා කාඩ්බෝඩ්වල පතරෝම් ඇඳ රෙදි මත තබා කපාගන්න. එක රූපය ඉදිරිපස හා පිටුපස කොටස් වේ. දී ඇති පරිදි සකස් කරගෙන රෙදි, පැඩිං, ලයිනින් එක මත පිළිවෙළට තබා වටේ මසාගන්න. තනිපාට අඟල් 6 උස අඟල් 15 පළල රෙදි කොටස් දෙක ද සකස් කරගෙන පහළින් තබා මසාගන්න. ඊට ප්‍රථම හැඬල් පටි දෙක සකස් කරගෙන බෑගයේ පහළ සිට ඉහළට තබා මසන්න. ඡායාරූපය දෙස බලන්න.

හැඬල් පටි අඟල් 1 1/2 පළල සිටින ලෙස ඇතුළට නවා මසාගන්න. අංක 2 දෙපස කොටස් දෙක

වේ. ඒ සඳහාද තනිපාට අඟල් 6 උස අඟල් 6 පළල රෙදි කොටස් දෙකක් ද කපාගෙන යට සිට ඉහළට තබා මසා අලංකාර කරගන්න.

රෙදි, පැඩිං, ලයිනින් එකට තබා එම කොටස් දෙක ද වටේ මසාගන්න. තනි පාට රෙදි කොටස කුයිල්ඩ් කර ගන්න.

අංක 3 අඩිය කොටස වේ. එය ද රෙදි, ලයිනින් පැඩිං එක මත තබා වටේ මසාගන්න. අංක 4 සිප් බෝඩරය වේ. රෙදි ලයිනින් එක මත තබා වටේ මසාගන්න. දැන් අංක දෙක දෙපස කොටස් දෙකෙහි අඟල් 6 උසින් අපි මැසූ තනි පාට රෙදි කොටස ළඟින් වෙන්කර මුද්‍රිත රෙදි කොටස් දෙක සිප් බෝඩරය ට අඟල් 6 පැත්තෙන් සම්බන්ධ කරන්න. මැදින් වෙන්කර සිප් එක අල්ලන්න. අඟල් 27 දිග සිප් බෝඩරය දෙපස කපා ඉවත් කළ තනිපාට කොටස් දෙකට මූට්ටු කරන්න. ඡායාරූපය බලන්න. දැන් අපි මූට්ටු කර දෙපස සහ සිප් බෝඩරය ඉදිරිපස පිටුපස කොටස් දෙක අතරට තබා කණපිට පැත්තෙන් වටේම මසන්න. අඩිය කොටසද මුට්ටු කරන්න. දැන් අපට පෙට්ටියක ආකාරයේ බෑගයක් නිර්මාණය වී ඇත. හොඳ පිට හරවා බෑගය අලංකාරය බලන්න.

 

උපදෙස් :-

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි

ඉරේෂා අබේකෝන්

 

රූ රටා - විදුමිණි