වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
විශ්ම විශ්වය

ලෝකෙ වටේ සවාරි ගහන අය අතරේ පුළු පුළුවන් විදිහට හැමෝම වගේ උත්සාහ කරන්නෙ ලස්සන දේවල් දකින්න, විඳින්න. ලෝකයේ ලස්සන ගැන කතා කරද්දී ඒ ලස්සන ඇතුළේ සැඟවීගිය නොවිසඳුණ අබිරහසුත් ඕනෑතරම් තියනවා. අද කියන්න යන්නෙත් ඒ වගේ හරි පුදුම දේවල් කිහිපයක් ගැන.
රාත්‍රියට පණ එන වීරූපී බෝනික්කන්ගේ දිවයින
මෙක්සිකෝවේ අගනගරය විදිහට සැලකෙන මෙක්සිකෝ නගරයේ දකුණු පැත්තට වෙන්න තියෙනවා xochimilco නමින් හැඳින්වෙන පළාතක්. මඩ වගුරු සහ පුංචි දූපත්වලින් ගහන මේ පළාත ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බෝනික්කන්ගේ දිවයින යනුවෙන්. ඈත අතීතයේදී මෙහි පදිංචිව සිටි ජුලියන් සන්ටානා නම් පුද්ගලයකුට මඩ වගුරක තිබී පුංචි දැරියකගේ මළ සිරුරක් හමුවෙනවා. එයින් කම්පා වූ ජුලියන්, මියගිය ඇය අසලින් පාවෙමින් තිබූ බොනික්කා අසල ගසක එල්ලා තබනවා.
පුරාවෘත්තවලට අනුව මියගිය ඇයගේ ආත්මය ජුලියන්ට වද දීමට පටන් ගන්නවා. එයින් සැනසීමක් ලබන්න ඔහු කරන්නේ බෝනික්කන් සහ බෝනික්කන්ගේ කොටස් මුළු දිවයින පුරාම එල්ලා තැබීමයි. 2001 වර්ෂයේදී අබිරහස් අන්දමින් ඔහු මිය යනවා. ඔහු මිය යන්නෙත් දැරිය මිය ගිය ස්ථානයේම ගිලී යාමෙන්. එම සිදුවීමෙන් පසු මෙය හුදෙකලා දූපතක් බවට පත්වන්නේ විරූපී බෝනික්කන්ට රාත්රියේදී පණ ලැබෙන බව ඒ අවට වෙසෙන්නන් විශ්වාස කිරීම හේතුවෙනි. දැන් සංචාරයකින් මෙය නැරඹුම් ස්ථානයක් කර ගත්තත් හවස 6න් පසු ඒ දූපතට නොයන්නේ එහි ඇති අත්භූත ස්වභාවයත් ලෝකයේ භයංකාර ස්ථානයක් විදිහට ප්‍රසිද්ධව තිබෙන නිසයි. එහි යන අයත් බෝනික්කන් එල්ලා එන්නට අමතක කරන්නේ නැහැ.
------------------
යකෙක් නැති යකාගේ කුලුන
මීටර් 386ක් උසැති යකාගේ කුලුන (Devils Tower) ලෙස හැඳින්වෙන මෙම කුළුණ පිහිටා ඇත්තේ අමෙරිකාවේ එක්සත් ජනපදයේ වයෝමින්ග් ප්‍රාන්තයෙයි.
1906 සැප්තැම්බර් 24 දින එක්සත් ජනපද ජාතික ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද යකාගේ කුලුන එක්සත් ජනපදයේ ප්‍රථම ජාතික ස්මාරකය වෙනවා. මීට අවුරුදු මිලියන 195 - 255 අතර කාලයේ පොළොව මාධ්‍යයේ ඇති උණු වූ මැග්මා, නළයක් ආකාරයෙන් පොළොව මතුපිටට පැමිණීමට උත්සාහ දැරීමේදී ඝනීභවන වී පාෂාණිභූත වීමෙන් මෙය නිර්මාණය වී ඇත. වාර්ෂිකව ලක්ෂ 4ක පමණ පිරිසක් නරඹන්නට එන යකාගේ කුලුන කඳු නඟින්නන් අතර අතිශය ජනප්‍රිය ස්ථානයක්.
