වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
දානය

කුමාරී දයානන්ද
පුංචි දැරිවියක ලෙසින් මිහිර, විජය පුවත්පත්වලට මෙන්ම හඳමාමා ගුවන්විදුලියට කවි කතා රචනා කළ කුමාරී දයානන්ද පසුව මාණ්ඩලික සහකාරවරියක ලෙස බැංකු සේවයට එක්වන්නීය. මේ වන විට සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියක වන ඈ සිය වෘත්තීය ජීවිතයේ පීඩනය මගහරවා ගන්නේ මුහුණු පොතේ අපූරු ලේඛිකාවක ලෙසිනි. අද ශේෂ පත්‍ර හැඩ වන්නේ කුමාරී ලියන කෙටි කතාවකිනි.
ගුවන් යානය කටුනායකින් නවත්තපු ගමන් ඒකෙන් බහින්ඩ ශීලා මැණිකෙට තිබුණෙ පුදුම හදිස්සියක්. මැණිකෙ මේ පාර දඹදිව ගියෙ තුන්වැනි වතාවට. ඉතින් මැණිකෙ දන්නව බස් එහෙක වගේ ඉස්සරහ ඉන්න සෙනඟ තල්ලු කරගෙන ගුවන් යානෙන් බහින්ඩ අමාරු බව. කොහොම හරි බැස්සත් ඒ ඇසිල්ලෙම දනිපනි ගාලා ගෙදර දුවන්ඩ බැරි බව. බෑග් එකතු කරන්ඩයි, පාස්පෝට් ලකුණු කරන්ඩයි තව කීයක් නම් රාජකාරිද හැබෑටම.
“තේරුමක් නැති කාලෙ නාස්ති කරන විකාර වැඩ. මෙව්ව වෙනස් කරන්ඩ කියල රත්නායක මල්ලිගෙ පුතාටවත් කියන්ඩෝනැ”
ගුවන් තොටුපළේ ආගමන විගමන රාජකාරි ගැන මැණිකෙගෙ ආකල්පෙ එහෙමයි. සති තුනක් තිස්සෙ ගෙදර මොනවා වෙලාද දන්නෑ කියල හිතද්දි මැණිකෙට හිතෙන්නෙම ඉස්සරහ ඉන්න ඔක්කෝමලව තල්ලු කරලා බිමට පැනල ගුවන් තොටුපළේ රාජකාරී කරන ඇත්තන්ට කුද ගහගන්ඩ කියල ගෙදර දුවන්ඩමයි. ඇයි සති තුනක් කියන්නෙ පුංචි කාලයක් නෙමෙයිනෙ.
අර ජෝඩුව ගෙවල් දොරවල් වනසලද දන්නෑ. මොන මොනව දන්දීලද දන්නෑ. අර බඩ්ඩ කොහොමත් වෙස්සන්තරනෙ. පුතා ඔක්කොටම හපන්. කොහෙද ඉතින් අප්පච්චිගෙ ආරෙටමනෙ පුතණ්ඩියත් හැදුනෙ. දුව හිටිය නම් කිසි බයක් නෑ.
උදේ පාන්දරටයි, වැස්සක් වැහැල පෑව්වමයි වැටිච්ච පොල් ඇහිඳල මඩුවට දාන්ඩ කියලා මගින් මගටම කිව්වට මොකද විශ්වාස නෑ කියපු විදිහටම කළාද කියලා.
කවුද දන්නෙ පොල් ටික ගස් යටම වේළිලා ගිහින්ද? එහෙමත් නැත්තම් එක එකා ඇහිදන් ගිහින්ද කියලා. ගස් යට වේළුණා නම් තව එකක්. ඒත් ඉතින් එච්චර හරියක් වෙනකල් ඇහැ කන් පියාගෙන ඉන්න එකාලයැ අපේ ගමේ ඉන්නෙ. මැගිලින්ගෙ වැඩේම පොඩ්ඩ එහා මෙහා වෙද්දි වත්තට පැනල වේළිච්ච පොල් ගෙඩියක්, පොල් අත්තක් නැත්තම් හනස්සක් හරි හොරෙන් අහුලන් පනින එකනෙ. විලියොන්ගෙ කොල්ලො ටිකත් කුරුම්බයක් හරි කඩන්ඩමයි මානන්නෙ. අපෙ අප්පේ… කුරුම්බ කඩලා නම් හෙම ඊළඟ වාරෙට පොල් ගෙඩි කීයක් අඩු වෙයිද.
ඒ ගැන මතක් වෙද්දිත් ශීලා මැණිකෙට හීල්ලෙනවා.
