තුට්ටු දෙකකින් මාසයක් පිරිමහන හැටි...

විසිවැනි දින සටහන
මැයි 19, 2025

2016 ජූනි 24 බ්‍රහස්පතින්දා

 

දෙන්නගෙම පඩිය ජොයින්ට් එකවුන්ට් එකට වැටුණට මොකද බැලන්ස් එක බැලුවම එක්කෙනෙක්ගෙ පඩියකින් බාගයක් තරම්වත් එකවුන්ට් එකේ ඉතුරු නෑ. මේ බැංකු හිතන් ඉන්නෙ අපි ණය ‍ගෙවන්නැතුව රට, ගම අතෑරල යයි කියල ද දන්නෑ. නැත්තම් ඉතින් පඩිය වැටෙනකොටම ණය වාරික කපනනෝනෑනෙ.

" අපි ඔයාලගේ එකවුන්ට් හොය හොයා ණය කපනවා නෙමේ මිස් ශ්‍යාමා. ඔයාලගෙ එකවුන්ට්වලට සල්ලි වැටුණම කම්පියුටරෙන් ඉබේමයි ණය කැපෙන්නෙ. "

ණය වාරික දෙකක් එකපාර කැපුණේ මොකද ඇහුවම ඕක තමයි ඉතින් බැංකුවෙන් හම්බුණු උත්තරේ. ලොකු ලොකු රටවල්වල, ලොකු ලොකු කම්පැනිවල කම්පියුටර් හිටන්, හැකරොද මොක්කු ද අල්ලගත්ත කියල කොච්චර නම් කියනව ද. අනේ ඇත්තමයි තාම බැරි වුණානෙ ඔය එක හැකරෙකුටවත් මේ බැංකුවල ණය කැපෙන කම්පියුටරේට මොකක්වත් කරන්ඩ. ගිය මාසෙ වගේ කොහොම හරි ණය කපන්ඩ කලින් කාඩ් එකෙන් මුළු පඩියම ගත්ත නම් මේ කිසි දෙයක් නෑ. කම්පියුටරෙන් ඉබේ කැපෙනවා කිව්වට මොකද ලෝන් බැලන්ස් එක බලන්ඩ ගිහින් එදා මැනේජර්ට බැන්න තරහ පිරිමහන්ඩ ද දන්නෙත් නෑ වාරික දෙකම එකපාර කපන්ඩ ඇත්තේ. දැන් මේ තුට්ටු දෙකෙන් කොහොමද මාසයක් පිරිමහන්නෙ කියල බැංකුවෙ හෙඩ් ඔෆීස් එකෙන් ම තමයි අහන්ඩ ඕනෑ. ඇයි ඉතින් මැනේජර්ට කතා කරලා වැඩක් නෑනෙ. ණය කැපුවේ කම්පියුටරේලුනෙ.

 

 

2016 ජූනි 28 සඳුදා

 

" ඔන්න ශ්‍යාමාමිස් මේ පාර බටායි ඕටීයි කලින්ම ඇපෘෘල් වෙලා. "

ණය කැපිලා ඉතුරු පඩියෙන් මාසෙ ගෙවාගන්නෙ කොහොමද කියල හිත හිතා ඔෆිස් එකට ගොඩ වෙච්ච ගමන් ඒ සුබ ආරංචිය කිව්ව සිරිතුංගයව මට බදාගන්ඩ හිතුණා. පහුගිය ටිකේම කෑම රහ නෑ කියල ළමයි දෙන්න රෑට හරියකට බත් කෑවේ නෑනෙ. කාලෙකට පස්සෙ වැඩිපුර ගාණක් අතට ආව එකේ වැඩ ඇරිලා එන ගමන් හන්දියෙ අලුතින් දාපු චයිනිස් එකෙන් චයිනිස් කෑම දෙකක් ඇරන් ආව. දෙකක් කිව්වට ෆුල් එකයි හාෆ් එකයි. අපි හතර දෙනාට හාෆ් දෙකක් ගත්තත් ඉහටත් උඩින්. ඒත් ඉතින් තිස්ස බර බරේ දායි කියල ෆුල් එහෙකුත් ගත්තෙ ඉතුරු වුණොත් ෆ්‍රිජ් එකේ දාලා හෙට හරි කන්ඩ බැරියැ කියල හිතලයි.

හෝටලේ ඉස්සරහ දාල තියෙන රතුපාට ලයිටුයි, තාප්පෙ දිගට දිගෑරිලා කටින් ගිනි පිඹ පිඹ ඉන්න තඩි මකරයි, බෝඩ් එකේ ගහලා තියෙනවා දැක්කම කෙල උනන කෑමවල ෆොටෝ ටිකෙයි හැටියට මං හිතුවෙ කෑම ටික සුපිරියටම ඇති කියලයි. කන්ඩ ලෑස්තිවෙලා පාර්සලේ දිගෑරල බැලින්නම් නූල් වගේ කැරට් කෑලි දෙක තුනකුයි, තුනට හතරට කපල දාපු ලීක්ස් කොළේකුයි ඇරුණාම හාරල හාරල අමාරුවෙන් හොයාගත්ත නියපොතු සයිස් චිකන් කෑලි තුන හතරකුයි විතරයි බත් එකටම තිබුණෙ. තෙල් නම් ගඟ ගලන්ඩ දාලා තිබුණා. මේ රටේ හෝටල්කාරයො චීන්නුන්ගෙ නම විකුණල අපිට කවන කෑමවල තරම දැනගත්තොත් දෙකක් නෑ චීන්නු අපට නඩුත් දානවා. ඇයි දෙයියනේ චීනෙ බල්ලෙක්වත් කන්නැතුවැති මෙහෙම බාල කෑම.