විසිකරනා පොල් කට්ටෙන් සල්ලි ගහක් හදාගන්න

පෙබරවාරි 6, 2023

දැන් සාමාන්‍යයෙන් පොල් කටු අඟුරු කිලෝ එකක මිල රු. 80 – 100ක් පමණ වෙනවා. මෙවැනි ව්‍යාපාරයකදී පොල් කටු 2000ක ප්‍රමාණයකින් අපට කිලෝග්‍රෑම් 100ක් තරම් සාදා ගන්න පුළුවන්.

 

මේ කාලයේ අප හැමෝටම අසීරු කාලයක්... සමහරු හිතන්නේ මේ අසීරු ඉලක්කය ජය ගන්න නම් විදේශ රැකියාවකට යන්න ඕනේ කියලා. තවත් සමහරු හිතන්නේ අපට අතට ලැබෙන වැටුපට අමතර මුදලක් සොයා ගන්න. තවත් සමහරු හිතන්නේ තමුන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න. මේ සියලුම ඉලක්ක වෙත ළඟාවීම තරමක අසීරු කාලයක් තමයි අප පසු කරන්නේ.

 

ඒ කියන්නේ අපට අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳ තරමක අවදානමක් තිබෙනවා. පවතින ආර්ථික පසුබිමත් එක්ක අලුත් ව්‍යාපාරයක් සාර්ථක වීම තරමක් අභියෝගාත්මකයි. ඒ වගේම තමයි තමුන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමත්. එවැනි ව්‍යාපාරයකටත් ප්‍රාග් ධනයක් අවශ්‍ය වෙනවා. මේ කාලයේ පුංචි ස්වයං රැකියාවක් ආරම්භ කිරීම තමයි බුද්ධිමත්ම පියවර.

බොහෝදෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ තවත් කෙනෙක් කරන ව්‍යාපාරයක සාර්ථකත්වය දැකලා. ඒ ව්‍යාපාරයම අනුකරණය කිරීම තමයි බොහෝදෙනෙකුගේ පුරුද්ද. නමුත් මේ සාම්ප්‍රදායික සිතුවිල්ලෙන් මිදිලා අපට මුදල් උපයන්න ක්‍රම බොහෝ තිබෙනවා. ගෘහණියක් ලෙස කාන්තාවක් ලෙස මෙවැනි අලුත් සිතුවිල්ලක් ඇති වෙන්නේ ඔබ වැනි ධෛර්යමත් යුවතියන්ට. සමහරවිට නිවෙසේ ඉවත් කරන කුණු ටිකෙන් පවා මුදල් සොයන්න ඔබට පුළුවන්.

අප මෙවර ඔබව රැගෙන යන්නේ එවැනි සිතුවිල්ලක් තුළින් ව්‍යාපාරයක් පටන් ගන්න. අපේ රටේ සෑම නිවෙසකම පොල් පරිභෝජනය කරනවා. මෙලෙස පොල් යොදාගෙන කෑම බීම හදන ඔබගේ නිවෙසේ දිනකට පොල් කටුවක් දෙකක් එකතු වෙනවා. මේ එකතු වෙන පොල් කටු බොහෝදෙනෙක් කරන්නේ උරයකට දමා එකතු කිරීම. එහෙම නැතිනම් විසි කරනවා. මෙලෙස නිවෙසක එකතුවෙන පොල් කටු කියන්නේ සල්ලි උපයන උල්පතක්. ඔබේ නිවෙසේ එකතු වෙන පොල් කටු අඟුරු යොදාගෙන විදේශ රටවල විවිධ නිෂ්පාදන රැසක්ම කරනවා. තීන්ත නිෂ්පාදනය, රූපලාවණ‍ය නිෂ්පාදන, බාබක්‍යු වැනි කටයුතුවලට යොදා ගන්නවා.

 

අපට පුළුවන් මේ විදේශ ඉල්ලුමට ගැළපෙන පොල්කටු අඟුරු නිෂ්පාදනය කරන්න. පොල් කටු අඟුරු නිෂ්පාදනය කියන්නේ මහා පරිමාණයේ ක්‍රියාවලියක් නොවෙයි. ඉතාම පුංචියට නිවෙසක ඉතාම පහසුවෙන් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් තමා පොල්කටු අඟුරු නිෂ්පාදනය. හැබැයි මෙලෙස පොල්කටු අඟුරු හදාගන්න ඔබේ නිවෙසේ එකතුවන පොල් කටු ටික විතරක් ප්‍රමාණවත් නැහැ. තවත් නිවාස කිහිපයක පොල්කටු ටික එකතු කර ගන්න වෙනවා. අවම වශයෙන් ගෙවල් 20 – 30 පොල්කටු ටික නිතිපතා ඔබට එකතු කරගන්න ක්‍රමවේදයක් හදා ගත්තොත් හොඳ ලාභයක් ගන්න පුළුවන්.