මාසෙකට විතර ඇතිවෙන්ඩ වී ටික කොටවල තියලා ආපු හින්ද වී බිස්සට නම් අත තියන්ඩ හේතුවක් නෑ. නැත්තම් ඉතින් වී කොටන එවුන්ටයි, පොළන එවුන්ටයි, අරූටයි, මූටයි දන් දීලම වී ගෝනි බාගයක්වත් අනිවර්තෙ නැති නාස්ති කරල දායි. කොහෙද ඉතින් අපේ ගෙවල්වල උදව්වට පදව්වට එන උන් ඔක්කෝම සාගතකාරයොනෙ. තියෙන හැටියට වේලක් ඇර වේලක් කාල ඉන්නැතුව බොරුවට උදව් පදව් කරන්ඩ කියල ඇවිත් හාල් හුණ්ඩුවක් හරි කොටාගන්ඩමයි මානන්නෙ.
සිතුවිලි සාගරේක කිමිදි කිමිදිම මැණිකෙ ගුවන් තොටුපළ රාජකාරී ඉවර කරලා එළියට ආවා.
" අම්මේ…"
පුතයි, ලේළියි ළඟට එනකල් මැණිකෙ දැක්කෙම නෑ.
" ඇයි මේ දෙන්නම ආවෙ ? ගෙදර කාටද දාල ආවෙ ? අපෙ අප්පේ… මොකෙක් හරි අතපත ගාගෙන ගියොත් හෙම ? "
" බයවෙන්ඩ එපා අම්මෙ. පෙරේද අක්කල ආවා. කෝකටත් මං ඇසිලින්ටත් ඉන්ඩ කිව්ව. "
" ඒක මිසක්. දුව ආව නම් ආයි ඉතින් බය වෙන්ඩ දෙයක් නෑ. වෙන කෙනෙකුට හෙම නම් මළත් ගේ දාල යනව නෙමෙයි ඕං. "
රන්දුල බණ්ඩාරගෙ එකම සහෝදරි, ශීලා මැණිකෙගෙ එකම දුව ශෝභා කුමාරි දීග ගියෙ නිලවීර බණ්ඩාර පරම්පරාව වගේම වංශවත් පවුලකටයි. මැණිකෙටයි නිලවීර බණ්ඩාරටයි ඇස් දෙක වගේ ඉන්නෙ දුවයි පුතයි විතරයි. නිලවීර නම් දරුවො පොකුරක්ම හදන්ඩ ආසාවකින් හිටියෙ.
" දෙන්නෙක් හිටියාම හොඳටෝම ඇති. නැත්තම් පරම්පරාවෙන් පරම්පරාවට දේපළ බෙදිල ගියාම අන්තිමට හිඟමනේට වැටෙනවා. පේනවනෙ ඉස්සර හොඳට හිටපු පවුල් දැන් වැටිල ඉන්න තැන්. "
මැණිකෙගෙ තීරණේ තමයි අවසාන තීරණේ. මැණිකෙ නිලවීරත් එක්ක දීග ආවේ අත් දෙක වන වනා නෙමෙයි. ගොඩින් අක්කර පහක් මඩින් අක්කර තුනක් එක්ක රිදී, රත්රන් කන්දරාවකුත් එක්කයි.
" ගුරු රස්සාවත් තියෙන එකේ දෑවැද්ද ඉහටත් උඩින්. "
මැණිකෙ දීග එද්දි අම්මයි, අප්පච්චියි එහෙමයි කතා වුණේ. නිලවීරගෙ පවුලටත් වතුපිටි ආදායම් අඩුවක් තිබුණෙ නෑ. ශීලා මැණිකෙ පවුලෙ එකම දුව හින්ද අම්මගෙයි අප්පච්චිගෙයි පරම්පරාවෙන් හම්බ වෙච්ච ආභරණවලින් තුනෙන් දෙපංගුවක් මැණිකෙටයි හම්බ වුණේ. පිරිමි දරුවන්ට ගොඩ මඩ තුනෙන් දෙපංගුවක්, ගෑනු දරුවන්ට රන්, රිදී ආභරණවලින් තුනෙන් දෙපංගුවක් තමයි පරම්පරා චාරිත්‍රෙ. මාල හතරක් රිදියෙනුයි, මාල තුනක් රත්තරෙනුයි හදපු රජකාලෙ ඉඳන් පරම්පරාවෙන් පරම්පරාවට ආපු මාල හත තමයි මැණිකෙගෙ දෑවැද්දෙ වටිනාම කොටස. කැන්දන් ආපු දවසෙ මැණිකෙගෙ නැන්දම්මට සුදු පිරුවටේටත් වඩා හිත ගියෙ මැණිකෙගෙ මාල හතට තමයි.
