ගස් යට වැටි වැටි යන කොස් ඇට සල්ලි කරන්නේ මෙහෙමයි

මේ විදියට ගෙදරම ඉඳන් සල්ලි හොයන්න පුළුවන්
ජනවාරි 30, 2023

 

කොස් ඇටකියන්නේ අපේ ගම්වල ගස් යට වැටිලා යන වටිනා සම්පතක්. ගස් යට වැටිලා කුණුවෙලා ගියාට කොස්වල වටිනාකම තවම අපේ මිනිස්සු හඳුනාගෙන නැහැ. හැබැයි අපේ රටේ ගස් යට කුණුවෙන මේ කොස්ඇටවලට ලෝකයේ වෙනත් රටවල තියෙන්නේ පුදුම ඉල්ලුමක්. ඇත්තටම මේ පුදුම ඉල්ලුමට සැපයුම කියන්න බැරි තරම්. ඒ තරමටම රසවත් කෑමක් ලෙසයි යුරෝපීය රටවල සලකන්නේ. යුරෝපීය රටවල විතරක් නොවෙයි අරාබි රටවල වගේම ආසියාවේ වෙනත් රටවලත් හොඳ ඉල්ලුමක් තිබෙනවා.

මේ ඉල්ලුම හඳුනාගෙන හොඳ ව්‍යාපාරයක් කරන ගෘහණියක් අපට හමු වුණා. ඇය අපේ රටේ හැදෙන විවිධ වර්ගයේ ආහාර වර්ග විජලනය කරලා පිටරටවලට යවලා හොඳ මුදලක් උපයනවා. ඒ විතරක් නොවෙයි ඇය අපේ රටේ වැවෙන කොස්, දෙල්, පොලොස්, විතරක් නොවෙයි තවත් බොහෝ දේ විජලනය කර විදේශ රටවලට අපනයනය කරනවා. එලෙස අපනයනය කරන ඇය විශාල මුදලක් හොයනවා. ඉතා පුංචියට පටන් ගත්තු ඇයගේ ව්‍යාපාර දැන් හොඳ සාර්ථක ව්‍යාපාරයක් බවට පත්වෙලා.

 

මෙලෙසින් අපේ රටේ කොස් ඇට පිටරට යවලා සාර්ථක වූ ඇය සොයාගෙන ගියේ නාරාහේන්පිට නාවලටයි. ඒ දිලානී මනෝජිගේ නිවහනට. පුංචි ඉඩකඩක දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කර ඇති ඇය මේ වන විට රටවල් අටකට පමණ අපේ දේශීය ආහාර වර්ග අපනයනය කරනවා. මෙලෙසින් තමුන්ගේ උත්සාහයෙන් ආරම්භ කළ මේ ව්‍යාපාරය සාර්ථක කරගත් ආකාරය ඇය අපට සඳහන් ක‍ෙළ් මහත් අභිමානයෙනි. “මම මේ ව්‍යාපාර පටන් ගත්තේ ඉතාම සුළුවෙන්. හැබැයි දැන් මට සපයාගන්න බැරි ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම දැන් මට කොස් සහ කොස් ඇට ඕනෑම ප්‍රමාණයේ තොග වශයෙන් ගන්න පුළුවන්. නමුත් මට අවශ්‍ය තරම් ප්‍රමාණයක් සොයා ගන්න බැරි තරමට අපේ ව්‍යාපාරයට ඉල්ලුමක් තිබෙනවා. පැසුණු කොස් හෝ කොස් ඇට සොයා ගැනීම තමයි ලොකුම ගැටලුව. කොළඹ ප්‍රදේශයේ කොස් දැන් හුඟක් අඩුයි. ඒ නිසා විශාල ඉල්ලුමක් තියෙනවා. අපට පිට ගම්වලින් තමයි කොස් ඇට සොයා ගන්න වෙලා තියෙන්නේ.

 

අපි මුලින්ම කරන්නේ හොඳට පැසුණු කොස් අරගෙන මදුළුවලට ගලවනවා. ඒ ගලවපු කොස් මදුළු තම්බනවා. තම්බලා තමයි විජලනය සඳහා ඩීහයිඩ්‍රේට් මැෂින්වලට දමන්නේ. කොස් ඇටත් ඒ ආකාරයටම තමයි අපි විජලනය කරන්නේ. ඒ ආකාරයට විජලනය කරපු කොස් ඇට පිටි වශයෙන් හෝ ඇට වශයෙන් ලබාදීම සඳහා ඇසුරුම් කරනවා.

 

ඒ ආකාරයට ඇසුරුම් කරපු අපේ නිෂ්පාදන වෙනත් නිෂ්පාදනයක් ලෙස අලෙවි කරන අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස කැඳ සෑදීමට ගන්නවා, ළදරු ආහාර වශයෙන් නිෂ්පාදනය කරනවා. ඒ වගේ අපි කොස්වලට අමතරව කහ, ඉඟුරු, පොලොස්, කොහිල, කරපිංචා, ගොටුකොළත් විජලනයෙකර වෙළෙඳපොළට සපයනවා. සාමාන්‍ය අපෙන් විශාල වශයෙන් මිලදී ගන්න ව්‍යාපාරික ජාලයක් තිබෙනවා. ඒ අයට කිලෝ සීය, දෙසීය තරම් ප්‍රමාණයෙන් අපි සපයනවා.

 

ඇත්තටම කොළඹ ප්‍රදේශයේ පුංචි තැනක තමයි මේ ව්‍යාපාර කරගෙන යන්නේ. මගේ සැමියා මේ ව්‍යාපාරයට විශාල සහයෝගයක් දක්වනවා. අපි මුලින්ම පටන් ගත්තේ කිලෝ එකක මැෂිමකින්. ඒ වගේම අන්තර්ජාලයෙන් තමයි විදේශ වෙළෙඳ ව්‍යාපාරිකයන් සම්බන්ධකර ගන්නේ. පුංචි කාලයක් කරගෙන යනකොට අපේ ව්‍යාපාරය දියුණු වුණා. දැන් අපට කිලෝ ග්‍රෑම් දාහක් වුණත් විජලනය කරන්න පුළුවන් මැෂින් තියෙනවා. අපට ලොකුම ගැටලුව තමයි අපේ ඉල්ලුමට සැපයුම දෙන්න කොස් ඇට නොතිබීම. ඕනෑම කෙනකුට පුළුවන් හොඳ කොස් ඇට අපට ලබා දෙන්න. අපි මිලදී ගන්න සූදානම්. ඒ වගේම දැන් අපේ නිෂ්පාදන කිහිපයක් වෙළෙඳපොළටත් එක් කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම අපි ඕනෑම කෙනකුට, මේ ව්‍යාපාරය ආරම්භ කරන්න උනන්දුව ඇති අයට මඟ පෙන්වීම ලබා දෙන්නත් සූදානම්.”