ඔයත් හැමදේම Facebook දානව ද?

ජුනි 30, 2025

අද මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක්. කොයිතරම් දුරක ඉඳගෙන වුණත් එක ක්ෂණයකින් ලෝකේ එහා කොනේ සිද්ධ වෙන දෙයක් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි මිතුරු සබඳකම්. ෆේස්බුක්, ට්විටර්, ස්කයිප්, වයිබර්, වට්ස්ඇප් කියන ඔය සියලුම සමාජ ජාලා වෙබ් අඩවිවලට ස්තූතිවන්ත වෙන්න යාළුමිත්‍රකම් පවත්වන එක හරිම ලේසි වැඩක්. හැබැයි අපි සරලව දැක්කට ඒක පිටිපස්සේ තියෙන අවදානම නම් සරල නැහැ. අපේ ජීවිතයේ සියලුම දේවල් අන්තර්ජාලයත් එක්ක බෙදා ගන්න එක, එක වේලාවකදී ලොකු අවදානමක් වෙන්නත් පුළුවන්. ඉතින් තමන්ගේ පෞද්ගලිකත්වය රැකගෙන ඔය කියපු සමාජ ජාලාවල සැරිසරන එක හැමෝම අවධානය යොමු කරන්න ඕනෙ කාරණාවක්.


පාස්වර්ඩ්

පාස්වර්ඩ් එකක් යොදද්දී වුණත් හුඟක් කරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. ලේසියට නමයි 1234 කියල දාන පාස්වර්ඩ් ඕනෑම කෙනෙකුට ලේසියෙන් ගෙස් කරන්න පුළුවන්නෙ. පාස්වර්ඩ් එකක් දාද්දි සයිට් එකෙන් ඉල්ලන කැපිටල් සිම්පල් අකුරු, ඉලක්කම්, සංකේත කියන ඔක්කොම පාවිච්චි කරලා ශක්තිමත් මුරපදයක් හදාගන්න. අනිත් එක තමයි Two Factor Authentication. ඒ කියන්නෙ පාස්වර්ඩ් එක ගැහුවත් නැවත තහවුරු කිරීමකින් මිසක් ඔබේ එකවුන්ට් එකට ලොග් වෙන්න බැහැ. පාස්වර්ඩ් ගහල ලොග් වෙන්න ට්‍රයි කරද්දී ෆෝන් එකට මැසේජ් එකක් එනව මේ ලොග් වෙන්න හදන්නෙ ඔයාම ද කියලා. මේකත් පරිස්සම් වෙන්න හොඳම ක්‍රමයක්.
පෞද්ගලික තොරතුරු

තමන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු, පෞද්ගලිකත්වය ප්‍රදර්ශනය කෙරෙන ඡායාරුප කිසිසේත්ම අන්තර්ජාලයට නිකුත් කරන්න එපා. හැබැයි අහනවා නමයි, ගමයි, උපන් දිනෙයි, ඉස්කෝලෙයි ඔක්කොම. ඒත් තොරතුරු දෙන්නෙ පරිස්සමෙන්. තොරතුරු සහ පින්තූර තමන්ගේ වුවමනාවට ඇතුළත් කළත් පුළුවන් තරම් සිකියුරිටි හදලා ඇතුළු කරන්න. ඒ කිව්වේ බලන්න පුළුවන් ඔයාට හෝ යාළුවන්ට පමණයි. අන්තර්ජාලයට නිකුත් කරන පින්තූර හෝ තොරතුරුවලින් අපි නොහිතන විදිහේ ලොකු ලොකු හානි පෞද්ගලික ජීවිතයට වෙන්න පුළුවන්. ඒ නිසා අවදානමට පෙර වළක්වා ගන්න එක හොඳයිනේ.

අනවශ්‍ය මිතුරන්

දන්න, නොදන්න හැම කෙනාගෙන්ම ඔයාට රික්වෙස්ට් එන්න පුළුවන්. ඒ අතරේ අසභ්‍ය නම්, ගම්, පින්තූර එක්ක පවා රික්වෙස්ට් එනවා. ඔය දෙකම නැතුව හරිම සාමාන්‍ය නම් ගම්වලින් පවා ෆේක් රික්වෙස්ට් එන්න පුළුවන්. ඒ නිසා ඔය කොයික ආවත් අදාළ ප්‍රොෆයිල් එක ගැන හොඳට හොයල බලන්නේ නැතුව රික්වෙස්ට් ඇක්සේප්ට් කරලා තමන්ගේ ගිණුමට එකතු කරගන්න නම් එපා. හොඳම දේ තමයි සැබෑ ජීවිතේදී නොදන්න කිසිම කෙනෙක් මේ සමාජ ජාලාවලදීත් සම්බන්ධ කරනොගන්න එක. ඔය ඔන්ලයින් යාළුකම් සත පහකට විශ්වාස කරන්න බැහැ.

එදිනෙදා ජීවිතය

අපි හැමෝම ආසයි තමයි එදිනෙදා ජීවිතයේ යන එන හැම තැනම ලස්සන ෆොටෝ ගහලා හැමෝටම පේන්න දන්න. ඒත් ඒකත් නරකට හිටින්න පුළුවන්. බලන් ඉන්න කෙනෙක්ට තමන් යන එන තැන්, හිතවත් මිනිස්සු කියන ඔක්කොම තේරුම් ගන්න පුළුවන් විදිහට ඉන්ටර්නෙට් එකට ෆොටෝ, ස්ටේටස්, කමෙන්ට්ස් එහෙම දාන්න එපා. පෞද්ගලික ප්‍රශ්න ප්‍රසිද්ධියේ කතා කරන්න එපා. ඒවගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න අය ඕනතරම් ඉන්න පුළුවන්. සමහර දේවල් ප්‍රසිද්ධ කරනවට වඩා තනියම විඳින තරමට ලස්සනයි.


පොදු පරිගණක

තමන් ඉන්ටර්නෙට් ලොග් වෙන්න පාවිච්චි කරන පරිගණකය ගැන අවධානය යොමු කරන එකත් ඉතාම වැදගත්. තමන්ගේ පෞද්ගලික පරිගණකයක් හෝ පෞද්ගලික ජංගම දුරකතනයක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් යනවනම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒත් ඒවත් හැම වේලාවෙම වෙන කෙනෙකුට බලන්න බැරි විදිහට පාස්වර්ඩ් දාලා ලොක් කරල තියන්න පරිස්සම් වෙන්න. පොදු තැනක කම්පියුටර් එකක්, ඒ කිව්වේ ඔෆිස්වල කැෆේවල වගේ ඒවගෙන් ඉන්ටර්නෙට් යනවනම් පුළුවන් තරම් ප්‍රයිවට් බ්‍රවුසර් එකකින් ලොග් වෙන්න. එතකොට ඔයාගේ පාස්වර්ඩ්, හිස්ට්‍රි සේව් වෙන්නේ නැහැ. අනිත් එක තමයි වැඩේ ඉවරවෙලා නැඟිටලා යද්දි හැම වේලාවකම මතක ඇතුව තමන් ලොග් වුණු හැම එකවුන්ට් එකකින්ම ලොග් අවුට් වෙන්න.