" රජ කාලෙ ආභරණ. පුතායෙ වාසනාවට මෙහෙම තැනක් හම්බුණෙ. මොනවයින් කියල අඩුවද්ද. "
මූණට අගේ නොකළට නෑදෑයො එක්ක නිලවීරගෙ අම්ම කියල තිබුණෙ එහෙමයි.
" බත් ඇති තැනට කියනවනෙ කොසුත්. කොච්චර තිබුණත් මොටද මහ මැණිකෙ පරාදයි අලුත් මැණිකෙගෙ කුම්මැහිකමට. අපරාදෙ පුංචි මහත්තය වාගෙ හිත හොඳ මනුස්සයෙක් මේවගේ කුම්මැහි ගෑනියකුට හිර වුණේ. සල්ලියි වංසෙයි විතරක් තිබිල මොකටද මනුස්සකම් නැතුව. "
ගෙදර උදව්වට පදව්වට ආව ගිය ගෑනු මිනිස්සු අතර තිබුණෙ නම් ඒ වගෙ කතා තමයි.
"අම්මට සති ගාණක්ම හෝටල් කෑම කාලා එපා වෙලා ඇති කියල අපි බත් උයන් ආවා. මෙතැන හෙවණෙ නැවතිල කාලා යමු. ගෙදර යන්ඩ තව ගොඩක් වෙලා යයිනෙ."
පුතා බඩගමුව රක්ෂිතේ හෙවණක කාර් එක නවත්තද්දියි මැණිකෙ දැක්කෙ කුරුණෑගලත් පහු කරලා බව. ලේළි නිර්මලා කෑම භාජන එකින් එක දිගෑරියා.
" අම්ම ආස දේවල්මයි ඉව්වෙ. කාලෙකින්නෙ ගෙදර කෑම කන්නෙ. "
රතුහාලෙ බත්, පොලොස් ඇඹුල, මාළු ඇඹුල් තියල්, කොට්ටපොල් සම්බෝල, දෙල් වෑංජනේ, ලේන හතු බැදුම… හ්අහ්… මැණිකෙගෙ ඇස් උඩ ගියා.
" අපෙ අප්පේ… මෙච්චර ජාති ගොඩක් එක වේලකට කාලා ඉතුරු වේල් ටික බඩගින්නෙ ඉන්ඩද ? "
" මාළු විතරනෙ අම්මෙ සල්ලි දීල ගත්තු දේකට ඉව්වෙ. අනික් ඔක්කොම අපේ වතුපිටිවලින් නෙ. "
නිර්මලා උත්තර බැන්දෙ බොහොම යටහත් පහත්වයි.
ලේළිල වුණාහම එහෙම තමයි ඉන්ඩ පුරුදු කරන්ඩ ඕනෙ. මාත් නිලවීරගෙ අම්ම මැරෙනකල්ම යටහත්වනෙ හිටියෙ. නිර්මලාට බුරුලක් දුන්නොත් උඩ පනී.
මැණිකෙ තනියම හිතුවා.
"හොඳට හිටී මාත් ඔහොම හිතුව නම්. එහෙනම් ඉතින් උඹලෑ අප්පච්චිගෙ බොරු සෝබන හින්ද මෙලහකට අපි හිඟමනේට වැටිලා."
කෑම ටික පුදුම රහයිනෙ.
ඒත්, මැණිකේ ඒ ටික කිව්වෙ නෑ. උයල තියෙන්න නිර්මලා බව මැණිකෙට කැට තියල කිව්වැකි. මොකද ඇසිලින්වත්, ශෝභා දුවවත් මෙච්චර අපූරුවට වෑංජනයක් ඒදන්නෙ නෑ. මැණිකෙ ඒ දෙන්නවම පුරුදු පුහුණු කරල තියෙන්නෙ තෙල් ද කිරි ද තුනපහ ද ඔක්කෝම අඩුම කුඩුම පුළුවන් තරම් අඩුවෙන් දාලා පිරිමහල උයන්ඩයි. එහෙම ඉව්වම ඉතින් දිය රහ විතරයි.
ඉතිරි කොටස ලබන සතියේ.
ලේඛිකාවන් හඳුන්වාදෙන අලුත්ම විශේෂාංගය
ඔබේ කෙටිකතාවත් 0715927752 අංකයට whatsapp කරන්න