වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
ආදරයේ රහසිගත ප්රචණ්ඩත්වය

ඕනෑම වැරැද්දකට තනි අයිතිකාරයෙක් ඉන්නවද? ඉන්නවා නම් ඒ කොහොමද? නැත්නම් වැරැද්දකට සාමූහික අයිතිකාරයෝ ද ඉන්නෙ? කොහොමද මේ ප්‍රශ්නාවලියට උත්තර හොයාගන්නෙ කියලා හිතන්න පොළඹවන රූපවාහිනී කතා මාලාවක් නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වුණා. ඒකෙ නම 'ඇඩලෙසන්ස්'. එපිසෝඩ් හතරෙන් කතා මාලාවම ඉවර වෙනවා. හැම එපිසෝඩයකම ධාවන කාලය පැයයි. මේ අමුතු කතාන්දරය ගෙතෙන්නේ වයස 13ක් වුණ ජේමි මිලර් කියන පිරිමි ළමයා වටායි. එයාගෙම පාසලේ ගැහැනු ළමයෙකුගෙ මිනීමැරුමකට සැක පිට ජේමි මිලර්ව අත් අඩංගුවට ගන්න යන අවස්ථාවෙන් කතාව පටන් ගන්නේ. ඒ වෙලාවෙ ජේමි තමන්ගේ කාමරේ නිදාගෙනයි ඉන්නේ. ඔහු දිගින් දිගටම කෑගහන්නෙ තමන් කිසි වරදක් නොකරපු බව කියමිනුයි. ඔහුගේ කටහඬේ දෝංකාරය එක්කයි අපි 'ඇඩලසන්ස්' කතාවට ඇතුළු වෙන්නේ. කොටින්ම තමන් රාත්‍රියට නිදාගන්න ඇඳගෙන උන්නු ඇඳුමේම ජේමීට සුළු දිය පහ වෙනවා.
මේ හැම රූපරාමුවකම වේගය, බය, සැකය, විශ්වාසය, කුතුහලය එකක් කපාගෙන එකක් විදිහට විටින් විට නැඟීගෙන එනවා. කතා මාලාවෙ කිසිම එපිසෝඩ් එකක ඡේදන නැහැ. කැමරාව අපේ මනස වගේ පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකම් එක දිගට දුවනවා. හැමෝම ඉන්නෙ පුදුම ටෙන්ෂන් එකක.
ඒ අතරෙම වෙනත් කෙනෙක් නොදන්න යමක් කලින් දැනගන්න ප්‍රේක්ෂකයාට කිසිම අවස්ථාවක් දෙන්නෙත් නැහැ. අපි ඔක්කොම එක බෝට්ටුවේ. ගිලුණොත් ගිලෙන්න වෙන්නෙත් එකට, බේරුණොත් බේරෙන්න වෙන්නෙත් එකට. දැන් ඉතින් ත්‍රාසජනකයි!
ජේමීගෙ ජීවිතේ කණපිට හැරුණාට අමතරව එයාගෙ මවුපියන්ගේ, සහෝදරීගේ, සමීප මිත්‍රයන්ගේ, පාසලේ සියලුම දෙනාගේ, මරණයට පත් කරපු ගැහැනු දරුවාගේ යෙහෙළියගේ ආදී බොහෝ දෙනෙකුගේ ජීවිත කතා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ අතරේමයි ජේමීව අත් අඩංගුවට ගන්න ආපු පොලිස් නිලධාරියා, එයාගෙ සහායිකාව, පොලිස් නිලධාරියාගේ පුත්‍රයාගේ ආදීන්ගෙ ජීවිතත් හරිම ක්‍රමානුකූලව වෙනස් වෙන්න පටන් ගන්නෙත්.
නරඹන්නෝ වුණ අපි ඉන්නෙ නීතියට අනුකූලව ජේමී වරදකාරයෙක් හෝ නිවැරැදිකාරයෙක් වෙනතුරු ගතකරන කාලය ඇතුළේ. මෙතැනදි කිසි කෙනෙක් ආරක්ෂිතත් නෑ. වැරැදිත් නෑ. නිවැරැදිත් නෑ. මොකද නීතිය ඉදිරියේ තීරණයක් ලැබිලා නැති නිසා. ජේමී හඬමින්, වැළපෙමින් තමන් වරදක් කළේ නැති බව කියන අවස්ථාවෙ ඉඳන් ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා. ඒ එයාව රඳවලා තියාගෙන ඉන්න ස්ථානය ඇතුළේදීයි. ජේමීට, දැරියගේ මිනීමැරුමෙන් මාස හතකට පස්සේ අධිකරණ මනෝ වෛද්‍යවරියක් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. මේ වෙලාවෙදි වැඩුණු ජේමී අධිකරණ මනෝ වෛද්‍යවරියව යම් ප්‍රමාණයකට බිය ගන්වනවා. වයස 13 සිට පරිපූර්ණ තරුණ වයසට පත්වෙන මොහොත මෙන්න මේකයි කියලා. නමුත් ඒ එකම වෙලාවෙ ජේමී ආයෙත් මුල් එපිසෝඩයේ උන්නු බයට, නොසන්සුන්කමට පත් වුණ පිරිමි ළමයත් වෙනවා. මේ මිනීමැරුමේ සුලමුල හොයාගෙන යන අතරේ පොලිස් නිලධාරියාට තමන්ගේ පුතාගෙන් හෝඩුවාවක් ලැබෙනවා. ඒ නව යොවුන් වියේ දරුවො අතර තියෙන 'ඉන්සෙල්' සංස්කෘතිය ගැනයි. මේ කාලයේ නිසි ආදර සම්බන්ධතාවක් ඇති කරගන්න බැරි වුණ තරුණ පිරිමින් ඒකෙ වැරැද්ද ගැහැනු මත පටවනවා. ඊළඟට ඒ අය ඒ වරදම සමාජය මතත් පටවනවා. මේක ගැහැනු ළමයින් ගැන වෛරයක් විදිහට පටන් අරගෙන ප්රචණ්ඩ දේවල්වලින් ඉවර වෙනවා. මීම්ස් හරහා, ඉමෝජි හරහා මේ අපහාස, වෛරය ඒ අය බෙදාහරිනවා. මේ ගැන වැඩිහිටි සමාජයේ දැනුම මීට සම්පූර්ණයෙන්ම පරිබාහිරයි.
ජේමී කළ වැරැද්දේ වගකීම අන්තිම එපිසෝඩ් එකට එනකොට සමාජය විසින්ම බෙදාගන්න තීරණය කරන විදිහ මාව සෑහෙන්න සසල කළා. ජේමීගේ මවුපියන් තමන්ගේ දරුවා ගැන කම්පා වෙන අතරේම, දරුවා ඒ තැනට පත්වෙන්න තමනුත් වගකියන්න ඕනා බව පිළිගන්නවා. එක තීරණාත්මක මොහොතක "ඒ දරුවා හැදුවේ අපි දෙන්නා." කියලා ජේමීගේ අම්මා හඬා වැළපෙනවා. අන්තිමේදී සමස්ත සමාජයේම පශ්චාත්තාපය අපේ පස්සෙන් එන්න පටන් ගන්නවා. වැරැද්දක තනි අයිතිකාරයෙක් ඉන්න ලෝකයක් කොහේද තියෙන්නෙ කියලා ආයෙ මම මටම කියාගන්නවා.