මනා දැක්මකින් සාර්ථක අරමුණක් කරා...

අගෝස්තු 21, 2019

අප සිදු කරන කුමන හෝ කාර්යයක් සාර්ථක වීම සඳහා අරමුණක් තිබිය යුතුය. අරමුණක් නැතිව සිදු කරන කාර්යයන් සාර්ථක වීමේ ඉඩ කඩ ඉතාමත් අඩු ය.

බොහෝ පුද්ගලයන් ජීවත් වන්නේ තමාට අවශ්‍ය අරමුණ කුමක්දැයි නොදැනයි. ඔවුන් බොහෝ විට කරන්නන්වාලේ දේවල් සිදුකර සාර්ථකත්වය සොයයි.

මඳක් සිතන්න, ලංකාවේ වැඩියෙන්ම ගෞරවාදරයට පත්වන සත්ත්වයෙක් වේ නම් ඒ ඇතා ය. මේ ඇත්තුන්ගෙන් ද වඩාත් ගෞරවයට පාත්‍ර වී සිටින්නේ දළදා මාලිගාවේ කරඬුව වඩම්මන ඇතා ය. නමුත් ඇත් පැටියෙක් කවරදාවත් ලොකු වුණාම මම මාලිගාවේ කරඬුව වඩම්මන ඇතා වෙනවා යැයි නොසිතයි. මිනිසා හැර කිසිම සතෙකුට තමා මේ සිටින තත්ත්වයෙන් උසස් තත්ත්වයකට යනවා යැයි සිතා තීරණ ගැනීමට නොහැකිය. එසේ සිතිය හැකි එකම සත්ත්වයා වන්නේ මිනිසා ය.

මේ අනුව මනුෂ්‍යයකුට තමාට හැකි උපරිම දුරට, සාර්ථකත්වයට යාමට උත්සාහ කිරීම සිදු කළ හැකියි. හැම සතකුම සාමාන්‍යයෙන් සුහුඹුලෙක් බවට පත් වේ. ඔවුන්ගේ අරමුණ තම වර්ගයා බෝ කිරීම සඳහා පැටවුන් බිහි කිරීමයි. වෙනත් අදහස්, අරමුණු තිබෙන්නේ මිනිසාට පමණි.

'ආහාර නිද්‍රා භය මෛථුනං ච' ලෙස සංස්කෘත ශ්ලෝකයක් වේ. ඉන් කියැවෙන්නේ ආහාර, නින්ද, ජීවිතාසාව නිසා ඇති වන භය හා වර්ගයා බෝ කිරීම යන කරුණු හතර සෑම සතකුට ම පොදු බවයි. මනුෂ්‍යයකු ලෙස අප, අපට යාමට හැකි උපරිම දුර පිළිබඳ සිතිය යුතුය.

ලංකාවේ මවුපියන්ගෙන් වැඩි දෙනෙක් තමාගේ දරුවා වෛද්‍යවරයකු කිරීමට කැමැත්තක් දක්වති. එසේ කරන්නේ යැයි දැයි ඇසූ විට ලැබෙන පිළිතුරු කිහිපයකි. සමාජයේ හොඳ පිළිගැනීමක් ඇති වෘත්තියක් නිසා, වැඩි මුදල් ප්‍රමාණයක් ඉපැයිය හැකි නිසා, මවුපියන්ට බැරි කාලෙක ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි නිසා ආදී බොහෝ කරුණු පවසා අවසානයේ දී පවසන්නේ මිනිසුන් සුවපත් කිරීමට බවයි. මෙහිදී අපි ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ 'පුද්ගලයෙක් වෛද්‍යවරයකු විය යුත්තේ ඇයි?' යන පැනයයි. මෙහිදී ලැබිය යුතු මූලික පිළිතුර වන්නේ 'මිනිසුන් සුවපත් කිරීම' යන්නයි. 'මට අවශ්‍යයි වෛද්‍යවරයෙක් වෙන්න, මිනිසුන් සුවපත් කරන්න' ලෙස පුද්ගලයකු සිතිය යුතුයි.

එසේ වූ විට සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් වනවා යන්නට වඩා මිනිසුන් සුවපත් කිරීම යන අරමුණ උසස් ය. පෞද්ගලික අරමුණකට එහා ගිය පුළුල් අරමුණක් ඔබට තිබිය යුතුය. එය දැක්මක් ලෙස හැඳින් වේ. එම අරමුණ කරා යා හැකි එක් අරමුණක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරීම කළ හැකියි. මේ අරමුණට යාම සඳහා උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලයට යාමට ලකුණු ගැනීමට නොහැකි වුවහොත් සිදු කළ හැකි අනෙක් විකල්පයක් ලෙස මුදල් තිබේ නම් විදෙස්ගත වී අධ්‍යාපනය ලබා වෛද්‍යවරයකු වීම දැක්විය හැකිය. එසේත් නොමැති වූ විට ආයුර්වේද, යුනානි වැනි වෙනත් වෛද්‍ය ක්‍රමයක් හැදෑරිය හැකිය. ඒ දේවල් කිරීමටත් නොහැකියි නම් වෛකල්පික එනම් හෝමියෝපති වැනි වෛද්‍ය ක්‍රමයක් ඉගෙනීමට හැකිය. ඒකත් නොහැකි නම් තමාගේ පරම්පරාවේ වෙදකම ඉගැන්වීමට කිසිවකු නැති පාරම්පරික වෙදමහතෙක් හමු වී ඔහුගෙන් වෙදකම ඉගෙනීමට හැකියි.

මේ සියල්ලම නොහැකි නම්, උසස් පෙළට විද්‍යා විෂයයන් හදාරා ඇති නිසා ගණිත අංශයෙන් ඉගෙනීම සිදුකර ඉංජිනේරුවරයකු විය හැකියි. වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම සිදු කළ ද ඔවුනට අවශ්‍ය වෛද්‍ය උපකරණ සකසන්නේ ඉංජිනේරුවරුන් විසිනි. ඇස් පෙනීම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් වුවද ඇස් කණ්ණාඩි යනු ඉංජිනේරුවන් විසින් සොයාගත් විසඳුමකි. එසේ සිතූ විට ඉංජිනේරු අංශයෙන් පවා මිනිසුන් සුවපත් කිරීමේ අරමුණට ළඟා වීමට හැකියාව ඇත. එහෙත් බොහෝ විට සිදුවන්නේ අප ඒ ගැන පුළුල්ව නොසිතීමයි.

එසේත් නැතිනම් එම විෂයධාරාවලින් අධ්‍යාපනය හදාරා වැඩිදුර අධ්‍යාපනය රසායන විද්‍යාවෙන් සිදු කිරීමෙන් බෙහෙත් සොයා ගැනීමට හැකියාව ඇත. අද බොහෝ ජනපි‍්‍රය වී ඇති තොරතුරු තාක්ෂණ අංශයෙන් අධ්‍යාපනය හැදෑරූ විට ද මිනිසුන් සුවපත් කිරීමේ හැකියාව ඇති විවිධ මෘදුකාංග නිෂ්පාදනය කිරීම මඟින් ඔබේ අරමුණ ඉටුකර ගත හැකියි. මේ සඳහා වෛද්‍යවරුන් හමුවීම සඳහා ඇති ඇප් වර්ග නිර්මාණය ආදී දේ සිදු කරයි.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

2019/08/21 තරුණි බලන්න