----------------
අබිරහස් ගෝලීය පාෂාණ
එදා මෙදා තුර ලෝකයේ නොවිසඳුණු අබිරහස් අතරින් කොස්ටාරීකාවේ ගෝලීය පාෂාණවලට අත්වන්නේ සුවිශේෂී ස්ථානයක්. 1930 වර්ෂයේ කෙසෙල් වගා කිරීමට කැලෑව එළිපෙහෙළි කිරීමේදී මුලින්ම හමුවී ඇති මෙම පාෂාණ බෝල කොස්ටාරිකාවේ ඩිකුයිස් ඩෙල්ටාව පුරා පැතිරී ඇත.
ඉතා සූක්ෂ්ම ලෙස ගෝලාකාරව නිමවන ලද මෙම අපූරු පාෂාණ බෝල 300ක් පමණ දැනට සොයාගෙන ඇත. කාල නිර්ණය කිරීම්වලින් අනතුරුව ක්‍රි.පු. 300ත් ක්‍රි.ව. 800 අතර කාලයේ නිමවා ඇති බවට තහවුරු කරගෙන ඇත. මෙම පාෂාණ බෝල අතර ටොන් 15ක් පමණ බරකින් යුතු ගෝලයන්ද හමු වී ඇත. මේවා සියල්ල නිමවා ඇත්තේ ග්‍රැනයිට් පාෂාණයට සමාන ග්රැනෝඩිරොයිට් නමැති සවිමත් පාෂාණයකිනි.
මේවා නිර්මාණය කළේ කවුරුන්ද කුමක් අරඹයාද යන්න අදටත් අබිරහසකි.
------------
ලොව දිගම වරලස හිමි කාන්තාවන්ගේ ගම්මානය
චීනයේ සුළුතර ජනවාර්ගික කණ්ඩායමකට අයිති රතු යෝ ජන වර්ගය නිරිතදිග චීනයේ Huangluo Yao නම් ගම්මානයේ ජීවිත් වෙති. එහි සිටින රතු යෝ කාන්තාවන් සැලකෙන්නේ ලොව දිගින් වැඩිම වරලස් හිමි කාන්තාවන් ලෙසටය. රතු යෝ සම්ප්‍රදායට අනුව තරුණියකට වයස අවුරුදු 16 - 18 අතර කාලයේ ජීවිත කාලයටම එක් වරක් කොණ්ඩය කැපීමට අවස්ථාව හිමිවේ. ඉන්පසු වැවීමට ඉඩ හරින ඔවුන්ගේ වරලසක දිග සාමාන්‍යයෙන් අඩි 5ක් පමණ වෙයි. ඔවුන් ජීවත් වෙන ගම්මානය ලොව දිගින් වැඩිම වරලස් හිමි කාන්තාවන් ජීවත් වෙන ගම්මානය ලෙසට ගිනස් වාර්තා පොතෙත් සටහන් වී ඇත.
රතු යෝ කාන්තාවන්ගේ දිගු වරලසෙහි රහස සහල් සේදීමට ගන්නා ජලයෙන් කොණ්ඩය සේදීමයි. කඳු හෙල් අතරින් ගලා බස්නා පිරිසුදු ජලය සහිත ගංගාවක් මෙම ගම්මානය හරහා ගලා බසී. එයින් ලබා ගන්නා ජලයෙන් ඔවුන් විසින් දවසට තෙවරක්වත් කොණ්ඩය සෝදන බව පැවසේ. දික් වූ නීල වරලසක් පිහිටීම යෝ සංස්කෘතිය අනූව දීර්ඝායුෂ, ධනය සහ වාසනාව ගෙන එන්නක් බව ඔවුන්ගේ විශ්වාසයයි. ඉතා සරු සංස්කෘතියකට හිමිකම් කියන රතු යෝ කාන්තාවන් විසින් වාර්ෂිකව දිගින් වැඩිම වරලස තේරීමේ උත්සවයක්ද සංවිධානය කරනු ලබයි.