මෙලෙස ඔබ පොල්කටු නිෂ්පාදනය කරන විට අවශ්‍ය වෙන්නේ පොල් කටු පිලිස්සීම සඳහා බැරල් එකක්. ඊට අමතරව පොල්කටු අඟුරු පැකට් කිරීම සඳහා සරල සීලර් එකක් හා පොල්කටු දුමාරය අවට නිවාසවලට හා ගොඩනැගිලිවලට නොයන ආකාරයට සකස් කරගන්නා ස්ථානයක් විතරයි.

දැන් සාමාන්‍යයෙන් පොල්කටු අඟුරු කිලෝ එකක මිල රු. 80 – 100ක් පමණ වෙනවා. මෙවැනි ව්‍යාපාරයකදී පොල්කටු 2000ක ප්‍රමාණයකින් අපට කිලෝග්‍රෑම් 100ක් තරම් සාදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොල් කටුවක මිල රුපියල් දෙකක්, දෙකයි පනහක් පමණ වෙනවා. සරල ලෙස අප මේ ව්‍යාපාරය ගැන විග්‍රහ කළොත් පොල් කටු 2000කට රුපියල් 4000ක මුදලක් වැය වුණොත් එයින් අපට රුපියල් 8000ක මුදලක් උපයන්න පුළුවන්. අපට මේ රුපියල් 4000ක මුදලින් 8000ක් ලැබුණොත් රුපියල් 4000ක ලාභයක් තියෙනවා. ඇත්තටම එය ඔබ වැය කරන මුදලට හා ශ්‍රමයට උපරිම ලාභයක්.

ඔබට මේ පොල්කටු අඟුරු නිසි ප්‍රමිතියට අනුව අඟුරු කරගත් පසු මිලදී ගන්නා ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා. එසේ නොමැති නම් ඔබටම විදේශ රටවලට අපනයනය කරන ක්‍රමයක් සකස් කර ගන්නත් හැකියාව තියෙනවා. හැබැයි මෙලෙස විදේශ රටවලට අපනයනය කරන්න ඔබට එක්වරම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ටික කාලයක් මේ ව්‍යාපාරය ගැන අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා.

ඒ වගේම උපායශීලි ලෙස ව්‍යාපාරය දියුණු කරගන්න වෙනවා.

මුලින්ම මේ කටයුත්තට ඔබගේ හිතවත් පිරිසක් සම්බන්ධ කරගන්න. වෙනත් ප්‍රදේශවලින් පැමිණ පොල්කටු මිලදී ගන්නා මිලට වඩා වැඩි මුදලක් ඔවුන්ට ලබා දෙන්න. උදාහරණයක් ලෙස නිවාසවලට පැමිණ පොල්කටු එකතු කරන ලොරියකින් රුපියල් දෙකක් දෙන විට ඔබ රුපියල් 2.50ක මුදලකට පොල්කටු මිලදී ගන්න. එවිට ඔබට පහසුවෙන්ම අවට නිවාසවල පොල්කටු සියල්ලම එකතුකර ගැනීමට හැකිවනු ඇත. එසේම ඔබට පොල්කටු සපයන නිවාසවලට පුංචි තිළිණයක් ලබා දෙන්න. ඔවුන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්න. මිලදී ගත් මොහොතේම මුදල් ලබා දෙන්න. ඔබ විශ්වාසවන්තව මේ කටයුත්ත ක්‍රමානුකූලව කරගෙන යන විට ඉතාම පහසුවෙන් සාර්ථක ව්‍යාපාර ජාලයක් ගොඩනඟා ගැනීම අපහසු නොවනු ඇත. එසේම ඔබගේ පොල් කටු අඟුරු මිලදී ගැනීමට ද තරගකාරී ආයතනය ඔබ සොයාගෙන නිරායාසයෙන්ම පැමිණෙනු ඇත.

පොල් කටු අඟුරු නිෂ්පාදනය ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 011-2429592 අංකයට කතා කරන්න.