අතින් හදපු ගිෆ්ට් එකක් තරම් වටින දෙයක් තියෙනව ද?

ගුරු මුෂ්ටියක් නැතිව රෙසින් කලාව ඉගෙන ගනිමු
මාර්තු 4, 2024

'හරිම ලස්සන කීටැග් එකක්' අනූ එයාගේ ලොකර් එකේ යතුරට දාලා තියෙන කී ටැග් එක දැක්කම මට ඉබේටම වගේ එහෙම කියවුණේ මේ විදිහේ කී ටැග් එකක් මං කලින් දැකලා තිබුණේ නැති නිසයි.

'හංසි මේක රෙසින් කී ටැග් එකක්. මගේ නංගි තමයි මේවා හදන්නේ..' 'එයා මෙච්චර ලස්සනට මේවා හදනවා කියලා හිතන්නවත් බෑනේ. මං හිතුවෙම කඩෙන් ගත්ත එකක් කියලා. ' මුලදි එයාටත් හරියටම වැඩේ අල්ලගන්න අමාරු වුණා. ඒත් දැන් එයා ව්‍යාපාරයක් විදිහටයි රෙසින් කලාව කරගෙන යන්නේ. මමත් ටිකක් දන්නවා. මං ඔයාටත් කියලා දෙන්නම්කෝ. ප්‍රායෝගික දැනුම තිබ්බට විතරක්ම මදි. පොඩි නිර්මාණශීලි හැකියාවකුත් තියෙන්න ඕනේ..

මේ රෙසින් නිර්මාණය සැකසුමට පළමුව රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 1:2 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවී.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවී.

මේ කී ටැග්ස් නිර්මාණයකර ගැනීමට යොදාගන්නේ ක්ලියර් ස්ටිකර් එහෙමත් නැතිනම් ට්‍රාන්ස්පේරන්ස් ස්ටිකර් කියලත් මේවා හඳුන්වන්න පුළුවන්. අන්තර්ජාලයේ කළු/සුදු මෙවැනි ස්ටිකර් කිහිපයක් බාගත කරගෙන තමන්ගේ කී ටැග් මෝල්ඩ් එකේ ප්‍රමාණයට ගැළපෙන පරිදි ට්‍රාන්ස්පේරන්ට් ශීට් එකක ප්‍රින්ට් කර ගැනීම කළ යුතුයි. මෙය ඉතා අඩු මුදලකට පේන්ටින් වෙළෙඳසැලකින් කරගන්න පුළුවන්.

මේ මෝල්ඩ් එකේ කී ටැග්ස් හතරක් නිර්මාණය කරගත හැකිය. රූප සටහන් දෙස බලන විට කී ටැග්

තුනක් නිර්මාණයකර තිබෙන ආකාරය දකින්න පුළුවන්. එහිදී කී ටැග් දෙකක් නිර්මාණය කිරීමට යොදාගෙන තිබුණේ වර්ණ තුනක් බැගිනි. අනෙක් කී ටැග් එක සඳහා වර්ණ දෙකක් භාවිතකර තිබේ. ඒ ආකාරයට කැමැති පරිදි වර්ණ ගැළපීම කළ හැකිය.

දැන් වර්ණ සකසා ගත යුතුයි. රෙසින් නිර්මාණ සඳහා යොදා ගන්නේ මයිකා පවුඩර් වර්ගයයි. දැන් අපි වර්ණක සකසා ගනිමු. ඒ සඳහා කප් තුනක් ගෙන එකිනෙකට දම්, රතු සහ කහ යන යන වර්ණ එකතුකර ගන්න.

ඒ එක් එක් කප්වලට මුලදී සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න.

රූපයේ පරිදි මෝල්ඩ් එකට රතු වර්ණය පැත්තකින් ටිකක් එකතුකර ටූත් පික් එකෙන් හැඩකර ගන්න. ඒ ආකාරයටම අනෙක් පසෙන් දම් වර්ණය එකතුකර මැද කොටසට කහ වර්ණය එකතු කරන්න. මෙම වර්ණ එකතුකර ගැනීමේදී ඉතාම සුළු ප්‍රමාණයක් එක්කර ගන්න. දැන් ටූත් පික් එකෙන් වර්ණ එකිනෙකට සම්බන්ධකර ගන්න. ඒ ආකාරයට වර්ණවල අඩු වැඩි බවත් ටූත් පික් එකෙන් සකසා ගන්න පුළුවන්. ඒ විදිහට අනෙක් කී ටැග් මෝල්ඩ් එකට රතු, තැඹිලි සහ කහ යන වර්ණ එකතුකර ගන්න පුළුවන්.

දැන් මෙය පැය කිහිපයක් වියැළෙන්නට තබන්න. පෙර සඳහන් කළ ක්ලියර් ස්ටිකර් ගැළපෙන පරිදි අලවා ගන්න. මෙය තවත් අලංකාරකර ගැනීමට වගේම 3D පෙනුමක් ලබා දීමට රූපයේ පරිදි කුඩා පාෂණ කැබලි අලවා ගන්න. අවසානයට විනිවිද පෙනෙන පිරිසුදු රෙසින් ලේයර් එකක් දමා වියැළෙන්න තබන්න. හොඳින් වේළුණු පසු මේවා මෝල්ඩ් එකෙන් ගලවා ගන්න.

ඉන්පසු කීටැග් එකේ කුඩා රවුම් සිදුරට චම්ප් රින්ග් එකක් සම්බන්ධකර කී චේන් එකක් දමාගන්න.

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka